
ඕනෑම ක්‍රීඩාවක සුන්දරත්වය පවතින්නේ එහි අවිනිශ්චිතභාවය මතය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ වැන්ටේජ් සභාපති කුසලාන ලීග් තරගාවලියේදීත් මේ බව මනාව සනාථ විය.
ඒ ප්‍රබල එමෙන්ම ජනප්‍රිය කණ්ඩායම් රැසක්ම අනපේක්ෂිත ආකාරයෙන් පසුබැසීමයි. එමෙන්ම ප්‍රාදේශීය සහ නවක කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියට පැමිණීමත් එහිදී දක්නට ලැබුණි. එය මෙරටේ අනාගත පාපන්දු ක්‍රීඩාවේ දියුණුවට සුබ ලකුණකි.
වැන්ටේජ් සභාපති කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ඉකුත් 27 වැනිදා පැවැත්වීය.මෙම වැන්ටේජ් සභාපති කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 02 දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතව තිබෙන්නේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂය .
මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ ජාවාලේන්, බ්ලූ ඊගල්ස් (ගුවන්), කොළඹ සහ රෙඩ් ස්ටාර් යන කණ්ඩායම්ය. එහිදී ජාවාලේන් - බ්ලූ ඊගල්ස් සහ කොළඹ - රෙඩ් ස්ටාර් අතර තරග පැවැත්විණි.මේ අතර අර්ධ අවසන් තරගයකදී නිව් ස්ටාර් කණ්ඩායම විසින් බ්ලූ ඊගල්ස් කණ්‍ඩායම පරාජය කරනු ලැබීය. එහෙත් එම තරගයේදී නිව් ස්ටාර් කණ්ඩායමට නීති විරෝධී ආකාරයට ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය අවලංගු කරනු ලැබීය. මේ නිසා බ්ලූ ඊගල්ස් කණ්ඩායමට අවසන් පූර්ව වරම හිමි විය. අර්ධ අවසන් තරගවලදී කොළඹ පාපන්දු සමාජය විසින් ගෝල 03 - 00 කින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කළේය. එමෙන්ම රෙඩ් ස්ටාර් පාපන්දු සමාජය ගෝල 05 - 03කින් ජය ගත්තේ මාවනැල්ල සෙරෙන්ඩිබ් ක්‍රීඩා සමාජය තියුණු තරගයකින් අනතුරුව පරාජය කරමිනි. එමෙන්ම ජාවාලේන් ගෝල 03 - 01 ක ජයක් ලැබුවේ ඩිෆෙන්ඩර්ස් (යුද) කණ්ඩායම හමුවේය.
මෙවර තරගාවලියේ මූලික වටයේ දී ලීග් ක්‍රමයට තරග පැවැත්වීය. ඊට සහභාගි වූ මුල් කණ්ඩායම් ගණන 20කි. එම කණ්ඩායම් කාණ්ඩ 05ක් යටතේ තරග කළේය. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 03 බැගින් තරග කළේය.
මූලික වටයේදී තරගයක වැඩිම ගෝල ගණනකින් ජය ගත්තේ සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයයි. ඒ ගෝල 9 - 5 කින් බේරුවල සුපර් සන් පරාජය කරමිනි. එසේ වුවත් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට සෝන්ඩර්ස් කණ්ඩායමට හැකි වූයේ නැත. ඊට බලපෑවේ මූලික වටයේ ඔවුන් සිටිය සී කාණ්ඩයේ දී තෙවැනි ස්ථානයට පත්වීමයි.
මූලික ලීග් වටයේදී අපරාජිත එකම කණ්ඩායම වූයේ බ්ලූ ඊගල්ස් (ගුවන්)ය. ඩී කාණ්ඩයේදී සෙරෙන්ඩිබ් සහ සී හෝව්ක්ස් (නාවික හමුදාව) සම ලකුණු ලබා සිටියහ. නමුත් දෙවැනි ස්ථානයට පත් වූයේ සෙරෙන්ඩිබ් කණ්ඩායමයි. ඒ ප්‍රතිවාදින්ට එරෙහිව වැඩිම ගෝල් ගණනක් ඔවුන් රැස් කරන ලද නිසාවෙනි. සෙරෙන්ඩිබ් ඒ අනුව ගෝල 10ක් රැස් කර තිබුණි. සී හෝව්ක්ස් පිලට ගෝල් 05කි.
ප්‍රශාන්ත ඇල්පිටිය










