පෘථිවිය මත වාර්තා වූ වැඩිම උෂ්ණත්වය පසුගිය ඉරිදා ඇමරිකාවේ කැලිෆෝර්නියාවෙන් | සිළුමිණ

පෘථිවිය මත වාර්තා වූ වැඩිම උෂ්ණත්වය පසුගිය ඉරිදා ඇමරිකාවේ කැලිෆෝර්නියාවෙන්

පෘථිවිය මත දැනට වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය පසුගියදා අමෙරිකාවේ කැලිෆෝර්නියාහි මරණයේ නිම්නයෙන් (Death Valley)වාර්තා විය. එය සෙල්සියස් අංශය 54කි. කැලිෆෝනියාවේ මරණයේ නිම්නය යනු උණුසුමට ආගන්තුක තැනක් නොවේ. එහි අවුරුද්දේ මාස දොළහෙන් වැඩි කාලයක් දැඩි උණුසුමෙන් කැකෑරෙමින් පවතින තැනකි. විශේෂයෙන්ම ජූලි සහ අගෝස්තු මාසවලදී මරණයේ නිම්නයේ පවතින්නේ දැරිය නොහැකි අධික උෂ්ණත්වයකි.

එසේ වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මේ නිම්න භූමියේ පිහිටීමය. එය සම්පූර්ණයෙන් කඳුවලින් වටවී ඇති මුහුදු මට්ටමෙන් අඩි 282ක් පහළින් පිහිටා ඇති භූමියකි. ශුෂ්ක බිමක් වන මෙහි ගස්වැල් කිසිවක් නොමැති අතර පතොක් වර්ගයේ ශාක කිහිපයක් පමණක් තැනින් තැන දක්නට ලැබේ. ඍජුව හිරු එළිය පතිත වීමෙන් කැකෑරෙන උණුසුම වාෂ්ප වීමක් සිදු නොවන අතර එම වායුව භූමියෙන් ඉවතට ගලා නොයන්නේ එහි අවට ඇති කඳුවැටි හේතුවෙනි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අධික උණුසුමක් නිරායාසයෙන්ම භූමිය මත පැවතීමය.

කෙතරම් උණුසුම් වුවද මේ වන විට මේ ප්‍රදේශයේ මිනිසුන් 576 දෙනෙකු වාසය කරන බව නවතම තොරතුරුවල සඳහන් වේ. කෙසේ වුවද විද්‍යාඥයන් පවසන්නේ සැබවින්ම මේ මිනිසුන් උණුසුම් අවන්එකක් තුළ ජිවත් විමට අතිශයින් සමාන කළ හැකි බවයි.

දැනට ලෝකයේ ඕනෑම තැනක වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය මෙය බව ප්‍රකාශ වුවද එය නිශ්චිත ලෙස තහවුරු කිරීමට තවත් මාස කිහිපයක් ගතවන බවද පැවසේ.

කෙසේ වුවද මේ වසර පොදුවේ උෂ්ණත්වය වැඩිම වසරක් බවද එය දැනට පෘථිවිය මත වාර්තා වී ඇති උෂ්ණත්වය වැඩිම වසර කිහිපයෙන් එකක් බවද තහවුරු වී තිබේ. පෘථිවිය මත උෂ්ණත්වය දිනෙන් දින වර්ධනය වන බවත්, එයට මිනිස් ක්‍රියාකාරකම් ඍජුවම දායක වන බවත් තහවුරු වූයේ අදින් දශක කිහිපයකට ඉහතදීය. පසුගියදා ලෝක ආර්ථික සමුළුවට අදාළ වෙබ් අඩවියේ සඳහන් වූයේ 2020 මෙතෙක් ලෝක ඉතිහාසයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සහිත වසර ලෙස ඉතිහාසගත වනු ඇති බවය. එහිදී 2020 වසර විසින් පරාජයට පත් කරණු ලබන්නේ 2016 වසරයි. මේ දක්වා දැනට වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ 2016 වසරෙනි. දැනට මේ වසර තුළදී යුරෝපය සහ රුසියාවේ සයිබීරියා ප්‍රදේශවලින් සෙල්සියස් අංශක 7 -2 අතර උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වී තිබේ. 1850 වසරෙන් පසුව පෘථිවිය මත වැඩිම උෂ්ණත්වය පසුගිය ජූනි මාසයේ වාර්තා වූ බවද වෙබ් අඩවියේ සඳහන්ව තිබිණි. පෘථිවියේ වායුසමීකරණය ලෙස ක්‍රියාකරන ධ්‍රැවීය අයිස් තට්ටු දියවීම වඩා වේගවත් වී ඇති අතර විශේෂයෙන්ම ආක්ටික් කලාපයේ අයිස් තට්ටු වේගයෙන් තුනී වෙමින් තිබේ.

ඕස්ට්‍රේලියාවද මේ උෂ්ණත්ව වාර්තා අතරට එක්වී ඇත්තේ දැඩි උණුසුම් වායු ධාරා හේතුවෙන් මාස කිහිපයක් පුරා පැතිරුණු ලැව්ගිනි සමඟිනි.

මේ සාධක මත විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ තවමත් මේ වසරේ ගතවී ඇත්තේ මාස හයක් පමණක් වුවද එය දැනට පෘථිවිය මත වාර්තා වූ වැඩිම උණුසුම් හෝ දෙවැනියට වැඩිම උණුසුම් වසර බවට පත්වීමට වැඩි ඉඩකඩ පවතින බවය.

 

Comments