දෙවැනි කෝවිඩ් රැල්ලෙන් යුරෝපය වැසෙයි | සිළුමිණ

දෙවැනි කෝවිඩ් රැල්ලෙන් යුරෝපය වැසෙයි

මේ වන විට යුරෝපය පුරා පැතිර යන දෙවැනි කෝවිඩ් රැල්ල හේතුවෙන් යුරෝපයේ රටවල් කිහිපයක්ම යළිත් වසා දමන්නට එම රටවල බලධාරීන් තීරණය කර තිබේ. මේ වන විට යුරෝපා මහාද්වීපය පිහිටා ඇති උතුරු අර්ධගෝලය ශීත ඍතුව කරා ගමන් කරමින් සිටින අතර විද්‍යාඥයන් අනුමාන කර සිටියේ ශීත ඍතුවේදී කෝවිඩ් ව්‍යප්තිය වර්ධනය වනු ඇති බවයි. එහෙත් මේ වන විට ශීත ඍතුව ඇරඹීමට පෙර සිටම යුරෝපයේ රටවල් රැසක ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටී.

පසුගිය මැයි මාසය වන විට යුරෝපයේ රටවල කොවිඩ් ආසාදිතයන්ගේ කිසියම් අඩුවීමක් දක්නට ලැබුණු අතර නිරෝධායන සීමා යටතේ බොහෝ රටවල් තම ආර්ථිකයන් විවෘත කිරීමට කටයුතු කරන ලදී.

එහෙත් එම නිරෝධායන සීමා එම ලෙසටම ආරක්ෂා කිරීමට ජනතාව සමත් නොවූ අතර මාස කිහිපයක් ගතවන විට එම සීමාකම් ආරක්ෂා කිරීමට බලධාරීන්ට අමතක වූ අතර, ජනතාවට එම සීමා පිළිපැදීමට අමතක විය. මෙලෙස යළිත් වරක් වයිරස ව්‍යප්තිය වර්ධනය වීමට ප්‍රධාන හේතුව එය ම විය. බොහෝ රටවල් ශීත ඍතුවේදී වයිරසයෙන් ආරක්ෂා වීමට සීමා පැණවීමට බලාපොරොත්තු වී සිටියද එයට පෙරදීම රටවල් වසා දැමීමමට සිදුවී තිබේ.

මේ වන විට මහා බ්‍රිතාන්‍ය සති හතරකට රට වසා දමන බව ප්‍රකාශ කර තිබේ. දෙසැම්බර් වන විට රට සාමාන්‍ය අතට ගෙන ඒම එසේ කිරීමේ බලාපොරොත්තුව වී තිබේ. මේ වන විට මහා බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා වී තිබේ.

බ්‍රිතාන්‍යයට පෙර තවත් රටවල් නවයක් ආසාදිතයන් මිලියනය ඉක්මවූ අතර එම රටවල් වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ කොළොම්බියාවයි. මෙක්සිකෝව සහ පීරූ යන රටවල්ද ආසාදිතයන් මිලියනය ආසන්නයේ සිටිති. කෙසේ වුවද මේ වන විට බ්‍රිතාන්‍යය වසා දමා ඇති අතර ඉතා දැඩි සීමාකම් යටතේ සීමිත ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පමණක් ජනතාවට මහාමාර්ගවලට පිවිසීමට අවසර ලබා දී තිබේ.

මේ වන විට මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 46,853කි.

ඒ සමගම ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ බල්ගේරියාවද වසා දැමීමට එම රටවල බලධාරීන් තීරණය කර ඇත්තේ ආසාදිතයන් ඉතා ශීඝ්‍රයෙන් වැඩිවන බව වාර්තා වීමත් සමගය.

විශේෂයෙන්ම ප්‍රංශයෙන් මේ වන විට ආසාදිතයන් මිලියන 1.5ක ඉතා ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම තත්ත්වයේ වර්ධනයක්ද දක්නට ලැබී තිබේ. එහෙත් බ්‍රිතාන්‍යයට සාපේක්ෂව ප්‍රංශයෙන් වාර්තා වන්නේ අඩු මරණ සංඛ්‍යාවකි. එය 37,435කි.

ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය පවතින ජර්මනියද මේ වන විට කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් රට වසා දමා තිබේ.

ජර්මනියෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 560,580ක් සහ මරණ 10,724ක් පමණක් වුවද වේගයෙන් ආසාදිතයන් වාර්තා වන්නට වූ හෙයින් යළිත් රට වසා දැමීමට ඉතා නුවණැති ලෙස ජර්මන් බලධාරීන් තීරණය කර තිබේ.

ඉතාලියද මේ අතරට එක් වන්නේ රටේ ආර්ථීකයට හානිදායක වුවද ජන ජීවිත ‌ ආරක්ෂා කර ගත යුතුය යන සංවේදී තීරණය එරට අගමැතිවරයා විසින් ගනු ලැබූ බැවිනි. පසුගිය අවස්ථාවේදී ඉතාලිය මුහුණ දුන් කටුක අත්දැකීම ඔවුන්ට අමතක නැතිවාට සැක නැත.

තම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් ස්පාඤ්ඤයද වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කළද එරට ජනතාව එම තීරණයට විරුද්ධව මහමග විරෝධතා පවත්වමින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වන බව වාර්තා වේ.

කෙසේ වුවද මේ වන විටත් ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා කරන ඇමරිකාව ස්වකීය ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වූ අතර, ඉන්දියාවද සීමිත සමාජ ආරක්ෂණ ක්‍රියාකාරකම් සමග ලෝකයේ දෙවැනි ආසාදිතයන් සමග කොව්ඩ් මරණ ලක්ෂය ඉක්මවා වාර්තා කර තිබේ.

Comments