රග්බි ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම විශාල අභියෝගයක් | සිළුමිණ

රග්බි ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම විශාල අභියෝගයක්

ලාංකේය රග්බි ක්‍රීඩාවේ පෙරළිකාර යුගයක් ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ඉදිරියේදි ගන්නා බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති රිස්ලි ඉල්යාස් ප්‍රකාශ කරයි. ශ්‍රීලංකා රග්බි සම්මේලනයේ වාර්ෂික මහ සභාවෙන් පසු මාධ්‍යවේදින් ඇමැතූ නව සභාපතිවරයා කියා සිටියේ වසර 2021 මෙරට රග්බි ක්‍රීඩාවේ පෙරළිකාර වසරක ඇරැඹුම සටහන් කරනු ඇති බවයි.

තුන්සියයකට ආසන්න දිස්ත්‍රික්, පළාත්, ත්‍රිවිධ හමුදා, පාසල් සහ ක්‍රීඩා සමාජ ක්‍රියාකාරීන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබපැතුම් මැද සභාපති තනතුරට නිල වශයෙන් පත්වූ වැල්ලවත්ත පීටර්සන් ක්‍රීඩා සමාජයේ හිටපු අංක අට ක්‍රීඩකයකු ද වූ රිස්ලි ඉල්යාස් සිය සභාපතිත්වය යටතේ මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය උපරිමයෙන් කැපවිම එකම අරමුණ බව ද පැවැසීය.

‘දේශීය රග්බි ක්‍රීඩාව නඟා සිටුවීම වගේම ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වීම සඳහා දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීම වගේම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් අප හමුවේ ඇති විශාල අභියෝගයක් බව පවසන ඉල්යාස්, මේ වසරේ මුල් භාගයේදීම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අන් සියලු ක්‍රීඩා මෙන්ම රග්බි ක්‍රීඩාවත් දැඩි පසුබෑමකට ලක් වු බවත්, ඒ නිසා නැවත අනුග්‍රාහකයන් සමග අප නැගී සිටිය යුතුයි. ඒ සඳහා නිවැරැදි සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු යැයිද පැවැසීය.

ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන නාමල් රාජපක්ෂ නව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පත් වීම මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරිමට රග්බි ආයතනයට විශාල ශක්තියක් වනු ඇතැයි ද පැවැසිය

‘මම රග්බි ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ වගේම, බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ නව ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාවේ නිරතවූවා. එතුමාගේ ක්‍රීඩා දස්කම් වගේම අත්දැකීම් ද, දැනුම් සම්භාරය ද මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල ශක්තියක් වන බව මට විශ්වාසයි. මෙරට කාන්තා රග්බි ක්‍රීඩාවට මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාවට ද රග්බි සම්මේලනයේ සහයෝගය සහ දායකත්වය නොඅඩුව ලබා දෙන බව පවසන ඉල්යාස් කාන්තා රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සහ පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් හිටපු සභාපති ලසිත ගුණරත්න විසින් සිය ධුර කාලය ආරම්භයේදී පත් කරන ලද තනතුරු තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට රග්බි ආයතනය පියවර ගෙන තිබේන බවද පැවැසිය. ඒ අනුව කාන්තා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ආචාර්ය සමන්තා නානායක්කාර රග්බි විධායක කමිටුවට පත්වී සිටින අතර, පාසල් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පසුගිය වාරයේ උපසභාපතිධුරයෙහි කටයුතු කළ පාසල් රග්බි සංගමයේ නියෝජ්‍ය සහාපති, ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සුසන්ත මෙන්ඩිස් නැවත එම තනතුරට පත් කර තිබේ.

මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් හිටපු ක්‍රීඩකයන් සහ නිලධාරීන් 11කට රග්බි ආයතනයේ යාවජීව සාමාජිකත්වය ලබාදීමට ද වාර්ෂික මහා සභා රැස්වීමේදී තීරණය කෙරිණි.

Comments