රග්බි ක්‍රීඩාවේ කාන්තා සලකුණ උදානි එදිරිසිංහ | සිළුමිණ

රග්බි ක්‍රීඩාවේ කාන්තා සලකුණ උදානි එදිරිසිංහ

කොවිඩ් 19 නිසා අඩපණ වූ දේශීය රග්බි පිටිය යළිත් ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික තරගාවලිය හරහා ජීවය ලැබීමට නියමිත මොහොතක බොහෝ ක්‍රීඩා සමාජ ලහි ලහියේ ඒ සඳහා සූදානම් වන්නේ සිය කණ්ඩායම්වල කැපී පෙනෙන වෙනස්කම් ද සමඟින් ය. ඒ අතර 2020 – 21 ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික තරගාවලියට පෙර කොළඹ හොකී සහ පාපන්දු සමාජය (සී.එච්. ඇන්ඩ් එෆ්.සී) ප්‍රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් නව තරගවාරයේ ලාංකේය රග්බි පිටිය ආක්‍රමණය කිරීමට මුල පුරා තිබේ. සිය වෘත්තිය ජීවිතයේ ප්‍රථම වතාවට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු නායක රෝහිත රාජපක්ෂ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළේ ය. 

මේ අතර ලාංකේය රග්බි ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා කළමනාකාරිනියකට ඉඩකඩ විවර කර දෙමින් උදානී එදිරිසිංහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. හි නව කළමනාකාරිනිය ලෙස පත් කර තිබේ. උදානි සී.එච්. රග්බි පිටියට නවකයකු හෝ ආධුනිකයකු නොවේ. 2016 දී එකී ක්‍රීඩා සමාජයේ සහාය කළමනාකාරිවරිය ලෙස සිය වගකීම් සම්භාරය අකුරට ඉටු කළ උදානි 2019 – 20 රග්බි තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් නවතා දමන තෙක්ම එකී තනතුරෙහි කටයුතු කළාය.

කොළඹ රග්බි සහ පාපන්දු සමාජය ලෙස අද සී.එච්. ඇන්ඩ් එ‍ෆ්.සී. ප්‍රකට වුව ද 1879 දී පාපන්දු ක්‍රීඩා සමාජයක් ලෙස එකී වසරේ ජූනි 30 හා ඔවුන් ‍ලෝක කණ්ඩායමට එරෙහිව පළමු තරගයට ක්‍රීඩා කර ති‍ෙබ්. ඔවුන් හොකී ක්‍රීඩාවට අවතීරණව ඇත්තේ 1892 දී ය. සමස්තයක් ලෙස හොකී සහ පාපන්දු ක්‍රීඩා සමාජය ලෙස එනම් සි.එච්. ඇන්ඩ් එෆ්.සී. ලෙස ස්ථාපිතව ඇත්තේ 1896 දීය. 1965 වන තෙක්ම සී.එච්. ක්‍රීඩා සාමාජිකයන් සෙසු සියලුම සාමාජිකයන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වූහ.

1950 ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියට පිවිසෙන සී.එච්. ඇන්ඩ් එෆ්.සි. හත්වතාවක් කුසලානය දිනාගෙන තිබේ. ඒ 1957 – 60 - 62 – 82 – 83 – 90 සහ 1994 දී ය. 2003 සහ 2005 දී අවසන් මහා තරගවලට පිවිසුණු නමුත් මහනුවර කණ්ඩායම ඉදිරියේ පරාජය විය. එවන් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සී.එච්. හි කළමනාකාරිවරිය ලෙස කටයුතු කරන තිස් දෙවැනි විය පසුවන උදානී මියුසියස් විද්‍යාලයෙන් සිප් සතර හදාරා තිබේ.

මට සී.එච්. එක්ක අවුරුදු පහක විතර ඉතිහාසයක් තියෙනවා. මේ ක්‍රීඩා සමාජය ක්‍රීඩකයන් සමඟ පසුගිය කාලයේ ‍බොහෝම සමීපව කටයුතු කරලා තිබෙනවා. ක්‍රීඩකයන් පවා බොහෝ සෙයින් මට ගරු කරනවා. මම හැම වෙ‍ලාවේම ඉහළම ගෞරවයක් සුහදත්වයක් ඇති කළමනාකර භූමිකාවක් පවත්වා ගෙන යනවා. එය මගේ කාර්යයට විශාල පහසුවක් වේ යැයි උදානි විශ්වාසය පළ කරයි‍.

උදානි පිළිබඳ හොඳම සහතිකය ලබා දී ඇත්තේ වත්මන් පුහුණුකරු රෝහිත රාජපක්ෂ ය. ඈ සී.එච්. ක්‍රීඩකයන්ට අම්මා කෙනෙක් වගෙයි. හුඟක් අය නොදන්නවා වුණාට ඈ පහුගිය වසර පහක කාලය තුළ මේ ක්‍රීඩා සමාජයට විශාල සේවයක් කරලා තියෙනවා. ඈ සී.එච් පවුලට හොඳ මග පෙන්වන්නියක් වගේම ආලෝකයක් වේ යැයි පුහුණුකරු රෝහිත රාජපක්ෂ විශ්වාසය පළ කරයි.

 


Comments