
ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලය ඉකුත් බදාදා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දී තනතුරු බාර ගත්හ. අමාත්‍යාංශ 28ක් වෙනුවෙන් අමාත්‍යවරු 26 දෙනෙකු දිවුරුම් දුන් අතර ඊට අමතරව එකී අමාත්‍යාංශ 28 සඳහා රාජ්‍ය අමාත්‍යවරු ලෙස තවත් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225න් 66 දෙනෙකුම අමාත්‍යවරුන්ය. ඊට අගමැති මහින්ද රාජපක්ෂයන්ද අයත්ය. ප්‍රතිශතයක් ලෙස ගත් කල එය සියයට 29.7 කි.
මෙවර අමාත්‍ය මණ්ඩයේ පැරණි මුහුණු තරමටම අලුත් මුහුණුද එක්ව තිබීම විශේෂත්වයකි. ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත් කර ඇති අතර මුදල්, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික, නාගරික සංවර්ධන හා නිවාස යන අමාත්‍යාංශයන්හි අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බාරකාර රජයේ අමාත්‍ය ධුර දැරූ සියලු දෙනාටම මෙවරද අමාත්‍ය ධුර හිමිව ඇති අතර එයින් ධීවර, විදේශ, මහ මාර්ග, සෞඛ්‍යය, වැවිලි, සංචාරක හා කර්මාන්ත යන අමාත්‍යාංශ බාරකාර ආණ්ඩුවේ එම විෂයයන් බාරව සිටි අමාත්යවරුන්ටම හිමිව ඇති නමුත් සෙසු අමාත්‍යධුරවල විෂයයන් වෙනස් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඉතා කෙටි කාලයක් රාජ්‍ය අමාත්‍ය ධුර ඉසිලු කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර යන අයට මෙවර අමාත්‍ය ධුර හිමිව ඇත. එමෙන්ම මහචාර්ය ජී.එල්.පීරිස්, සී.බී.රත්නායක, ගාමිණි ලොකුගේ, උදය ප්‍රභාත් ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන යන අයද මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත්ය. මේ දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පමණක් ඉසිලු නාමල් රාජපක්ෂට මෙවර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවරා දී තිබීමද විශේෂත්වයකි.
ප්‍රථම වතාවට දේශපාලන කරලියට පැමිණ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි කරගත් ජනාධිපති නීතීඥ අලි සබ්රිට අධිකරණ අමාත්‍ය ධුරය පිරිනැමීමද ජනතාවගේ කකාබහට ලක්ව ඇත. කැබිනට් අමාත්‍ය ධුරයක් අපේක්ෂා කළ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂට අධ්‍යාපන අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීමට සුදානම් කර තිබුණත් ඒ බව දැන ගත් ඔහු අමාත්‍ය ධුර පිරිනැමීමේ උත්සවයද වර්ජනය කර තිබුණි. මේ නිසා රාජ්‍ය අමාත්‍ය ධුර 40 ක් පිරිනැමීමට සුදානම් කර තිබුණත් රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත්තේ 39 දෙනෙකු පමණි. ශ්‍රීලනිප සභාපති මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත්තද ඔහුටද අමාත්‍ය ධුරයක් අහිමි වීම දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.
එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුටද මෙවර ඇමති ධුර අහිමි වී ඇත. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයගත් හා ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් මන්ත්‍රී ධුර හිමි කරගත් වියත්මඟ කණ්ඩායමේ අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පාර්ලිමේන්තුවට යන ප්‍රථම වතාවේම රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව තිබීමද විශේෂය.
මෙවර අමාත්‍ය ධුර සඳහා විෂයයන් බෙදා දීම තුළ පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් දක්නට නොලැබුණ විශේෂත්වයක් තිබේ.
කැබිනට් අමාත්‍යාංශ බොහෝමයක් එක වචනයකට සීමා වී තිබේ. කෘෂිකර්ම, විදේශ, ජනමාධ්‍ය ආදි අමාත්‍යාංශ ඊට උදාහරණය. එමෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ඉලක්කයටම වගකීම් පවරා තිබීමද සුවිශේෂීය. මීට පෙර අපනයන කෘෂි බෝග ලෙස හැඳින්වූ අමාත්‍යංශය මෙවර බුලත්, කරාබු නැටි, කරුංකා ආදී වශයෙන් නිශ්චිතව සඳහන් කර වගකීම් පවරා දී තිබීම නිසා කිසිවකුටත් ස්වකීය වගකීම්වලින් ලිස්සා යා නොහැකි වී ඇත.
