බයිඩ්න්ගේ ජයග්‍රහණය උදුරා ගැනීමට ට්‍රම්ප් දැඩි උත්සාහයක | සිළුමිණ

බයිඩ්න්ගේ ජයග්‍රහණය උදුරා ගැනීමට ට්‍රම්ප් දැඩි උත්සාහයක

මේ ලියන සිකුරාදා දහවල වන විටත් ලෝක බලවතා සේ විරුදාවලි ලබා සිටින ඇමරිකාවට තම නායකයා තෝරා පත් කර ගැනීමට නොහැකි වී තිබේ. ජනතා කැමැත්ත අනුව මේ වන විට ඡන්ද ඝන 264ක් ලබා ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින්නේය. ජයග්‍රහණය වාර්තා කිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් ඡන්ද ඝන හයක් පමණි. මේ වන විටත් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම් සිදුවන අතර ප්‍රාන්ත තුනක ප්‍රතිඵල අත්හිටවමින් නඩු පැවරීම්ද සිදුවී තිබේ.

ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ පසුගිය හතරවැනිදා දහවල වන විට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් පැහැදිලිවම ඉදිරියෙන් සිටි අතර රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් ජයග්‍රහණය කර ඇති නමුත් ඡන්ද භාවිතයේ අකටයුතුකම් සිදුවූ බවත්, ඡන්ද ගණන් කිරීමේදීද අකටයුතුකම් සිදුවෙමින් පවතින බවත්ය. එබැවින් තමන් ජයග්‍රහණය ප්‍රකාශ කරන අතර ඡන්ද ගණන් කිරීම අත්හිටුවන මෙන් ඉල්ලා උසාවි යන බවත්ය.

පැහැදිලි ලෙසම තරගයේ ඉදිරියෙන් සිටි බයිඩ්න් තමන් ජයග්‍රහණය කළ බව නිවේදනය නොකළද තමන් ජයග්‍රහණය අබියස සිටින බව ජනතාව අමතා පවසා සිටියේය.

එහෙත් මේ සිදුවීම්වලින් දින දෙකක් මේ වන විට ගතවී ගොස් තිබුණද තවමත් ලෝක බලවතාට නිශ්චිත ජයග්‍රාහකයෙකු තෝරා ගැනීමට නොහැකි වී තිබේ.

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමවේදයද මීට එක් හේතුවක් වී තිබේ. ඇමරිකාව සෑදී ඇත්තේ එකිනෙක වෙන්වූ ප්‍රාන්ත පනහක් එක් වීමෙනි. මේ ප්‍රාන්ත පනහ එක් නායකයකු එනම් ජනාධිපතිවරයකු යටතේ එක්ව කටයුතු කළද ප්‍රාන්ත වශයෙන් ඔවුන් අතර පැහැදිලි වෙනස්කම් පවත්වා ගනිති. මැතිවරණයකදීද එම වෙනස්කම් එසේම ක්‍රියාත්මක වේ. එනම් මැතිවරණ නීති ද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. ඒ අනුව ඇතැම් ප්‍රාන්තවල ජනතාවට කලින් ජන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන අතර, ඇතැම් ප්‍රාන්තවල ජනතාවට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන්නේ මැතිවරණ දිනයේදී පමණකි.

එහෙත් මෙවර දරුණු ලෙස පැතිර යන වසංගතය හමුවේ බොහෝ ප්‍රාන්ත තම ජනතාවට තමන්ට කැමති අවස්ථාවක ඡන්දය භාවිත කිරීමේ පහසුකම සැලසීය. අපේ මැතිවරණ ක්‍රමයට අනුව තැපැල් ඡන්ද ලෙස සැලකිය හැකි මේ කලින් ප්‍රකාශිත ඡන්දවලට මීට පෙර පැවතියේ අඩු වටිනාකමකි. එහෙත් මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය වැඩි බැවින් එම ඡන්ද සියල්ල ගණන් කළ යුතු බවත් ඒ අනුව ඡන්ද ඝන අයත් වන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කළ යුතු බවත් ප්‍රකාශ විය. ඒ අනුව ඡන්ද ගණන් කිරීම සිදුකෙරුණු අතර මේ ලියන මොහොත වන විට ප්‍රාන්ත 41ක ප්‍රතිඵල නිකුත් වී තිබේ. ජයග්‍රහණය සඳහා අපේක්ෂකයෙකු ඡන්ද ඝන 270ක් ලබා ගත යුතු වන අතර ජෝ බයිඩ්න් මේ වන විට ඡන්ද ඝන 264ක් ලබා තිබේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවී තිබෙන්නේ ඡන්ද ඝන 214ක් පමණි. එහෙත් ඔහු සමස්ත ප්‍රතිඵලයට අභියෝග කරමින් සිටින්නේ මැතිවරණ දූෂණ සිදුවූ බවට චෝදනා කරමිනි. 

