
සති අන්තය යනු ඔනෑම පුද්ගලයකුගේ විවේකී කාලයයි. මේ විවේකී කාලයේදී තමන්ගේ විනෝදාංශවල නියැළීමට, පවුලේ සාමාජිකයන් සමඟ සතුටෙන් ගත කිරීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි කැමැත්තකි. මේ කැමැත්ත ඔස්ට්‍රේලියානු අගමැතිවරයාටද එසේමය. ඔහුගේ කැමැත්ත සති අන්තය ස්වකීය පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන අතර තුර තම විනෝදාංශයේ නියැළීමය.
ඔහුගේ විනෝදාංශය නම් ආහාර පිසීමයි. රටරටවල ආහාර වට්ටෝරු අත්හදා බලමින් ස්වකීය පවුලේ සාමාජිකයන් සමඟ ඒවා රස බැලීම ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්ගේ සති අන්ත නිවාඩුවේ කැමතිම අංගයයි. එහෙත් මේ සති අන්තයේ ඔහුගේ විනෝදාංශය ලොව පුරා ප්‍රසිද්ධ වීමට මෙන්ම ඔහුට බැණුම් ඇසීමටද සිදුවන අන්දමේ අත්දැකීමක් එක් කිරීමට සමත් වී තිබේ. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ආහාර වට්ටෝරුවක් පිළියෙල කිරීමත් සමඟිනි.
අගමැති ස්කොට් මොරිසන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ තමන් විවේකී සති අන්තය ගත කරමින් සිටි කැන්බරා නගරයේ නැවතුම්පොළේ කුස්සියට වැදී බොහෝ කාර්ය බහුල වූයේ ශ්‍රී ලංකාවේ ආහාර වට්ටෝරුවක් නිම කිරීම අරමුණු කර ගනිමිනි. ඒ වෙනුවෙන් පිළියෙළ කළ තුනපහ වර්ග, කැපූ ලූනු සහ තවත් කුළුබඩු වර්ග ඡායාරූප ගත කිරීමට ඔහු අමතක කළේ නැත. අවසන සාදා නිම කළ ආහාරය ඔහු නම් කළේ ශ්‍රී ලංකාවේ බැටලු මස් බැදුම සමඟ ගෝදම්බ රොටී යනුවෙනි.
තමන් පිසූ ආහාරයට තම දියණියන් දෙදෙනා සහ බිරිය ජෙන් බොහෝ ආසා කළ බවද එම ඡායාරූප සමඟ සටහන් කර සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමටද අගමැතිවරයා අමතක කර තිබුණේ නැත. ස්කොට් මොරිසන් අගමැතිවරයාට 12 සහ 10 වයසේ පසුවන දියණියන් දෙදෙනෙකු සිටින අතර ඔහුගේ බිරිය ජෙනිෆර්ද ඔහු පිසින ආහාරවල රස බැලීමට බොහෝ ප්‍රිය කරන බව සඳහන්ය. එබැවින් ඔහු සෑම අති අන්තයකම මෙලෙස නොයෙක් ආහාර පිසිමින් ස්වකීය පවුලේ සාමාජිකයන්ට පිළිගැන්වීමට කටයුතු කරන බවද වාර්තා වේ.
එහෙත් මෙවර ඔහු තමන් පිසූ ආහාර සමාජ මාධ්‍යවල පළ කිරීමත් සමඟ ඔහුට චෝදනා එල්ල වන්නට වූයේ ඔහුගේ ආණ්ඩුව මේ වන විටත් ශ්‍රී ලාංකීය පවුලක් පුරවැසිභාවය සම්බන්ධ චෝදනා යටතේ ක්‍රිස්මස් දූපත්වල රඳවා තබා සිටින බැවිනි. ඔහුගේ පළකිරීමට ප්‍රතිචාර ලෙස මොරිසන්ගේ ආණ්ඩුව මානුෂිකව කටයුතු කළේ නම් මේ වන විට එම ශ්‍රී ලාංකික පවුලද මෙවැනි ආහාර සදමින් සතුටෙන් සිටින බවට පළ වූ සටහන්ද නොඅඩුව දක්නට ලැබිණි.