
ජනතාවගේ කුමරිය යනුවෙන් විරුදාවලි ලැබූ මහා බ්‍රිතාන්‍යයේ වේල්සයේ කුමරිය ඩයනා ස්පෙන්සර් ප්‍රංශයේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මියගොස් පසුගිය අගෝස්තු 31වැනිදාට වසර 23ක් සම්පූර්ණ වේ. එහෙත් ඇයගේ මරණයට හේතුවූ අනතුර සිදුවීමට නිශ්චිත හේතුව කුමක්දැයි තවමත් ලොවට හෙළිදරව් වී නොමැත.
ඇය මුහුණ දුන් මරණීය අනතුර සිදුවූ 1997 වසර වන විට ඇය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගෙන් දික්කසාද වී සිටියාය. ඒ වන විට ඇයගේ පෙම්වතා වූයේ යුරෝපයේ රටවල් රැසකම ව්‍යාපාර හිමිව තිබූ ධන කුවේරයකු වන මොහොමඩ් අල් ෆායිඩ්ගේ පුත් ඩෝඩි අල් ෆායිඩ් ය.
අනතුර සිදුවූ 1997 අගෝස්තු 30 දා රාත්‍රියේ ඇය ඩෝඩි සමඟ ප්‍රංශයේ පැරිස් නුවර රිට්ස් හෝටලයේ නවාතැන් ගෙන සිටියාය. මේ රිට්ස් හෝටලයේ හිමිකරු වූයේද ඩෝඩිගේ පියා වන මොහොමඩ් අල් ෆායිඩ් ය. ඊට පෙර දිනයේ ඔවුන් සාර්ඩිනියා දූපතේ සිට අල් ෆායිඩ්වරුන්ට අයත් යොට් යාත්‍රාවකින් ප්‍රංශයට පැමිණ තිබිණි. ඔවුන් එදින රාත්‍රියේ හෝටලයෙන් පිටව ලන්ඩන් බලා ගමන් කිරීමට නියමිත වී තිබිණි. එහෙත් කෙතරම් රහසිගතව සැලසුම් කළද අගෝස්තු 30 දින රාත්‍රිය වන විට රිට්ස් හෝටලයේ ඉදිරිපස පැපරාසීන් ලෙස හැඳින්වෙන ඡායාරූප ශිල්පීන් 30ක් පමණ රැස්ව සිටි බව වාර්තාවල සඳහන්ය.
ඔවුන් මඟ හැරීමට ඩයනා වඩාත් උනන්දු වූයේ ඩෝඩි සමඟ පැවති සබඳතාව රහසක් ලෙස තබා ගැනීම අරමුණු කර ගනිමින් බව පැවසෙන නමුත් පැපරාසීන්ගෙන් දුරස්ව සිටීමට ඩයනා උත්සාහ ගත්තේ ඉන් බොහෝ කලකට පෙරදීබව ලොවට රහසක් නොවේ.
කෙසේ වුවද එදින රාත්‍රී දොළහ පසුවී මිනිත්තු 20ක් ගතවූ පසු හෝටලයේ පසුපස දොරෙන් රහසිගතව නික්මුණු ඩයනා සහ ඩෝඩි මර්සිඩීස් බෙන්ස් W -140 වර්ගයේ රථයකට ගොඩ වැදුණේ ඔවුන්ගේ ශරීරාරක්ෂක ට්‍රෙවර් රීච් ජෝන්ස් සහ හෝටලයෙන් ලබා දුන් රියැදුරු හෙන්රි පෝල් ද සමඟිනි. ලන්ඩන් බලා යෑමට පෙර පැරීසියේ ධනවතුන්ගේ වාසස්ථාන පිහිටා ඇති ශම්ස් එලිසේ ප්‍රදේශය ආසන්නයේ ඇති අල් ෆායිඩ්වරුන්ට හිමි තවත් නිවසක් බලා යෑම ඔවුන්ගේ අරමුණ වී තිබිණි. මර්සිඩීස් බෙන්ස් රථයද ඔවුන් ලබාගෙන තිබුණේ කුලී පදනම මතය.
හරියටම රාත්‍රී දොළහ පසුවී විනාඩි විස්සට හෝටලයෙන් නික්මුණු බෙන්ස් රථය පැරීසියේ වූ උමං මාර්ගයක් වෙත පිවිසුණේ ඊට විනාඩි තුනකට පසුවය. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන දෙරට විසින්ම ඩයනා කුමරියගේ මරණය සම්බන්ධව පවත්වන්ට යෙදුණු පරීක්ෂණ මගින් තහවුරු කෙරුණේ රථය උමං මාර්ගයට පිවිසෙනවාත් සමඟම රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු බවයි. උමං මාර්ග ප්රවිශ්ටයේ කැමරා සවිකර නොතිබුණු අතර අද මෙන් ඔවුන් ගමන් කළ 1993 නිෂ්පාදිත බෙන්ස් රථයේද කැමරා සවි කර තිබී නැත.
