කොවිඩ් හොඳකරන්න එන්නතක් එන්නේ කවදාද? | සිළුමිණ

කොවිඩ් හොඳකරන්න එන්නතක් එන්නේ කවදාද?

මේ වන විට මුළු ලෝකයම බලා සිටින්නේ කොවිඩ් - 19 වෙනුවෙන් එන්නතක් නිපදවන තුරුය. එහෙත් ලෝකයට ඇති හදිස්සියට එන්නත් නිපදවිය නොහැකිය. ඒ සඳහා ඉතා විශ්වාසනීය ක්‍රමවේදයක් ඔස්සේ සැලකිය යුතු කාලයක් පුරා කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල සමග මුසු කළ සායනික පර්යේෂණද යොදා ගත යුතුය. එන්නතක් රෝගයට නිශ්චිත විසඳුම ලබා දිය යුතු අතර, අතුරු ආබාධවලින් තොර විය යුතුය. මේ සියල්ල සම්පූර්ණ වන තෙක් වසංගතය පැතිර යනු ඇති අතර ඒ සම්බන්ධව කළ හැකි‌ වෙනත් කිසිවක් ලෝක වාසීන්ට නොමැත.

 

මීට පෙර වසංගත රෝගයක් ලොව පුරා පැතිර ගියේ වසර සියයකට පමණ පෙරදීය. ඒ 1918දී ලෝකය අක්‍රමණය කළ ස්පාඤ්ඤ උණ රෝගයයි. එකල මේ යුගයේ මෙන් සංචරණ පහසුකම්, තාක්ෂණය දියුණු නොවූ නිසා රෝගය මෙතරම් පහසුවෙන් ලොව පුරා පැතිර ගියේ නැත. එහෙත් සෞඛ්‍ය පහසුකම් අද මෙන් දියුණු තත්ත්වයක නොපැවැති බැවින් විශාල මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤ උණ රෝගය හේතුවෙන් වාර්තා විය. ඓතිහාසික වාර්තා දක්වන අන්දමට මේ වසංගතයෙන් මිය ගිය සමස්තය මිලියන 17 – 100ත් අතර වේ.

වසර දෙකකට අධික කාලයක් පුරා අවස්ථා හතරක දී වසංගතයේ රැළි හතරකට මුහුණ දීමට ලෝකයට සිදුවූ අතර ඒ දක්වා රෝගය එන්නතක් සොයා ගැනීමට එකල සිටි විද්‍යාඥයන්ට හැකියාව ලැබුණේ නැත. පසුව ඉන්ෆ්ලුවන්සාව සඳහා ලබා දෙන පොදු ඖෂධ වන ඇස්පිරින්, ක්වීනින්, එප්සම් ලුණු, ආසනික්, කැස්ටෝ තෙල් වැනි ඖෂධ මගින් පිළියම් සෙවීමට එකළ වෛද්‍යවරු උත්සාහ දැරූහ.

පසුව රිචඩ් පෙයිෆර් නම් වූ ජර්මන් වෛද්‍යවරයකු මේ සම්බන්ධව කිසියම් දුරකට ඵලදායී එන්නතක් සොයා ගැනීමට සමත් වූ අතර ඒ සඳහා රෝගියකුගේ පෙනහළුවලින් වයිරසය වෙන් කර ගෙන දිගු කාලයක් පර්යේෂණ කිරීමට ඔහුට සිදුවිය.

එකල ලෝකය තුළ පිළිගත් සංවිධාන එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන ස්ථාපිතව නොවූ බැවින් එක් එක් පර්යේෂකයෝ තම තමන්ට ඇවැසි ලෙස පර්යේෂණ පවත්වමින් ඖෂධ නිපදවමින් බෙදා හරිමින් වසංගතයට පිළියම් සෙවීමට උත්සාහ දැරූහ. එහෙත් ඒ අතරින් බහුතරයක් නිශ්චිත පිළියම නොවූ බවනම් පැවසිය හැකිය.

එයින් වසර සියයකට පසු කොවිඩ් වසංගතය පැතිරී යන ලෝකය එදා පැවති ලෝකයට වඩා බෙහෙවින් වෙනස්ය. සංවිධානාත්මකය. ලෝකයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව වගකිව යුතු ආයතනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය බිහිවී තිබෙන අතර, එය මේ වන විටත් කොවිඩ් වසංගතය අතර ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක් කරමින් සිටී.

