කවුද මේ පොම්පියෝ... | සිළුමිණ

කවුද මේ පොම්පියෝ...

මයික් පොම්පියෝ යනු ඇමරිකා එක්සත් ජනපදයේ 70වැනි රාජ්‍ය ලේකම්වරයාය. ඇමරිකාවේ දේශපාලන බල ධූරාවලිය අනුව රාජ්‍ය ලේකම් ධූරය සමාන වන්නේ අපේ රටේ විදේශ අමාත්‍ය ධූරයටය. ඇමරිකාවේ දේශපාලන බල ධූරාවලිය අනුව බලවත්ම පුද්ගලයා ජනාධිපතිවරයා වන අතර, රාජ්‍ය ලේකම්වරයාට ද හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එයට හේතුව රාජ්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ලොව බොහෝ රටවල තීන්දු තීරණ, ගිවිසුම් යනාදිය ස්ථාපිත කෙරුණු බැවිනි. සැබවින්ම ඇමරිකානු ජනාධිපතිවරයාට පසුව ලෝකයේ සෙසු රටවල ජනප්‍රියම චරිතය බවට පත් වන්නේ රාජ්‍ය ලේකම්වරයාය.

 

එහෙත් මයික් පොම්පියෝ ලෝකයේ නිතර නම කියවෙන චරිතයක් බවට පත්වූයේ නැත. එයට හේතු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දේශපාලන වැඩපිළිවෙළයි. වසර ගණනාවකට පසු ඇමරිකාවේ මැදිහත්වීමෙන් ලෝකයේ සෙසු රටවල යුදගිනි නොඇවිළුණු කාලයක් ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන කාලය නම් කළ හැකිය. මීට පෙර සිටි රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ජනාධිපතිවරු පොදුවේ ලෝකයේ තැනින්තැන රටවල් අලුදූවිලි කිරීමේ තීරණවලට එළඹුණහ. ඩිමොක්‍රටික් ජනාධිපති බිල් ක්ලින්ටන්, රිපබ්ලිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මෙන්ම ඩිමොක්‍රටික් ජනාධිපති බරැක් ඔබාමාද මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඒ අතරින් වෙනස් පුද්ගලයෙකු විය. ඔහුට සටන්කිරීමට වෙනත් පෙරමුණු තිබීම වෙනම කරුණක් විය. එහෙත් ඔහු යටතේ ලෝකයේ සෙසු රටවල ඇමරිකානු යුධ ගිනිදැල් ඇවිල ගියේ නැත. එබැවින්ම ඔහුගේ රාජ්‍ය ලේකම්වරයා කාර්ය බහුල වූයේ නැත. ඔහු රටින් රට සිදු කළ සංචාරද අවම විය. මයික් පොම්පියෝ නම ලෝකයට ආගන්තුක වන්නේ එබැවිනි.

එහෙත් ඔහුගේ කාර්ය භාරය සලකා බලන විට ඔහු ඇමරිකානු දේශපාලනයේ කොතරම් කැපී පෙනෙන භූමිකාවක් රඟ දක්වන්නේද යන්න පැහැදිලිය.

මයික් පොම්පියෝ උපත ලබන්නේ 1956 වසරේ දෙසැම්බර් 30 වැනිදා ඇමරිකාවේ කැලිෆෝර්නියාවේදීය. සතුටුදායක ළමාවියක් සමග සාර්ථක අධ්‍යාපනයක්ද ලැබූ ඔහු හාවර්ඩ් සරසවියේ උපාධිධාරියෙකුද වන්නේය. ඔහු එතැන්සිට තම චරිතය ගොඩනගා ගන්නේ දක්ෂතා කිහිපයක් සමග පැතිකඩ කිහිපයක කටයුතු කරන අනන්‍ය පෞරුෂ ලක්ෂණවලින් හෙබි පුද්ලයෙකු වශයෙනි. ඒ අනුව ඔහු ඇමරිකානු දේශපාලනඥයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, ව්‍යාපාරියෙකු සහ නීතිඥයෙකු යන ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වනු හඳුනාගත හැකිය. ඒ සියල්ලටම වඩා විශේෂ වන්නේ ඔහුගේ මිලිටරිමය භූමිකාවයි. ඔහු හාවර්ඩ් අධ්‍යාපනයෙන් පසු එක්සත් ජනපද මිලිටරි ඇකඩමියේ අධ්‍යාපනය ලබන අතර 1986 සිට 1991 දක්වා පොම්පියෝ සේවය කරන්නේ එක්සත් ජනපද යුද හමුදාවටය. එහි කපිතාන් නිලයක් දරන මයික් පොම්පියෝ 1991දී ඉන් ඉවත් වන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ජය ගනිමින් දේශපාලනයට එක්වීමටය. දේශපාලනය සඳහා ඔහු තෝරා ගන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

