
පසුගිය මාර්තු මාසයේ කොවිඩ් - 19 ස්වකීය ලෝක ව්‍යප්තිය ඇරඹූ අවස්ථාවේදී අප අනුමාන කළ පරිද්දෙන්ම මේ වන විට ඉන්දියාව වසංගතයේ අති බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටින්නේ ඉතා අවාසනාවන්ත අන්දමිනි. ඉන්දියාවේ පාරිසරික සහ සමාජ තත්ත්වය අනුව වයිරසයක ව්‍යප්තිය පාලනය කිරීම ඉතා අසීරු බව මාර්තු මාසයේදීම අනාවැකි ලෙස ප්‍රකාශ කිරීම අපහසු කරුණක් නොවීය.
මාසයකට වැඩි කාලයක් පුරා රට වසා දැමීමට අගමැති මෝදි කටයුතු කළද ඉතා පහසුවෙන් ව්‍යප්ත වන කොවිඩ් වැනි වයිරසයක් පාලනය කිරීමට අධික ජනගහණයකින් යුතු, ඉතා අවිධිමත් ජන ව්යප්තියකින් යුතු ඉන්දියාවට අපහසු විය. මේ වන විට ඉන්දියාව ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සහිත රටවල් අතර තුන්වැනි තැන රැඳී සිටින්නේ මේ ලියන මොහොත වන විට ආසාදිතයන් ලක්ෂ 37කට වඩා වාර්තා කරමිනි.
එමෙන්ම මේ වන විට ලෝකයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේද ඉන්දියාවෙනි. එය දිනකට 75,000කට ආසන්න සංඛ්‍යාවකි. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 66,000 ඉක්මවා තිබේ. දෛනික ආසාදිතයන් ඉහළ යෑම යනු ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළ යෑමය. එබැවින් ඉන්දියාව තවමත් ස්වකීය අභියෝගයේ මැදට හෝ පැමිණ නැති බව පැහැදිලිය.
පසුගිය සතියේ හිටපු ඉන්දීය ජනාධිපතිවරයකු වූ ප්‍රනාබ් මුඛර්ජි මියගිය අතර මිය යන විට ඔහු 83 හැවිරිදි වියේ පසුවිය. ඔහු වෙනුවෙන් ලෝක නායකයන් ශෝක පණිවිඩ එවමින් පවසා සිටියේ ඉන්දීය දේශපාලනඥයන් සතුව පැවති තියුණු අන්තර්ජාතික සබඳතා පවත්වා ගැනීමේ හැකියාව සම්බන්ධවය. බොහෝ දුර දිග දකිනා ඥානයෙන් යුක්ත පාලකයන් ඉන්දියාව සතු වුවද එරට ජන සමාජයේ ජීවන රටාව වෙනස් කිරීම මේ බොහෝ නායකයන්ට අත තැබීමට හෝ නොහැකි වූ ක්ෂේත්රයක් විය. පෞද්ගලික පිරිසිදුකම පිළිබඳ ගැඹුරෙන් සිතීමට ජනයා පෙලඹීමට මහත්මා ගාන්ධිතුමාට මහත් වෙහෙසක් දැරීමට සිදුවීම මේ සඳහා හොඳම උදාහරණයකි.
කෙසේවුවද වසංගතයේ උච්චතම අවස්ථාවේ වුවද සාමාන්‍ය ජනජීවිතය හැකිතාක් දුරට පවත්වා ගනිමින්, ආර්ථිකය බිඳ වට්ටා නොගනිමින් ඉන්දියාව මේ මොහොතේ යන ගමන අගය කළ යුතුය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයිරසයේ ව්‍යප්තියේ කිසිඳු අඩුවක් දක්නට නොමැති නමුත් වාර්තා වන මරණ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවයි. තවමත් ඇමරිකාව ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා කරමින් සිටින අතර එය මේ වන විට ලක්ෂ 62 ඉක්මවා තිබේ. බ්‍රසීලය දෙවැනි ස්ථානයේ පසුවුවද ඉක්මනින්ම ඉන්දියාවට එම ස්ථානය ලබා දීමට සිදුවනු ඇති බවට ලකුණු දක්නට ලැබෙමින් තිබේ.