හඳෙන් වතුර හමුවේ | සිළුමිණ

හඳෙන් වතුර හමුවේ

සඳෙහි පෘෂ්ඨය මතුපිට ජලය පැවතිය හැකි බව විද්‍යාඥයන් පසුගියදා නිශ්චිතව ප්‍රකාශ කර තිබේ. සඳ මතුපිට වර්ග කිලෝමීටර් 40,000ක පමණ ප්‍රදේශයක අයිස්වලට මැදිව ජලය පිහිටා ඇතිබව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. එය මීට පෙර ඔවුන් අනුමාන කළ ප්‍රමාණය වඩා සියට 20ක වැඩිවීමකි. මේ අයිස්වලින් ගහන ප්‍රදේශ පිහිටා ඇත්තේ සඳෙහි උතුරු සහ දකුණු ධ්‍රැවාසන්නයේය. මේ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 163ක් පමණ වන බව විද්‍යාඥයන්ගේ අනුමානය වී තිබේ.

නාසා අයාතනය විසින් සඳ නිරීක්ෂණයට යවනු ලැබූ යානා මගින් මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

වල්ගා තරු, ඇස්ටරොයිඩ, අභ්‍යවකාශයේ ඇති දූවිලි අංශු, සූර්ය කුණාටු මෙන්ම සඳ මත සිදුවුණු ගිනිකඳු පිපිරීම් යනාදිය හේතුවෙන් මෙලෙස සඳ මත ජලය එකතුවන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

මේ වන විට ධවල මන්දිරයේ උපදෙස් මත නාසා ආයතනය 2024ට පෙර අභ්‍යවකාශගාමි‌යෙකු සඳ මතට යැවීමට කටයුතු සිදු කරමින් සිටී.

එය අදින් වසර පනහකට එපිටදී සිදු කෙරුණු ඇපලෝ ව්‍යපෘතිය මෙන් නොව එයට වඩා ඉතා දියුණු ව්‍යපෘතියක් ලෙස සිදු කිරීමට නාසා ආයතනය මේ වන විට දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 

ඇමරිකාව වසරකට

ගස් මිලියන 36ක් කපයි

 

ඇමරිකාවේ නගරවලින් වසරකට ගස් මිලියන 36ක් කපා දමන බව එරටින් වාර්තා වේ. ඇමරිකාවේ නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රමීය ප්‍රදේශවල අඛණ්ඩව සිදුවන නාගරීකරණය මේ සඳහා ප්‍රධාන හේතුව වී තිබේ. කෙසේ වුවද මේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වළක්වාලීමට ඇමරිකාවේ දායකත්වය ඉතා අවම වනු ඇති බව වැඩි දෙනාගේ මතය වී තිබේ.

ඇමරිකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 80ක්ම ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවලය.

 

ගුරුවරයාගේ ඝාතනයෙන් පසු

ප්‍රංශයේ මතවාදී සටන්

පසුගිය සතියේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තම සිසුන්ට දැනුම ලබා දීමට උත්සාහ දැරූ ප්‍රංශ ගුරුවර‌ෙයක් ඔහුගේම සිසුවකු අතින් මරණයට පත් වූයේ ඉස්ලාම් ආගමට අපහාස කළේය යන චෝදනාවද සමගය. මේ ඝාතනය ප්‍රංශ රජය ඉතා පිළිකුළෙන් යුතුව හෙළා දුටු අතර ප්‍රංශ අගමැතිවරයා එය උපමා කර සිටියේ ප්‍රංශයේ කොඳු ඇට පෙළට එල්ල කරන ලද ප්‍රහාරයක් වශයෙනි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ද මේ ඝාතනය හෙළා දුටු අතර, ඝාතනයට හේතු වූ කාටූනය ද ඔහු අගය කර ඇත්තේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මිනිස් අයිතිවාසිකම අගය කරමිනි.

මේ සමගින් ප්‍රංශයට මතවාදී යුද්ධයකට මුහුණ දීමට සිදුවී ඇති බව පෙනී ගොස් තිබේ. ප්‍රංශ ජනාධිපතිගේ අදහස්වලට මැදපෙරදිග මුස්ලිම් රටවලින් චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධව දෝෂාරෝපණය කරමින් ජනාධිපතිවරයා වෙත අඛණ්ඩව දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බවද වාර්තා වේ.

එමෙන්ම මැදපෙරදිග රටවල ජනතාවට ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන ලෙස නියෝග ලැබෙමින් පවතින බවද වාර්තා වෙමින් තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධව ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ප්‍රංශය කිසිසේත් මුස්ලිම් අන්තවාදයට හිස නොනැමිය යුතු බවයි.

 

පෙෂාවර්හි පිපිරීමක්

 

පකිස්තානයේ පෙෂාවර්හි ආගමික පාසලක පසුගියදා සිදුවුණු බෝම්බ පිපිරීමක් හේතුවෙන් හත් දෙනෙකු මියගොස් 120ක පිරිසක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ. තුවාළ ලැබූ පිරිසෙන් වැඩිදෙනා කුඩා දරුවන් බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

මේ පුපුරණ ද්‍රව්‍ය පාසල අසල අත්හැර දමා තිබූ බෑගයක තිබී ඇති බව පකිස්තාන ආරක්ෂක අංශ ප්‍රධානියකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

 

මුව ආවරණ නොදැම්මොත්

වසර දෙකක් හිරේ

 

දැඩිව පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ මුව ආවරණ භාවිත නොකරන පුද්ගලයන් වසර දෙකක් දක්වා සිරගත කිරීමට ඉතියෝපියාව තීරණය කර තිබේ. ඉතියෝපියාව එරට ප්‍රථම කොවිඩ් රැල්ල ඉතා සාර්ථකව පාලනය කළ අතර දෙවැනි රැල්ලට මේ වන විට මුහුණ දෙමින් සිටී. කෙසේ වුවද මේ නීති ස්ථාපිත කිරීම මගින් කොවිඩ් අමතක කරමින් යන ජනතාවගේ ආරක්ෂාව අපේක්ෂා කරන බව එරට රජය ප්‍රකාශ කර තිබේ.

Comments