කොවිඩ් සඳහා එන්නතක් සොයා ගත හොත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා ප්‍රථමයෙන්ම යොමු කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් සඳහා අනුමැතිය ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් තිබේ. මේ වන විට ලෝකයේ රටවල් රාශියක් කොවිඩ් එන්නත් නිපදවීම කෙරෙහි උපරිම අවධානය යොමු කර ඇත්තේ එවැනි එන්නතක් සොයා ගැනීම යනු මේ අවස්ථාවේදී මහා ධන නිධානයක් ලබා ගැනීම හා සමාන වන බැවිනි. ලොව ජීවත් වන සෑම මනුෂ්‍යයකුටම මේ එන්නත අවශ්‍ය වන බැවින් එහි අලෙවිය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් එම අසීමිත ඉල්ලුම හමුවේ රටවල් රාශියක් කොවිඩ් සඳහා එන්නත් සෙවීමේ නිරතව සිටිති. ඔවුන් අතරින් රුසියාව, චීනය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය (ඔක්ස්ෆර්ඩ් සරසවිය) ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ වන විටත් එන්නත සාර්ථකව අත්හදා බලා ඇති බවයි. එහෙත් ඔවුන් අලෙවි අරමුණ මත කුමක් කීවද එය ජනතාවට ලබා දීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගත යුතු වනු ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය ලෙස කටයුතු කරන වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසා සිටියේ ලොව පුරා එන්නත් 200ක් පමණ කොවිඩ් වෙනුවෙන් නිපදවී ඇති බවත්, ඒ අතරින් 31ක් සායනික පර්යේෂණ දක්වා පැමිණ ඇති බවත්ය. එන්නතක් සායනික පර්යේෂණවලදී අදියර හතරක් යටතේ පරීක්ෂාවට ලක් කළ යුතු වේ. වෛද්‍ය සෞම්‍යාට අනුව මේ වන විට එන්නත් අටක් පසුවන්නේ සායනික පර්යේෂණවල සිව්වන අදියරේය. ඒ අනුව මේ වසරේ අවසානයේ හෝ ලබන වසරේ ආරම්භයේදී මේ එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධව නිශ්චිත තොරතුරක් දැනගත හැකි වනු ඇතිබව වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්ගේ අපේක්ෂාවයි.

මෙහිදී එන්නත්වල සාර්ථකත්වය යනුවෙන් ඇය අදහස් කරන්නේ එම එන්නත්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂිත බවයි. මේ සායනික අත්හදාබැලීම්වල ප්‍රතිළඵල ලැබුණු පසු ලොවපුරා එන්නත් නියාමකයන් එම ප්‍රතිඵල විශ්ලේෂණය කර තීරණවලට එළඹෙනු ඇති බව වෛද්‍ය සෞම්‍යාගේ අදහසයි. එන්නත් නිෂ්පාදන මට්ටමට පැමිණෙන්නේ ඉන්පසුවය. එනම් නිෂ්පාදනයට අවසර හිමිවූ පසුවය.

වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ මේ පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් දෙස බැලූ විට එකවර එන්නත් දෙකක් හෝ තුනක් නිෂ්පාදන අවසරය ලබා ගැනීමට වැඩි ඉඩක් පවතින බවයි. එහෙත් එම එන්නත් නිෂ්පාදන අවස්ථාව වන විට 2021 වසරේ මැද භාගය පමණ වනු ඇතැයි ඇයගේ විශ්වාසයයි.

ඉදිරි දිනකදී ජනතාව වෙත නිකුත් කරන කොවිඩ් එන්නතක් අවම වශයෙන් සියයට 70ක සාර්ථකත්වයකින් යුක්ත විය යුතු බව වෛද්‍ය සෞම්‍යාගේ අදහසයි. එනම් එන්නත ලබා දෙන සිය දෙනෙකු අතරින් හැත්තෑ දෙනෙකු හෝ අවම වශයෙන් සුවපත් විය යුතු බවයි. එමෙන්ම ඇය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නතක් සඳහා අවම ප්‍රමිතිය යටතේ එම එන්නත සියයට 50ක ආරක්ෂිත බවකින් යුක්ත විය යුතු බවයි. එමෙන්ම එන්නත කෙටි කාලීනව සහ දිගු කාලීනව අතුරු ආබාධ ඇති නොකරන බවට සහතිකයක් තිබිය යුතු බවද ඇය පවසයි. අමතරව එන්නත සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට, එනම්කුඩා දරුවන්ගේ සිට ගැබිණි මාතාවන් දක්වා ආරක්ෂිතව ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු බවද ඇය පෙන්වා දෙයි.

එය තනි මාත්‍රාවකින් ලබා ගත යුතු විය යුතු අතර, වසර කිහිපයක් සඳහා ප්‍රතිශක්තිය ලබා දිය යුතුද වෙයි. එන්නත ගබඩා කිරීම සහ බෙදා හැරීමද පහසු විය යුතුය. එනම් බොහෝ රටවල අධි ශීතකරණ පහසුකම් අවම බැවින් එන්නත ඒ සියල්ලට ඔරොත්තු දිය යුතු වන බවයි.

වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මෙහිදී ඉතා අවධාරණයෙන් පවසන්නේ ලෝකයේ ඖෂධ නිපදවීම සඳහා පවතින සියලු ප්‍රමිතීන් මෙහිදී අනුගමනය කළ යුතු බවත්, කොතරම් අවශ්‍යතා පැවතියද කෙටිමං සෙවීම නොකළ යුතු බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් එසේ පවසන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අධානොම් පවසා සිටියේ කොවිඩ් සඳහා එන්නතක් නිපදවීමේදී ජාතිවාදී ලෙස සිතීමෙන් වැළකී ලෝකයම ආදළ කර ගනිමින් පොදු සිතිවිල්ලකින් ක්‍රියා කළ යුතු බවය. මේ වන විට ලොව පුරා යළිත් වයිරසය දරුණු ලෙස පැතිරෙමින් තිබෙන බැවින් එසේ කටයුතු කිරීමෙන් තොරව වයිරසය පරාජය කළ නොහැකි වනු ඇති බවයි.

Comments