
ඇමරිකා ජනාධිපතිවරණයේ තවත් ආකර්ෂණීය අංගයක් වන ප්‍රධාන අපේක්ෂකයන්ගේ සජීවී සංවාද පසුගිය බදාදා ආරම්භ විය. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රථම සජිවී විවාදය එසේ පැවැත්වුණු අතර එය අමෙරිකා පුරවැසියන්ගේ පමණක් නොව මුළු ලෝකයේම අවධානයට යොමු විය.
පාලකයන් තෝරා ගැනීමේදී ඉතා විනිවිද භාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අනුගමනය කරන ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයන් මුහුණ දෙන ප්‍රබල කඩඉමක් ලෙස මේ සජීවී සංවාද දැක්විය හැකිය.
ජනමාධ්‍ය සිව්වැනි ආණ්ඩුව බවට රූපාන්තරණය වීමත් සමඟ අමෙරිකා දේශපාලනයේ වැඩි වැඩකොටසක් එරට ජනමාධ්‍යවලටද පැවරුණු අතර තමන් තෝරා ගන්නා නායකයාගේ බුද්ධිමත්බව, ඔහු සමාජ ප්‍රශ්නවලදී දක්වන විචක්ෂණ භාවය ඇතුළු තවත් බොහෝ දේ සම්බන්ධව ජනතාවට අවබෝධයක් ලබා ගැනීමට මේ සජීවී සංවාද ඉවහල් විය.
මෙවරද ස්වකීය දෙවැනි ධූරකාලය සඳහා තරගවදින ජනාධිපති ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙසත්, ජෝ බයිඩ්න් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙසත් මේ සජීවී සංවාදයට එක්වූහ. ක්ලේව්ලන්ඩ්හි කාස්ට් වෙස්ටන් රිසර්ව් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ විවාදය පැවති අතර විවාදය මෙහෙයවීම ෆොක්ස් ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රවීණ මාධ්‍යවේදී ක්‍රිස් වැලස් විසින් සිදුකරන ලදී. අන්තර්ජාල මාධ්‍ය රැසක් සමඟ, ඇසෝසියේටඩ් ප්‍රෙස්, එන්බීසී ප්‍රවෘත්ති ඇතුළු පුවත් සේවා රැසක් මේ විවාදය සජීවීව ලොව පුරා විකාශය කිරීමට එක්විය.
මෙහිදී අපේක්ෂකයන් දෙදෙනාම එකසේ තියුණු ප්‍රශ්න කිරීම්වලට ලක්වුණු අතර දෙදෙනාම එකසේ ඒවාට ප්‍රතිඋත්තර ලබාදීමට කටයුතු කළහ. එක් අවස්ථාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩ්න්ගේ පුත්‍රයාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම හාස්‍යයට ලක් කළ අතර, ජෝ බයිඩ්න් එයට ඉතා දක්ෂ ලෙස පිළිතුරු දෙමින් ‘මගේ පුත්‍රයා සෙසු බොහෝ දෙනෙක් වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔව්. මඳක් වැඩිපුර පාවිච්චි කරනවා. නමුත් ඔහු එය සමනය කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මම ඔහු ගැන ආඩම්බර වෙනවා‘ යැයි පැවසීය.
මේ අතර විවාදය සරුව ඇවිළෙමින් පැවතියදී වැඩසටහන මෙහෙයවූ ක්‍රිස් වැලස්ට ජෝ බයිඩ්න්ට අදහස් දැක්වීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ‘නිහාඬවන‘ ලෙස පැවසීමටද සිදුවිය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා සෑම විටම මුව ආවරණ පැලඳ සිටීම සම්බන්ධව ජෝ බයිඩ්න් හාස්‍යයට ලක් කළ අතර, මොස්කව් නගරාධිපතිගේ බිරිය බයිඩ්න්ගේ මැතිවරණ වියදම් වෙනුවෙන් ඩොලර් මිලියන 3.5ක් ලබා දී ඇති බවද පවසා සිටියේය. බයිඩ්න් ජනාධිපති වුවහොත් ඔහු පොලිස් නිලධාරීන්ට ලබාදී ඇති පහසුකම් අවම කරනු ඇති බවටද ට්‍රම්ප් චෝදනා කළ අතර මේවාට පිළිතුරු ලෙස බයිඩ්න් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය දැඩිසේ විවේචනය කළේය.