
1952 වසරේදී අමෙරිකානු ජාතික වෛද්‍ය ජොනාස් සාක් පෝලියෝ සඳහා එන්නතක් සොයා ගැනීමට සමත් වීමත් සමඟ මිනිස් වර්ගයාට තම නිරෝගී අනාගත පරපුරක් සම්බන්ධව බලාපොරොත්තු තබා ගැනීමට හැකි විය. එහෙත් එම එන්නත් වඩාත් සාර්ථක වූයේ 1961 වසරේදී ඇල්බට් සැබින් විසින් එය මුඛ මාර්ගයෙන් ලබා දෙන එන්නතක් බවට පත් කිරීමත් සමඟිනි
මුළු ලෝකයම මේ දිනවල පසුවන්නේ වයිරස් භීතිකාවෙනි. සතුන්ගෙන් මිනිසාට ආසාදනය වන කොරෝනා වර්ගයේ වයිරසය ලොව පුරා පැතිරෙමින් පැවතීම ඊට හේතුවයි. එමෙන්ම එම වයිරසය මර්දනය කිරීමට සමත් එන්නතක් තවමත් සොයාගෙන නොමැති වීමද තවත් ප්‍රධාන හේතුවක් වේ.
එහෙත් මේ අතර මිනිසා අතර පැතිර යමින් තිබූ තවත් වයිරසයක් සාර්ථකව මර්දනය කළ බවට වන සතුටුදායක පුවතක්ද අසන්නට ලැබී තිබේ. ඒ අනුව අප්‍රිකා මහාද්වීපයෙන් සම්පූර්ණයෙන් පෝලියෝ වයිරසය තුරන් කළ බව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයට දැනුම් දුන්නේය.
පෝලියෝ වයිරසය හෙවත් පෝලියෝමයිලිටිස් වයිරසය පැතිරෙන්නේ අපිරිසිදු ජලයෙනි. එමෙන්ම වඩාත් භයානක ලෙස එය මිනිසාගෙන් මිනිසාටද බෝ වීමේ හැකියාව පවතියි.
පෝලියෝ වයිරසය ආසාදනය වූ විට උණ, හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ මතු වන අතර ප්‍රතිකාර නොලැබුණු විට එය ශරීරයේ ස්නායු පද්ධතියට ද පහර දී අකර්මන්‍ය කර දමයි. මරණය වුවද ඇති කළ හැකි තරම් දරුණු වුවද පෝලියෝ වයිරසය ලබා දෙන දරුණුම දඬුවම වන්නේ ජීවිත කාලයක් අර්ධ අකර්මන්‍ය ශරීරයක් සහිතව ජීවත් වීමය.
පෝලියෝ වයිරසය ආසාදනය වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට වීම තවත් ඛේදවාචකයකි.
පෝලියෝ වයිරසය ලොව පුරා පැතිර යෑම ඇරඹුණු 1900 යුගයේදී ශීඝ්‍රයෙන් දරුවන් එයට ගොදුරු වන විට ඒ සඳහා එන්නතක් සොයා ගැනීම ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම අරමුණ විය. එය සම කළ හැකි වන්නේ මේ වන විට කොවිඩ් - 19 සඳහා එන්නතක් සොයා ගැනීමට දරන උත්සාහයටය.
එහෙත් එම උත්සාහය ඵල දරන්නේ ඉන් දශක පහක් පමණ ගත වූ පසුවය. ඒ වන විට ලොව පුරා මිලියන ගණනක් දරුවන් පෝලියෝ රෝගයේ ගොදුරු බවට පත්ව අවසන්ය. 1952 වසරේදී අමෙරිකානු ජාතික වෛද්‍ය ජොනාස් සාක් පෝලියෝ සඳහා එන්නතක් සොයා ගැනීමට සමත් වීමත් සමඟ මිනිස් වර්ගයාට තම නිරෝගී අනාගත පරපුරක් සම්බන්ධව බලාපොරොත්තු තබා ගැනීමට හැකි විය. එහෙත් එම එන්නත් වඩාත් සාර්ථක වූයේ 1961 වසරේදී ඇල්බට් සැබින් විසින් එය මුඛ මාර්ගයෙන් ලබා දෙන එන්නතක් බවට පත් කිරීමත් සමඟිනි.
එතැන් සිට මේ දක්වා ලොව පුරා දරුවන්ට එක්තරා වයස් ඛාණ්ඩයකදී පෝලියෝ එන්නත් ලබා දෙන අතර එමගින් මේ දක්වා ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් පෝලියෝ තුරන් කිරීමට හැකියාව ලැබී තිබේ. උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, යුරෝපය වැනි ප්‍රදේශවලින් පෝලියෝ තුරන් කිරීමට හැකියාව ලැබුණද අප්‍රිකාවෙන් පෝලියෝ තුරන් කිරීම පහසු කටයුත්තක් වූයේ නැත. එසේ වීමට හේතු කිහිපයක්ම විය. ඒ අතරින් ප්‍රධාන වූයේ අප්‍රිකාවේ බොහෝ රටවල පැවති අභ්‍යන්තර ගැටුම්ය. එහෙත් මේ ගැටුම් අතරින්, අප්‍රතිහත ධෛර්යයනේ යුතුව කටයුතු කරමින් පැමිණ ගමනක සාර්ථක අවසානය පසුගියදා මෙසේ ලොවට දැනුම් දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකි විය.