ඔහුගේ මැතිවරණ නිලධාරීන් පවසා සිටින්නේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී අති විශාල ලෙස දූෂණ සිදුවන බවයි. එහෙත් මෙහි දී පැවසිය යුතු කරුණක් වන්නේ වසංගතයට බිය වූ ජනතාව වැඩි වශයෙන් තැපැල් ඡන්ද භාවිත කළ බවය. එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂය වසංගතයේදී ට්‍රම්ප් රජය ගෙන ගිය ක්‍රියාමාර්ගය හෙළා දුටු අතර පක්ෂය ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි බවය. ඔවුන් නිතර තම ඡන්ද දායකයන් තමන්ට හැකි අවස්ථාවක ඡන්දය පාවිච්චි කිරීමට පෙළඹවූ බවය. ඒ අනුව ප්‍රකාශිත තැපැල් ඡන්දවලින් බහුතරය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙන බව පැහැදිලිය. ට්‍රම්ප් ප්‍රතිඵල නවත්වන ලෙස පවසමින්, තැපැල් ඡන්ද භාවිතයේදී ඡන්ද දූෂණ සිදුවූ බවට චෝදනා කරමින් පෙරළි කරන්නේ මන්ද යන්න පැහැදිලිය.

මේ ලියන අවස්ථාව වන විටත් බයිඩ්න් පැහැදිලි බහුතරයක් ලබමින් ඉදිරියෙන් සිටින අතර, ට්‍රම්ප්ගේ විරෝධතා නොවන්නට ඔහුගේ ජයග්‍රහණය ප්‍රකාශ වී අවසන් වීමටද ඉඩ තිබිණි. මේ මොහොත වන විටද විචාරකයන් පවසා සිටින්නේ බයිඩ්න් මීළඟ ජනාධිපති වීමට වැඩි ඉඩක් පවතින බවයි. ඇතැම්විට ඔබ මෙය කියවන අවස්ථාව වන විට ඇමරිකානු ජනාධිපති කවුදැයි නිශ්චිතව ප්‍රකාශ කර තිබීමට ද ඉඩ ඇත.

මේ වන විට ඇමරිකාව පුරා ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වීථි බැසීම්ද අරඹා තිබේ. ජීවිත හානිද වාර්තා වී තිබේ.

2016දී තමන් විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ මිචිගන් ප්‍රාන්තය මෙවර බයිඩ්න්ට හිමිවීම හේතුවෙන් ට්‍රම්ප් එහි ප්‍රතිඵලය සම්බන්ධව ප්‍රාන්ත උසාවියේ නඩු පවරා තිබේ. එහෙත් මීට මාස කිහිපයකට පෙර කළු ජාතිකයකු පොලීසිය අතින් මැරුම් කෑවේ මිචිගන් ප්‍රාන්තයේදී බව අමතක කළ යුතු නැත. එම මරණය ඝාතනයක් සේ දක්වමින් පොලීසියට මෙන්ම ට්‍රම්ප් රජයටද විරෝධය දක්වමින් දසදහස් ගණනින් ජනතාව වංසගතය නොතකමින් මහමගට බැස විරෝධය දැක්වීමට කටයුතු කළ බවද අමතක කළ යුතු නැත. දැන් මිචිගන් ප්‍රාන්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් උසාවි ගොස් තිබේ.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන බව මේ සියල්ල අතර පැහැදිලිව දිස්වන බවද සටහන් කළ යුතුය. චීනය තම ජනතාව ඉරේ සිටුවා පාලනය කරන විට ඇමරිකානු ජනතාව උපරිම නිදහසක් විඳින බව පෙනේනේය. එහෙත් මේ සිදුවීම් සියල්ලේ අවසානය චීනය පහසුවෙන්ම ඇමරිකාව ඉක්මවා යෑම මිස අන් කිසිවක් නොවනු ඇත. බලයට තම නිවස තුළම කඹ ඇදීම නවතා තමන්ට එල්ල වෙමින් පවතින තර්ජන ගැන අවධානය යොමු කිරීමට ඇමරිකානු නායකයන්ට හැකියාව ලැබෙන්නේ කවදාදැයි බලා සිටිය යුතුය.

Comments