
කොවිඩ් 19 නිසා කල් ගිය ඔලිම්පික් උලෙළ සහ ලබන වසරේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලි 14ක් ඉලක්ක කරගෙන, පුහුණු සංචිත සහ ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර තිබේ. ලබන වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ප්‍රධානම ඉලක්කය වන්නේ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියයි. එය ලබන වසරේ මැයි මාසයේ චීනයේ පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලි ඉලක්ක කර ගෙන ජාතික මලල ක්‍රීඩා සංචිතයේ විශේෂ තේරීම් තරගාවලියක් ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට ද සැලසුම් සකස් කර තිබේ.
පසුගිය වසරේ දෝහා කටාර්හි පැවැති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමි විය. ගයන්තිකා අබේරත්න මීටර් 800 සහ විදුෂා ලක්ෂානි තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
කොවිඩ් 19 නිසා වසරකින් කල් දැමූ ඔලිම්පික් උලෙළ ලබන වසරේ ජූලි 23 දා සිට අගෝස්තු 08 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝහිදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ සඳහා දැනට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය හඳුනවා දී තිබෙන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මීටර් 3000 බාධක ඉසව්ව සඳහා නිලානි රත්නායක දෙවන පෙළ සුදුසුකම් සපිරීමේ කඩඉමෙන් ඔලිම්පික් වරම් දිනාගෙන තිබේ.
සාග් රන් පදක්කම් ලාභින්ගේ සහභාගිත්වයෙන් දැනට විශේෂ පුහුණු සැසියක් පවත්වාගෙන යයි. මෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස වයි:කේ: කුලරත්න කටයුතු කරයි.
මලල ක්‍රීඩා සුපිරි සංචිතය 27 දෙනකුගෙන් පටන් ගත්තා. දැනට සති තුනක විතර කාලයක් අපි මේ සංචිතය පවත්වාගෙන ඇවිත් තියෙනවා. ලබන අවුරුද්දේ අපට හමුවන ප්‍රධාන මලල ක්‍රීඩා තරගාවලි වන්නේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ඔලිම්පික් තරගාවලියයි. ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට අපි වැඩි ඉඩකඩක් වෙන්කරලා තියෙනවා. ජාතික සංචිතය ජූලි 01දා පටන් ගත්තේ. මෙහි පළමු තේරීම් තරග ඔක්තෝබර් 23, 24 සහ 25 වැනිදා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ජාතික මලල ක්‍රීඩා තරගාවලිය දෙසැම්බර් මාසයේ පැවැත්වෙනවා.
විදේශීය පුහුණුකරුවන් කිහිපදෙනකුගේ සේවය අප ලබා ගෙන තිබෙනවා. දැනට මීටර් 800 සහ 1500 ඉසව් සඳහා කෙන්යානු පුහුණුකරුවකු යටතේ ක්‍රීඩකයන් කිහිප දෙනකු නුවරඑළියේ පුහුණුවීම් කරනවා. දැනට සති දෙකක් තිස්සේ ඔවුන් පුහුණුවීම් කරනවා. කෙටිදුර ධාවනය සඳහා කියුබානු පුහුණුකරුවකුගේ සහාය ලබා ගන්නවා. අපේ මූලික අරමුණ ඔලිම්පික් උලෙළ සඳහා වැඩි ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් එක් කර ගැනීමයි. ඒ වගේ ම පැනීම් සහ විසි කිරීම් ඉසව් සඳහා වැඩ සටහනක් ආරම්භ කරනවා. ලබන වසර මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළකට යා යුතුව තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උසස් පෙළ විභාගවලට දින නියම නොවීම නිසා අපට ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට දිනවෙන් කර ගැනීමේ ගැටලුවක් මතු වෙලා තියෙනවා යැයි වැඩිදුරටත් අප කළ විමසුමේදි ජාතික පුහුණුකරු වයි:කේ: කුලරත්න පැවැසීය.










