
ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ ඇමරිකාව වාග් යුද්ධයක පැටලුනේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට පෙර සිටමය. ප්‍රථමයෙන්ම මයික් පොම්පියෝ මේ වාග් ප්‍රහාර අරඹමින් පවසා සිටියේ තමන් ගමන්කළ යුත්තේ කා සමගදැයි ශ්‍රීලංකාව තෝරා ගත යුතු බවයි. ඇතැමුන් එය තර්ජනාත්මක ප්‍රකාශයක් ලෙසින් දුටු අතර, එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස චීන තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකාව ශ්‍රී ලංකාවට ‘අයුතු බලපෑම් කිරීමෙන්’ වැළකී සිටිය යුතු බව පවසා සිටියේය. එමෙන්ම ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව දුශ්කර එහෙත් නිවැරදි තීරණවලට එළඹෙනු ඇති බවද චීන තානාපති කාර්යාලය පවසා සිටියේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍යංශයේදී සිදු කළ අදහස් දැක්වීමේදී ඔහු චීනය ගොදුරු අල්ලන සතෙකුට සමාන කළ අතර එයට ප්‍රතිචාර ලෙස චීන තානාපතිවරයා හාස්‍ය ජනක ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. එහි ඒලියන් වර්සස් ප්‍රේඩේටර් හොලිවුඩ් සිනමා පටයේ ඡායාරූපයක් අලවා තිබූ අතර, ඒ සමගින් සටහන් කර තිබුණේ “ සමාවන්න. අප ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව සහ මිත්‍රත්වය වර්ධනය කිරීමේ කාර්යබහුල වී සිටින බැවින් පිටසක්වලයන් සහ ගොදුරු අල්ලන සතුන් අතර ක්‍රීඩාවට කාලයක් නොමැති” බවයි.