ගල් යුගයෙන් නූතනයට එන එක්සත් අරාබි එමිරේට්ස් | සිළුමිණ

ගල් යුගයෙන් නූතනයට එන එක්සත් අරාබි එමිරේට්ස්

තම රටේ අනාගත ආර්ථිකයේ ස්ථාවරත්වය වෙනුවෙන් එතෙක් පැවති නීති කිහිපයක් සංශෝධනය කරන බව එක්සත් අරාබි එමිරේට්ස් රජය පසුගියදා නිවේදනය කර සිටියේය. ඒ අනුව මින් ඉදිරියට එරට මත්පැන් සඳහා පැවති ඉතා තද නීති ලිහිල් වනු ඇති අතර, ආණ්ඩුවේ අවසර පත්‍ර නොමැති අයෙකුට වුවද මත්පැන් මිලදී ගැනීමට, පානය කිරීමට සහ ළඟ තබා ගැනීමට අවසර හිමිවනු ඇත. මෙතෙක් එමිරේට්ස්හි මත්පැන් සම්බන්ධව ඉතා දරුණු, දැඩි නීති ක්‍රියාත්මක වූ අතර මත්පැන් පානයට මෙන්ම මිලදී ගැනීමටද අවසර හිමිවූයේ ඒ සඳහා රජයේ අවසරපතක් හිමිකරගත් පුද්ගලයන්ට පමණක් විය.

එමෙන්ම බොහෝ අරාබි රටවල මෙන්ම එමිරේට්ස්හිද ලිංගික කටයුතු සඳහා වන නිදහස දැඩි ලෙස සීමා කර තිබූ අතර සමලිංගික ක්‍රියාකාරකම් මෙන්ම පූර්ව විවාහ ලිංගික සම්බන්ධතාද නීතියෙන් දැඩි දඬුවම් හිමිවන වැරදි ලෙස නම් කර තිබිණි. එහෙත් මෙවර එම නීති සංශෝධනය කිරීමට එමිරේට්ස් රජය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට එමිරේස්ට්හි විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම වරදක් ලෙස ප්‍රකාශ නොවේ.

මේ නීති සංශෝධන සම්බන්ධව රජයේ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණේ මිනිසුන් දේශීයව මෙන්ම විදේශීයවද දැනුම්වත් කිරීම අරමුණු කර ගනිමිනි. අරාබි ලෝකය දශක ගණනාවක් තිස්සේ සංවෘතව පැවතියේ ඉතා විශාල මුදල් සම්භාරයක් මෙන්ම දැඩි නීති රීති මාලාවක්ද සහිත රටවල් හේතුවෙනි. එහෙත් මේ වන විට මේ රටවල් තම දැඩි නීති රීති යම් යම් මට්ටමින් ලිහිල් කරමින් සිටිති. ඒ සඳහා බලපා ඇති ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැද පෙරදිග රටවල් වේගයෙන් මුල්‍ය අර්බුදයක් කරා යමින් සිටීමය.

මීට කලකට පෙර මැදපෙරදිග ලෝකයේ වැදගත්ම භූමිය බවට පත්වීමත්, ඒ හේතුවෙන්ම බටහිර රටවල මෙන්ම ඇමරිකාවේ අවධානය පාත්‍රවීමත්, ඒ මත රටවල් අත්පත් කර ගැනීම වෙනුවෙන් දරුණු යුද්ධ ඇතිවීම, සෞදිය වැනි රටවල් ඇමරිකාවේ කොන්දේසි විරහිත මිතුරන් බවට පත්වීම වැනි මෙකී නොකී සියල්ල සිදුවීමට බලපෑ එකම හේතුව වූයේ මැදපෙරදිග රටවල තෙල් නිධි පැවතීමය. එකල ලෝකයේ ප්‍රධාන බලශක්තිය රඳා පැවතියේ ඛනිජ තෙල් මතය.