එබැවින් මෙතැන් සිට සියල්ල අනුමාන සහ අනතුර සිදු වී සුළු වේලාවකින් එතැනට ළඟා වූ ඇසින්දුටු සාක්ෂිකරුවන් පැවසූ තොරතුරු මත පදනම්ය. ඔවුන්ගේම ආරක්ෂාව පදනම් කර ගනිමින් නිශ්චිතව ලොවට හෙළි නොකළ ඩයනා කුමරියගේ අනතුර ඇසින් දුටු ප්‍රංශ ජාතිකයන් කිහිප දෙනෙකි. ඔවුන් අනතුර සිදුවූ අවස්ථාවේ අනතුරට ලක්වූවන්ට උදවු කිරීමේ අරමුණෙන් ඒ වෙත පැමිණි අයයි. ඔවුන් පවසා ඇති පරිදි උඩුකුරුව පෙරළුණු රථයේ සිරවී සිටි කුමරිය ඔවුන් එහි ළඟා වන විට සිටියේ හොඳ සිහියෙනි. ඇය සිටියේ නොනවත්වා Oh my God .... යනුවෙන් පවසමිනි. ඔවුන් එක්ව ඇය මෝටර් රථයෙන් ඉවතට ගෙන මාර්ගයේ පසෙකින් තබා තිබේ. ඇයගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් තිබී නොමැත. ඒ වන විට රථය ඇතුළත රියැදුරු හෙන්රි පෝල් සහ ඩෝඩි මියගොස් සිටියහ. ඩයනාගේ ශරීරාරක්ෂකයා මුහුණ ද ඇතුළුව දරුණු තුවාල ලබා සිට තිබේ.
රථය අනතුරට ලක් වනවාත් සමඟම එතැනින් සුදු පැහැති ෆියට් ඌනෝ රථයක් වේගයෙන් ගමන් කළ බව ඇසින් දුටුවන් පවසා තිබේ. මේ රථයේ හිමිකරු ලෙස පුද්ගලයන් දෙදෙනෙකු වෙත සැකය එල්ල වූ අතර ඒ අතරින් එක් අයෙකු ඡායාරූප ශිල්පියෙකු විය. ඔහු 2000 වසරේදී සිය දිවි නසා ගත්තේ බරපතළ සැකයක් ඉතිරි කරමිනි. මේ අතර සුදු පැහැ ෆියට් ඌනෝ රථ බ්‍රිතාන්‍යයේ නිල ඔත්තු සේවය වන M16 සේවය විශාල ලෙස භාවිත කරන බවටද ප්‍රකාශ විය.
කෙසේ වුවද අනතුර සිදුවී විනාඩි කිහිපයකින් එතැනට කුමරිය ලුහුබැඳ පැමිණි පැපරාසීන් ළඟා වී ඇති අතර ඔවුන් දිගට හරහට ඡායාරූප ගැනීමට පටන් ගෙන තිබේ. අනතුර සිදුවී විනාඩි දහයක් ගත වන විට සිද්ධිය වූ ස්ථානයට පොලීසිය පැමිණ තිබේ. පොලීසිය සහ සාමාන්‍ය ජනතාව එක්ව පැපරාසීන් එතනින් ඉවත් කිරීමට කටයුතු කළ අතර එක් පැපරාසියකු පහර කෑමටද ලක්ව තිබේ. ඒ වන විට මාර්ගයේ පසෙක සිටි ඩයනා කුමරිය නොනවත්වා Leave me alone ..
යනුවෙන් පවසමින් සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ. පොලීසියත් සමඟම ගිලන් රථයක්ද එතනට පැමිණි නමුත් ඩයනා කුමරිය රෝහල කරා ගෙන යෑමට විනාඩි විස්සක කාලයක් ගතවී තිබේ. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය සැකයට තුඩු දෙන කරුණක් බවයි.
රෝහල් ගත කළ ඩයනා කුමරියට ප්‍රතිකර්ම කළ වෛද්‍යවරුන් ලබා දුන් සාක්ෂිවලට අනුව ඇයගේ සිරුරේ බාහිර තුවාළ කිසිවක් නොතිබූ නමුත් අභ්‍යන්තරව සිරුරට දැඩි හානි සිදුවී තිබේ.
ඇයගේ හෘදය ශරීරයේ දකුණු පැත්තට විසිවී තිබූ අතර පුප්පුෂීය ශිරාවට දැඩි හානි සිදුවී තිබිණි. කෙසේවුවද ඇය මියගිය බව සැප්තැම්බර් පළමු වැනිදා උදෑසන 6ට රෝහල මගින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
ලොවක් ආදරය කළ සුන්දර, අවිහිංසක කාන්තාවක්, රාජකීය කුමරියක්, සිතින් වැළපුණු බිරියක්, දයාබර මවක් එළෙස මෙලොව හැරදා ගියාය. එහෙත් ඇයගේ අනතුරට හේතුව මේ දක්වා නිශ්චිතව පැවසීමට කිසිවකුට හැකියාවක් ලැබී නැත. එම අනතුර සම්බන්ධව ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙන් වෙන්ව පරීක්ෂණ දෙකක් සිදුකළ නමුදු ඒ කිසිවකින් සාධනීය ප්‍රතිඵලයක් ලැබී නැත. රියදුරුගේ බීමත්කම, රථයේ අධික වේගය, පැපරාසීන්ගේ බාධාවන්, අනතුර වූ ස්ථානයෙන් එම මොහොතේම වේගයෙන් ගමන් කළ අබිරහස් ෆියට් ඌනෝ රථයේ කිසියම් බලපෑමක් යනාදී වශයෙන් හේතු විස්සක් ඉදිරිපත් වී තිබේ. එහෙත් ඒ අතරින් එකක් හෝ තහවුරු වී නැත.
සුන්දර ඩයනා මෙලෙස ලොවක් හඬවා අවසන් ගමන් ගිය නමුදු ඇය පිළිබඳ මතකය නම් කිසිදා අවසන් ගමන් නොයන බව පසුගිය 31 වැනිදා පැරිස් නුවර ඇය සිහිපත් කිරීම වෙනුවෙන් වන නොනිල ස්මාරකය අවට ජනයා තැබූ මල් පොකුරුවලින් තහවුරු වන්නේය.