අප්‍රිකාවෙන් පෝලියෝ තුරන් කිරීමට දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයද මෙහිලා සඳහන් කළ යුතුමය. ඊට අමතරව රටින් රට දැරූ මහා වෑයම හමුවේ මේ වන විට පෝලියෝ වයිරසය අප්‍රිකා මහාද්වීපයද හැර දමා ගොස් තිබේ.
අප්‍රිකාවේ අවසන්වරට පෝලියෝ ආසාදිතයකු හමු වී ඇත්තේ නයිජීරියාවෙනි. නයිජීරියාවෙන් පෝලියෝ තුරන් කිරීමට 2000 වසරේ සිට මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ අතර එය වඩාත් අභියෝගාත්මක උත්සාහයක් බවට පත් කරන ලද්දේ එරට තුළ ක්‍රියාත්මක වූ බොකෝ හරාම් ත්රස්තවාදීන් ක්‍රියාත්මකව පැවති ප්‍රදේශවල මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර නොලැබුණු බැවිනි. 2010ට පෙර නයිජීරියාවේ බොහෝ ප්‍රදේශවලින් පෝලියෝ ආසාදිතයන් වාර්තා වුවද අවසානයේ වයිරසය එරට බෝනෝ ප්‍රදේශයට පමණක් සීමා කිරීමට සෞඛ්‍ය සේවකයන්ට සහ ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයන්ට හැකියාව ලැබිණි.
බෝනෝ ප්‍රදේශයේ බොකෝ හරාම් ත්රස්තවාදීන් දැඩි ලෙස ක්‍රියාත්මක පැවති අතර දරුවන්ට එන්නත් ලබා දීමට ගිය සෞඛ්‍ය සේවිකාවන් පිරිසකට වෙඩි තබා මරා දැමීම්ද වාර්තා වී තිබිණි. බොහෝ අප්‍රිකානු රටවල පෝලියෝ එන්නතට විරුද්ධ ප්‍රසිද්ධ මතයක් විය. එනම්, මේ එන්නත මුස්ලිම් දරුවන් වඳ කිරීමේ අමෙරිකානු උප්පරවැට්ටියක් බවයි. එබැවින් මේ එන්නත් ලබා දීමට දුෂ්කර ගම්මානවලට, අන්තවාදී සටන්කාමීන් ක්‍රියාත්මක ප්‍රදේශවලට යන සෞඛ්‍ය සේවකයන්ට බොහෝ තර්ජනවලට මුහුණ දීමට සිදුවිය. පසුව එන්නත අප්‍රිකා කලාපයේ පිළිගත් විද්‍යාගාර තුළදී පර්යේෂණවලට ලක් කිරීමෙන් ඒ වෙත එල්ල වූ චෝදනා අභව්‍ය බව සහතික කිරීමට කටයුතු යෙදීමටද අප්‍රිකා කලාපීය නායකයන්ට සිදුවිය. එහෙත් ජනමතය වෙනස් කිරීමේ අභියෝගයට සෞඛ්‍ය සේවකයන්ට දිගින් දිගටම මුහුණ දීමට සිදුවිය. ඔවුන් පෝලියෝ අප්‍රිකාවෙන් තුරන් කිරීමේ අභියෝගය ජයගත්තේ මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මේ අනුව ලෝකයේ අඳුරු මහාද්වීපය හෙවත් අප්‍රිකාවද පෝලියෝ සහමුලින් තුරන් කර දැමූවද ආසියාතික අපට නම් එම සැනසිල්ල හිමි නැත. විශේෂයෙන් දකුණු ආසියානු රටවලට පෝලියෝ තර්ජනය තවමත් එළෙසින්ම පවතින්නේය. එයට හේතුව තවමත් ලෝකයේ එක ලෙසට පෝලියෝ රෝගීන් වාර්තා වන රටවල් දෙක ලෙස ඇෆ්ගනිස්ථානය සහ පකිස්තානය ඉතිරිව පැවතීමය.
මෙහි ඇති භයානක කරුණ වන්නේ පෝලියෝ සම්පූර්ණයෙන් තුරන් කළ රටක් තුළ වුවද වයිරසය යළි පැතිරීමේ හැකියාව පැවතීමය. බොහෝ විට මෙය සිදුවන්නේ සංචාරකයන් මාර්ගයෙනි. ඒ අනුව වයිරසය ඉතා පහසුවෙන් රටකට ඇතුළු විය හැකි අතර රට පුරා පැතිරීමටද හැකිය. එබැවින්ම දකුණු ආසියාතික රටවල් විශේෂයෙන් පෝලියෝ එන්නත් දිගින් දිගටම පවත්වා ගනිමින් අවධානයෙන් සිටිය යුතුය. තමන් පෝලියෝ සහමුලින් තුරන් කළේ යැයි සැනසුම් සුසුම් හෙළීමට අප්‍රිකාවටද නොහැකිය. එහෙත් දුෂ්කරතා රැසක් හමුවේ අභියෝග ජයගත්විට අත්විඳිය හැකි සැනසුම් අත්විඳිමට නම් ඔවුන් සුදුසුකම් සපුරා අවසන්ය.