එහෙත් මේ වන විට ඛනිජ තෙල් මගින් සිදුවන පරිසර දූෂණය මෙන්ම එහි ක්ෂය වීමේ සම්භාවිතවද මත පදනම් වෙමින් ලෝකය වෙනත් බලශක්ති කරා වේගයෙන් ගමන් කරමින් සිටී. ඒ යටතේ මේ වන විටත් බටහිර ලෝකය වැඩි වශයෙන් විදුලිය වෙත විතැන් වෙමින් සිටින්නේ මැදපෙරදිග අවැදගත් ලෙස නොසලකා හරිමිනි.

ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථීක අස්ථාවරභාවය ප්‍රථමයෙන්ම වටහාගත් රට ලෙස සෞදි අරාබියත්, එහි ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුත් හඳුන්වා දිය හැකිය. ඔහු ඛනිජ තෙල්වලට ඉල්ලුම අඩුවීම මත සෞදි අරාබිය අනාගතයේ ආදායම් ලැබීමට නම් සංචාරක කර්මාන්තය මත පදනම් විය යුතු බව තීරණය කළේය. එහිදී දැඩි නීති සහිත රටක සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම ගැටලු සහගත බව වටහාගත් ඔහු කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර ලබා දීම දක්වා නීති රැසක් ලිහිල් කළේය.

දැන් එක්සත් අරාබි එමිරේට්ස් යමින් සිටින්නේද එම මාර්ගයේමය. එමිරේට්ස් රජයට අනුව ඉදිරියේදී ඔවුන් විශාල වශයෙන් සංචාරකයන් තම රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙමින් සිටියි. එබැවින් සංචාරකයන්ට ගැළපෙන සහ පහසුවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු වේ. පසුගියදා සිදු කරන ලද සංශෝධන පැමිණෙන්නේද එහි ප්‍රතිඵල ලෙසිනි.

අමතරව එමිරේට්ස් රාජ්‍යය ඊශ්‍රායලය සම්බන්ධව වැඩි උනන්දුවකින් කටයුතු කර ඇති බවක්ද පෙනේ. කලක දී මුළු අරාබි ලෝකයම එක් පාර්ශ්වයක් වී පලස්තීනය වෙනුවෙන් ඊශ්‍රායලය සමග සටන් කළ අතර මේ වන විට තම රටේ අනාගතය වෙනුවෙන් එමිරේට්ස් පලස්තීනයට මිත්‍රත්වයේ දෑත දිගු කර තිබේ. එමගින් ඔවුන් වැඩි වශයෙන් ඊශ්‍රායෙල් සංචාරකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වන බවද ප්‍රකාශිතය. මේ සම්බන්ධව පලස්තීනය තම කනගාටුව ප්‍රකාශ කර සිටියද එමිරේට්ස් දැඩි සිත් ඇතිව තම රටේ අනාගතය ගැන සිතන බව පැහැදිලිය.

මේ සිදුවෙමින් පවතින්නේ සැබෑ අරාබි විප්ලවය මිස අන් කුමක්ද? අරාබියේ දැවැන්ත සල්ලි කන්ද නාය යමින් තිබෙන අතර ඔවුන් මුදල් වෙනුවෙන් තම සම්ප්‍රදාය බිලිදීමට කටයුතු කරමින් සිටිති. මේ විප්ලවය අවසන් වන්නේ අරාබිය ලෝකයට විවෘත වීමෙන් බව පැහැදිලිය. සෞදි අරාබිය කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර ලබා දෙන්නේත්, එමිරේට්ස් මත්පැන් සම්බන්ධ නීති ලිහිල් කරන්නේත් තම රටේ අනාගතය ගැන සිතමින් බව පැහැදිලිය. මෙහි අනාගතයේ එක් කෙළවරක මේ රටවල අරමුදල්වලින් යැපෙන මුස්ලිම් අන්තවාදීන් බංකොලොත්වීම අනිවාර්යයෙන් සඳහන් වී ඇති බවට දැන්ම අනාවැකි පැවසිය හැකිය. ඒ සඳහා උදාහරණ සැපයීමට දැන්ම කල් වැඩි වුවද අනාගතය ඒ සඳහා නොඅඩුව උදාහරණ සපයනු ඇති බවනම් තහවුරුය.

Comments