
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලිය සහ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය අවලංගු කිරීමට පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ. පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව නතර කර දැමූ ලීග් තරගාවලිය යළි පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් එය සම්පූර්ණයෙන් ම අවලංගු කිරීමට සිදු වූ බව පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම ක්‍රීඩා කළ විමසුමකදී පැවැසීය. ඒ සමඟ එම තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියත් අවලංගු කිරීමට පසුගියදා රැස් වූ පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව ද විජේරාම කීවේය.
එසේ වුවද වසර අවසානයේ පාසල් අධ්‍යාපනය නිමා කොට නික්ම යන ක්‍රීඩකයන්ට ලීග් තරගාවලිය ඔවුන්ගේ අනාගතයට ඉතා වැදගත් එකක් බැවින් දස සාමාජික තරගාවලියක් පැවැත්වීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.
මේ සඳහා තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසර ලැබිලා නෑ. ඒ අවසරය නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ.
“ මේ වසරේදී පාසල් හැරයන ක්‍රීඩකයන් රැසක් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා. එම තරගාවලියෙන් ඔවුන්ට ලැබෙන සහතිකය ඔවුනගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඉතා වටිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් දස සාමාජික තරගාවලියක් පැවැත්වීමට අප තීරණය කළා.” විජේරාම පැවැසීය.
ලීග් තරගාවලියට ඇතුළත් පාසල් කණ්ඩායම් සහභාගි කරගනිමින් එම තරගාවලිය උසස් පෙළ විභාගයෙන් පසු පැවැත්වීමට පාසල් රග්බි සංගමයේ අවධානය යොමු වී තිබේ.
“මේ සඳහා තරග කාල සටහන සකස් කරන්නට තරගාවලි කමිටුවට දැනුම් දුන්නා. ඉන් පසු එය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊට අනුමැතියට යොමු කරනවා. එම තරගාවලියට සහභාගි වන පාසල් කණ්ඩායම් සංඛ්‍යාවට අනුව දින 2ක් හෝ 3ක් වැනි කාල සීමාවකදී තරගාවලිය පැවැත්වීමටයි අප අදහස් කරන්නේ. නොවැම්බර් මස 12 වැනිදා උසස් පෙළ විභාගය නිමා වීමෙන් පසු ක්‍රීඩකයන්ට සති දෙකක පමණ කාලයක් පුහුණුවීම් සඳහා ඉඩකඩ ලබාදෙමින් නොවැම්බර් මස අගදී එම තරගාවලිය පැවැත්වීමට අපේ අවධානය යොමු වී තිබෙනවා.” පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා කීවේය.
ෙම් වසරේ පාසල් ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලි අවලංගු වූවත් කිසිදු කණ්ඩායමක් වෙනත් තරග කාණ්ඩයක් සඳහා උසස්වීමක් හෝ පහත දැමීමක් සිදු නොකරන බව ද පැවැසූ ලේකම්වරයා වයස අවුරුදු 16 න් පහළ දස සාමාජික තරගාවලියකට ද අවධානය යොමු කර ඇති බවද පවසයි.