ඉකුත් 2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට පැවැති යහපාලන රජය විසුරුවා හැර බාරකාර රජයක් පත්කරනු ලැබුවේ ඇමතිවරු 16 දෙනෙකු සමඟය. ඒ අනුව මෙරට අතීත රජයන් හා සැසදීමේදී අඩුම අමාත්‍ය මණ්ඩලය සහිත රජයන්ගේ සයවන තැන හිමිවන්නේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ බාරකාර රජයටය. මෙරට අඩුම ඇමති මණ්ඩලය සහිත ආණ්ඩුව ලෙස දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ 1960 මාර්තු මාසයේ පැවැති මැතිවරණයෙන් පසුව පිහිටුවා ගත් එජාප ආණ්ඩුවයි. එහි ඇමති මණ්ඩලය අට දෙනෙකුට සීමා වූ අතර රජයේ කාලසීමාවද දින තිහකට සීමා විය.
ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළ 1952 මැයි මාසයේ 24,26,28,හා 30 යන දිනවල පැවැති මහ මැතිවරණයෙන් ද එජාපය මන්ත්‍රී ආසන 54ක් දිනා ගෙන ආණ්ඩුවක් පිහිටු වීමට සමත්ව තිබුණි. එදා ශ්‍රීලනිපයට දිනා ගත හැකිව තිබුණේ මන්ත්‍රී ආසන 9 ක් පමණි. එකී රජයේ අමාත්‍යවරු සංඛ්‍යාව 14 කට සීමා විය.
1956 අප්‍රේල් මස 5,7,හා 10 යන දිනවල පැවැති මහ මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ආසන 51ක් දිනා ගෙන ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. මෙම රජයේ අගමැතිවරයා ලෙස එස්.ඩබිලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක වූ අතර අමාත්‍ය මණ්ඩලය 13 දෙනෙකුට සීමා කර විය. එම රජය යටතේද උප ඇමතිවරු 13 දෙනෙකු පත්විය.
1960 මාර්තු 19 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එජාපය මන්ත්‍රී ආසන 50ක් දිනා ගෙන වැඩිම ආසන දිනා ගත් පක්ෂය බවට පත් විය. මෙම මැතිවරණයට තරග කළ ශ්රීලනිපය ඇතුළු තවත් දේශපාලන පක්ෂ 12ක් මන්ත්‍රී ආසන 101ක් දිනා ගෙන තිබුණි. එම රජයේ අමාත්‍ය මණ්ඩලය අට දෙනෙකුට සීමා වීමද විශේෂ වන අතර මෙරට අඩුම අමාත්‍යවරුන්ගෙන් යුත් ආණ්ඩුව ලෙස මෙම ආණ්ඩුව දේශපාලන ඉතිහාසයට එක්ව ඇත.
රජාසන කතාව සඳහා පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම ආණ්ඩුවට තව දුරටත් බලයේ සීටිමට නොහැකි විය.
ඒ අනුව දින තිහකට සීමා වූ එම ආණ්ඩුව විසිරවීමට සිදු වූ හෙයින් 1960 ජූලි 20 වැනිදා නැවත පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීය.
එහිදී මන්ත්‍රී ආසන 75ක් ජය ගත් ශ්රීලනිපය ලෝක ඉතිහාසයේ ප්‍රථම අගමැතිවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පත්කර ගත්තේය. එම ආණ්ඩුවේ වසර හතරහමාරක කාලය තුළ මුදල් අමාත්‍යවරු පස් දෙනෙකු පත්වීමද විශේෂය.
1965 මාර්තු 22 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එජාපය මන්ත්‍රී ආසන 66ක් දිනා ගත් අතර ශ්රීලනිපය ඇතුළු සෙසු පක්ෂ නවයක් විසින් මන්ත්‍රී ආසන 85ක් දිනා ගෙන තිබුණි. එසේ වුවද ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දී ඔහුගේ ප්‍රධානත්වයෙන් ජාතික රජයක් පිහිටුවා ගනු ලැබීය. එකී රජයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයට අමතරව ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයද අගමැතිවරයා යටතට පත් කර ගැණින. ඒ අනුව එකී රජයේ අමාත්‍ය මණ්ඩලය 17 දෙනෙකුට සීමා වූ අතර උප ඇමති තනතුරු 17ක් සඳහා ද මන්ත්‍රීවරු පත් කර ගෙන තිබුණි. 1965 සිට 1970 දක්වා වසර පහක පූර්ණ කාලය ආණ්ඩුව පවත්වා ගැනීමට එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව සමත් වූ අතර මෙකී කාලය තුළ අතුරු මැතිවරණ 15ක් පැවැත්වීමටද එම ආණ්ඩුවට සිදු විය.
