බාබඩෝස් පාලකයෝ මහරැජන ධූරයෙන් නෙරපති | සිළුමිණ

බාබඩෝස් පාලකයෝ මහරැජන ධූරයෙන් නෙරපති

බටහිර කොදෙව් දූපත් හි තවත් එක් රාජ්‍යයක් වන බාබඩෝස් පසුගිය දිනයක ලෝකයේම අවදානය දිනා ගන්නා වෙනස්කම් තම පාලන තන්ත්‍රයට අදාළව සිදු කළේය. ඒ මෙතෙක් කලක් තම රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සැලකුණු බ්‍රිතාන්‍ය මහ රැජින තවදුරටත් තම රාජ්‍යයේ ප්‍රධානියා ලෙස නොසලකන බවත් එම තීරණය ලබන වසරේ සිට ක්‍රියාත්මක බවත් ප්‍රකාශ කිරීමය. බාබඩෝස් ස්වාධීන රාජ්‍යයක් වුවද එහි නාමික රාජ්‍ය නායකයා ලෙස මේ දක්වා බ්‍රිතාන්‍ය මහරැජින සලකණු ලැබීය.

යටත් විජිත යුගයේ සිට පැවති මේ ධූරය හදිසියේම වෙනස් කරමින් මහරැජින තවදුරටත් තම රාජ්‍ය නායකයා නොවන බව ප්‍රකාශයට පත් කිරීම පිටුපස චීනය සිටින බවට ප්‍රකාශයක් මහා බ්‍රිතාන්‍ය පසුගියදා සිදු කර තිබිණි.

ඒ යටතේ බ්‍රිතාන්‍ය චෝදනා කර සිටියේ චීනය කැරිබියානු කලාපයේ බලය ඉතා සූක්ෂ්මව අත්පත් කර ගනිමින් සිටින බවයි. එමෙන්ම ‘චීන ආයෝජන යනු සියල්ල නොවන බවද‘ වටහා ගන්නා ලෙස මහා බ්‍රිතාන්‍ය බාබඩෝස් පාලකයන්ට පවසා ඇතැයි වාර්තා වේ.

පසුගිය වසර කිහිපයේදී බාබඩෝස් සහ චීනය අතර ද්වීපාර්ශ්වික සබඳතා ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය. මේ යටතේ චීන ආයෝජන මේ වන විට බාබඩොස් දේශය පුරා දක්නට ලැබෙන අතර දීනමා සහ ප්‍රධාන ලෙස තාක්ෂණික උපකරණ සහ පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගණක සහ ටැබ් යනාදිය ලබා දී ඇතැයි වාර්තා වේ. චීනය ලොව පුරා ව්‍යප්ත කර ඇති ‘මාවතක් සහ තීරයක්‘ ව්‍යපෘතියට 2019 වසරේදී බාබඩෝස් සම්බන්ධ කර ගැනීමට චීනය කටයුතු යෙදීය. ඇතැම් රටවල් චීනයේ මේ ‘මාවතක් සහ තීරයක්‘ යන ව්‍යපෘතිය නව යටත්විජිතවාදයක් ලෙසින්ද සලකමින් චෝදනා කරනු දක්නට ලැබේ.

බටහිර රටවල චෝදනාව වන්නේ චීනය ණය සහ ප්‍රධාන ලබා දෙමින් දුගී රටවල් තම දේශපාලන ව්‍යපෘතියට ඈඳා ගනිමින් සිටින බවයි.

එහෙත් මේ චෝදනාවලට ප්‍රතිචාර ලෙස බාබඩෝස් පාලකයන් පවසා ඇත්තේ තවදුරටත් බ්‍රිතාන්‍ය ජාතිකයකු තම රාජ්‍ය නායකයා ලෙස පවත්වා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, ඒ වෙනුවට බාබඩෝස් ජාතිකයකු තම රටේ රාජ්‍ය නායකයා ලෙස තෝරා පත් කර ගැනීමට තමන්ට අවශ්‍ය බවත්ය.

මේ තීරණය ගනිමින් දෙවැනි එළිසබෙත් රැජින ධූරයෙන් ඉවත් කිරීමට තමන් තීරණය කර සිටියේ ඒ අනුව මිස කිසියම් චීන වැඩපිළිවෙළක් හේතුවෙන් නොවන බවද බාබඩෝස් පාලකයන් ප්‍රකාශයට පත් කර තිබේ.

Comments