යුක්රේන ගුවන් යානය බිම දැමීම ‘මානුෂීය අත්වැරදීමක්ලු’ ඉරානය කියයි | සිළුමිණ

යුක්රේන ගුවන් යානය බිම දැමීම ‘මානුෂීය අත්වැරදීමක්ලු’ ඉරානය කියයි

මානුෂීය අත්වැරදීම් යනු සමාව දිය යුතු ඒවාය. එමෙන්ම එම මානුෂීය අත්වැරදීම් සමාව දිය හැකි ඒවා ද විය යුතුය. ලෝක ඉතිහාසයට එක්වූ මානුෂීය අත්වැරදීම් අතරෙන් තවත් එක් බරපතළ අත්වැරදීමක් වාර්තා කරමින් ඉරානය පසුගියදා පවසා සිටියේ යුක්රේන ගුවන් යානය ප්‍රහාර එල්ල කර බිම දැමීම තමන් අතින් සිදුවුණු මානුෂීය අත්වැරදීමක් බවයි. මේ පුදුම සහගත ප්‍රකාශයකි. එමෙන්ම අවසානයේදී හෝ ඉරානය මෙවන් ප්‍රකාශයක් කිරීම සතුටට කාරණයකි. තම ගමනාන්තය කරා යෑමේ බලාපොරොත්තුවෙන් යුතු අහිංසක සිවිල් වැසියන් සහිත ගුවන් යානයකට මිසයිල එල්ල කර බිම දමා විනාශ කිරීම මානුෂීය අත්වැරදීමක් ලෙස අර්ථ ගන්වා අමතක කර දැමිය හැකි දැයි වෙනමම සලකා බැලිය යුතුය.

මේ යුක්රේන ගුවන් යානයට ඉරාන මිසයිල එල්ල වන්නේ පසුගිය වසරේදීය. පසුගිය වසරේ ජනවාරියේදී ඉරානය හිටිවනම අමෙරිකාව සමඟ යුද්ධයක පැටලෙන්නේය. අමෙරිකාව ඉරානයේ හමුදා ප්‍රධානියකු මරා දමන අතර, ඉරානය ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කරන්නේය. ඒ සමගින් අමෙරිකාව දරුණු ලෙස පළිගන්නා බවට දිවුරන අතර ඉරානය ඒ අතර අනපේක්ෂිත ලෙස යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාර එල්ල කරන්නේය.

ඒ පසුගිය වසරේ ජනවාරි 8 වැනිදාය. යුක්රේන වැසියන් බහුතරයක් සමඟ මගීන් 176ක් රැගත් යුක්රේන ගුවන් යානය ටෙහෙරාන් නුවරින් පිටත් වූයේ යුක්රේනයේ කයිව් නගරය ගමනාන්තය කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් ඉරාන හමුදා මිසයිල දෙකක් ගුවන් යානයේ ගැටෙන්නේ මගීන් සියලු දෙනාම මරු තුරුලට යවමිනි.

අමෙරිකනු ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බවට ඇඟවෙන වාර්තා ඉරානයෙන් ලැබෙන්නට වුවද විනාඩි කිහිපයකින් දක්නට ලැබුණේ නිහැඬියාවකි. ඒ ඉරාන හමුදා බිම දමා ඇත්තේ යුක්රේන සිවිල් ගුවන් යානයක් බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟිනි. පසුව ඒ බව ඉරාන බලධාරීන් විසින්ද පිළිගනු ලැබිණි. යානය ටෙහෙරාන් නුවරින් මඳ දුරකින් බිම පතිත වී තිබුණු අතර ඉරානය වගකීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එහෙත් සිදුවීම ප්‍රහාරයක් බවට ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි දිගින් දිගටම ඉදිරිපත්වීම හමුවේ ඉරානය ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන බවට සහතික විය. දැන් මේ ප්‍රහාරය ‘මානුෂීය අත්වැරදීමක්‘ බව ප්‍රකාශ කරන්නේ ඒ පරීක්ෂණ අවසානයේය.

බටහිර මාධ්‍ය පවසන අන්දමට සිදුවීමෙන් පසු වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා යානයේ නියමු කුටියේ තොරතුරු සටහන් වන කළු පෙට්ටිය ප්‍රංශයට යැවිය යුතු වුවද ඉරාන බලධාරීන් එය අනවශ්‍ය ලෙස කල්දමමින් සිටි බවටද චෝදනා එල්ල විය. කෙසේ වුවද අවසානයේ ඉරාන බලධාරීන් සමීක්ෂණ වාර්තාව එළි දක්වමින් පවසා සිටියේ මේ සිදුවීම ‘මානුෂීය අත්වැරදීමක් ‘ බවයි.

යුක්රේන ගුවන් යානය පිටත් වන අවස්ථාව වන විට ඉරානය විසින් ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර අවසන්ය. එබැවින් ඒ මොහොත වන විට ඉරාන ගුවන පැවතියේ දැඩි උණුසුම් තත්ත්වයකය. ඒ අවස්ථාවේදී යුක්රේන ගුවන් යානය ගුවන් ගත ව තිබේ. එම යානය අවසරලත් සාමාන්‍ය ගුවන් පථයක ගමන් ගත් බවද තහවුරු වී තිබේ. සියල්ල එසේ වුවද ඉරාන බලධාරීන් පවසා සිටින්නේ ඒ මොහොතේ ඉරාන ගුවනේ ආරක්ෂාව ඉතා දැඩි කොට තිබූ බවයි. එමෙන්ම සමීක්ෂණ වාර්තාවට අනුව ඉරානයේ මිසයිල ප්‍රහාරක ඒකකය එහි අණදෙන නිලධාරී ඒකකය සමඟ සම්බන්ධ නොවෙමින්, නිසි අනුමැතිය නොගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එහෙත් ඉරානයේ මේ ප්‍රකාශය හාස්‍යජනක වන්නේ වගකිව යුතු රටක ක්රූස් මිසයිල ප්‍රහාරක ඒකකයක් එසේ කටයුතු කරයිද යන ප්‍රශ්නය ඒ සමඟම උද්ගත වන බැවිනි.

Comments