2001 වසරේදී කැන්සාස් ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වන මයික් පොම්පියෝ 2017 වසර දක්වා එහි අඛණ්ඩව රැඳී සිටීමට සමත් වන්නේය. ඒ අතර රිපබ්ලිකන් පක්ෂය දිනවීමට ඇපකැපවන ඔහු එහි අග්‍රඵලය ලබන්නේ 2015 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමගිනි.

මයික් පොම්පියෝ සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් සතුව විශේෂ වැඩපිළිවෙළක් විය. ඔහුගේ හැකියාවන් කෙරෙහි අවබෝධයෙන් සිටි ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ දක්ෂතාවන්ට අවස්ථාව දෙමින් ප්‍රථමයෙන්ම ඔහු ඇමරිකානු ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා බවට පත් කරන්නේය. ඒ 2017 ජනවාරි මස 23වැනිදාය.

එතැන් සිට 2018 අප්‍රේල් 26වැනිදා වන තුර ඔහු එම ධූරය හොබවන්නේය. ඔහු එම ධූරයට සමු දෙන්නේ එයටත් වඩා වැදගත්කමකින් යුතු රාජ්‍ය ලේකම් ධූරය වෙනුවෙනි. ඒ අනුව එතැන් සිට මේ දක්වා ඔහු ඇමරිකාවේ 70වැනි රාජ්‍ය ලේකම් ලෙස තම සේවය සපයමින් සිටින්නේය.

මයික් පොම්පියෝ අප රටට පැමිණියේ ඔහුගේ සුන්දර බිරියද සමගිනි. ඇය සුසාන් මොස්ට්‍රෙස් නම් වන අතර මයික් පොම්පියෝගේ දෙවැනි බිරියද වන්නීය. පොම්පියෝ ප්‍රථම වරට 1986 වසරේදී විවාහ වන්නේ ලෙස්ලි ලිබර්ට් සමගිනි. පසුව එම විවාහයෙන් ඉවත්ව සුසාන් සමග වසර 2000දී විවාපත් වුණු මයික් පොම්පියෝ එක් දරු පියෙක්ද වන්නේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන කාලයේදී ඇමරිකාව වෙනුවෙන් කැපී පෙනෙන වැඩකොටසක් කිරීමට ස්වකීය දායකත්වය ලබා දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධව බොහෝ දෙනා නොදන්නා කරුණක් වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ව්‍යාපෘතියේ සභාපතිවරයා ඔහු මිස අන් කිසිවකු නොවන බවයි. 2018 වසරේදී යෝජනා කරන ලද මේ ව්‍යපෘතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉහළින්ම මයික් පොම්පියෝ සිටින අතර ඔහුගේ ධූරය සඳහන් වන්නේ සභාපති වශයෙනි. ඔහුට අමතරව ස්ටීවන් ටී. මුන්චින් උප සභාපතීත්වය දරන අතර ඔහු ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ධූරයද දරන්නේය. මේ දෙදෙනාට අමතරව එම්සීසී අධ්‍යක්ෂ මණ්ඩලය තවත් සිව් දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔහුන් සියලු දෙනාම අමතරව රජයේ වගකිවයුත ධූර හොබවන්නෝද වෙති.

Comments