
මේ වන විට කොවිඩ් කෙරෙහි යොමු වී ඇති මුළු මහත් ලෝකයේම අවධානය තවත් දින දෙකකින් වෙනත් දෙයක් කෙරෙහි යොමු වනු ඇත. ඒ අන් කිසිවක් නොව ඇමරිකාවේ ජනාධිපතිවරණය කෙරෙහිය. තවත් දින දෙකකින් එනම් නොවැම්බර් මස 3වැනි දින පැවැත්වීමට නියමිතය. ඇමරිකාවේ ඡන්ද ක්‍රමයට අනුව මේ වන විටත් එරට ජනතාව තමා කැමති ඡනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විද්‍යාල සාමාජිකයන්ට කැමැත්ත පළ කරමින් සිටින අතර නොවැම්බර් 3වැනි දින අදාළ ඡන්ද විද්‍යාල සාමාජිකයන් තේරී පත්වී ඇති අන්දම මත වැඩි ප්‍රතිශතය තබා ගන්නා අපේක්ෂකයා ජනාධිපති ලෙස පත්වීමට නියමිතය.
සාමාන්‍යයෙන් ඇමරිකානු ජනාධිපතිවරණය යනු ඉතා උණුසුම් ස්වභාවයක් ගන්නා, සැමවිටම ඉතා තියුණු තරඟයක් සහිත මුළු ලෝකයේම අවධානය ඇද ගැනීමට සමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයකි. එහෙත් මෙවර පවතින්නේ ඇල්මැරුණු දේශපාලන සටනකැයි පැවසිය හැකිය. මේ වන විට සටන් පෙරමුණු කිහිපයක සටන් වදිමින් සිටින ඇමරිකාවට දේශපාලන සටන එතරම් වැදගත් නැතිවී ඇතිවා විය හැකිය. එක් අතකින් ඇමරිකාව කොවිඩ් වයිරසය සමග සටන් වදිමින් සිටින අතර තවත්අතකින් මේ වන විට ඔවුන්ට මුණ ගැසී ඇති සමානයක වන චීනය සමග ලෝක නායකත්වය සඳහා වන සටනටද ඇමරිකාව ප්‍රබල ලෙස මුහුණ දෙමින් සිටී.
මෙවර ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනාම එතරම් ආකර්ෂණීය නොවන නිසාදෝ මෙවර ඡන්ද සටනට ඇමරිකානු පුරවැසියන්ගෙන්ද ඇල්මැරුණු ප්‍රතිචාර හිමිවනු දැක ගත හැකි වී තිබේ. මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වන්නේ ඇමරිකාවේ වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනා ඒ සඳහා තරගවැදී සිටින බැවිනි. මෙවර දෙවැනි ධූරකාලය සඳහා තරගවදින වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හැත්තෑහතර වැනි වියේ පසුවන අතර ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතින බවට අනාවැකි පැවසිය හැකි ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් පසුවන්නේ හැත්තෑ හත් වැනි වියේ ය.
කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද ඩිමොක්‍රටික් පක්ෂය ඔබාමාගෙන් පසු තමන් අතින් ගිලිහී ගිය බලය යළි ලබා ගැනීමට කළ හැකි සියල්ල කරමින් සිටින අතර රිපබ්ලිකන්වරු බුෂ් පාලනයෙන් පසු වසර අටකට ගිලිහී ගොස් ට්‍රම්ප් විසින් යළි ලබාගත් බලය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් සිටිති.
ඇමරිකාවේ විශේෂත්වය වන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිපත්ති අතින් වැඩි වෙනසක් දක්නට නොවීමය. කලින් කලට බලය දෙපාර්ශ්වය අතර හුවමාරු වනවා මිස පක්ෂ දෙකේ ජාතික ප්‍රතිපත්තියවල හෝ විදේශ ප්‍රතිපත්තියේ විශාල වෙනස්කම් හඳුනාගත නොහැකි තරම්ය. වෙනසක් ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජාතිකවාදය ඉදිරියට ගෙන ආ අතර එය ඉතා ජනප්‍රිය විය. එහෙත් මෙවර එයට ප්‍රතිවිරුද්ධ ලෙස ජෝ බයිඩ්න් සංක්‍රමණිකයන්ගේ ඡන්ද ඉතා සාර්ථක ලෙස තම ගොඩට දා ගැනීමට කටයුතු කරමින් සිටින බව පෙනේ.
ධූර කාලය ආරම්භයේ සිට ඩිමොක්‍රටික්වරුන්ගේ කකුලෙන් ඇදීම් හේතුවෙන් ස්වකීය පාලනය කාලයේදී දෝෂාභියෝගයක පවා මුහුණ දුන් ජනාධිපති ට්‍රම්ප්, කොවිඩ් වසංගතයෙන්ද දැඩි ලෙස බැට කෑ නමුත් අවසන් මොහොතේදීත් සටන අත්හැර ඇති බවක් පෙනෙන්නට නැත.
එහෙත් ගිලිහී යමින් පවතින ඇමරිකානු ආශ්චර්යය යළි ගෙනඒමට ඔහු අසමත් බවට ඇතිවෙමින් යන ජනතා විශ්වාසය හේතුවෙන්දෝ වැඩි ජනතා මනාපය ජෝ බයිඩ්න් වෙත බවට අනාවැකි පැවසිය හැකිය.
දෙදෙනා අතරින් කවුරුන් තේරී පත්වුවද ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා මෙවර පත්වනු ඇති අතර ඔහු බොහෝදුරට ආකර්ෂණීය චරිතයක් නොවීමටද ඉඩ තිබේ.
චීනය සමග වන වෙළෙඳ යුද්ධයද අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට ඇමරිකාවට සිදුවනු ඇති අතර, ට්‍රම්ප් පරදා බයිඩ්න් පැමිණියද එහි වෙනසක් සිදුවනු ඇතැයි අනුමාන කළ නොහැතිය.
ඒ අනුව තවත් දින දෙකකින් ඇමරිකාව බාර ගන්නා ජනාධිපතිවරයාට සිව් වසරක් පුරා සතුටුදායක කාලයක් ගොවීමට නොහැකි වීමට නම් වැඩි ඉඩක් පවතින බව සඳහන් කළ යුතුමය.