1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 91ක් දිනා ගත් ශ්රීලනිපය සමඟි පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. එම රජයේ අමාත්‍ය මණ්ඩලයට 21ක් පත්වූ අතර ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් 18ක් දිවුරුම් දුන්නේය. 1977 ජූලි 21 දා පැවැති මැතිවරණයෙන් එජාපය මන්ත්‍රී ආසන 140ක් දිනා ගනිමින් පිහිටවූ ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස වැඩ බාර ගත් ජේ. ආර්. ජයවර්ධනයන් එතෙක් සැම අගමැතිවරයකු යටතට ගත් විදේශ කටයුතු අමාත්‍යාංශය අතහැර ආරක්ෂක ආර්ථික කටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයන් තමා යටතේ තබා ගෙන 23 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත්තේය.
නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවද 26 ක් දක්වා වැඩිවූ මෙම ආණ්ඩුව යටතේ ප්‍රථම වතාවට දිසාඇමතිවරුන් ලෙස තවත් 24දෙනෙකු පත් කරගත්තේය. එමෙන්ම 1978 පෙබරවාරි 04දා විධායක ජනාධිපති ලෙස වැඩ පටන් ගත් ජේ. ආර්. ජයවර්ධන 1978 ජූලි 25 වනදා පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර එය ඡන්ද 147කින් සම්මත කර ගත්තේය.
නව ව්‍යවස්ථාව අනුව අනුපාතික ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර සැම දිස්ත්‍රික්කයක්ම ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකනු ලැබිණ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් දක්වා වැඩි කෙරිණි. දිස්ත්‍රික් පදනම මත මන්ත්‍රීවරු 196ක් හා මැතිවරණයේදී ඒ ඒ දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පදනම් කර ගෙන ප්‍රසාද මන්ත්‍රී ආසන 29 ක් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225ක් වන සේ සකස් කරගෙන තිබුණි. ඒ අනුව 1989 පැවති ප්‍රථම සමානුපාතික මැතිවරණයෙන් එජාපය ජය ගත් අතර දෙවන විධායක ජනාධිපති ලෙස ආර්.ප්‍රේමදාස මහතා දිවුරුම් දී ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදන හා බුද්ධශාසන යන අමාත්‍යාංශයන් තමන් යටතේ තබාගෙන 22 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගත්තේය. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරු 50 ක් හා කැබිනට් නොවන අමාත්‍යවරු 23ක්ද පත්කර ගත්තේය. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම අමාත්‍යවරුන් පිරිසක් ප්‍රථම වතාවට පත් වූයේ 2000 වසරේ පිහිටුවනු ලැබු චන්ද්‍රිකා කුමාරතුංග රජයේය. එම සංඛ්‍යාව 44ක් වූ අතර ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස තවත් 35දෙනෙකුද පත්විය. එම ආණ්ඩුව වසරකට සීමා විය.
නැවත 2001 ජනතා විමුක්ති පෙරමුණ සමඟ පරිවාස ආණ්ඩුවක් හදාගත් චන්ද්‍රිකා එම රජය සඳහා විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හා විසි දෙනෙකුගෙන් යුත් නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයක්ද පත් කර ගැණින. පරිවාස ආණ්ඩුවට වසරක්වත් පාලන බලය පවත්වා ගත නොහැකිව 2001 දෙසැම්බර් 05 දා මැතිවරණය පැවැත්වීමට සිදුවිය. එහිදී ජයගත් එක්සත් ජාතික පෙරමුණ අමාත්‍ය මණ්ඩලය 25ක්ද කැබිනට් නොවන අමාත්‍යවරු 27ක්ද නියෝජ්‍ය අමාත්‍යවරු 9ක්ද පත්විය. 2004 පැවැති මහ මැතිවරණයෙන් ජයගෙන පත්වූ මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩලය 35 ක් වූ අතර නියෝජ්‍ය අමාත්‍යවරු 35ක් පත්විය. 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු 37 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 39ක් පත්කර ගැනිණ.2010 පැවැති මහ මැතිවරණයෙන් නැවත වතාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ අතර එම රජයේ අමාත්‍ය ධුර 37ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 39ක් විය.
2015 පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ශ්රීලනිපය සමඟ එක්ව යහපාලන ආණ්ඩුව පිහිටුවනු ලැබීය.
අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වී 47 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගත්තේය.
ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරු 19 ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 21ක්ද පත් කර ගත්තේය.
2019 පැවැති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම නිසා එතෙක් 47ක්ව පැවති අමාත්‍ය මණ්ඩලය 16 දක්වා අඩුවිය. ඉකුත් 8 දා පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගෙන අගමැති ලෙස මහින්ද රාජපක්ෂයන් පත් වූ අතර අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යවරු 26 දෙනෙකු හා ඒ අමාත්‍යවරු සමඟ වැඩ කිරීමට රාජ්‍ය අමාත්‍යවරු 39ක් පත්කිරීම විද්‍යානුකූලව සිදුකර තිබීම විශේෂත්වයකි.