ආසියානු කුසලාන විස්සයි 20 සත්කාරකත්වය ශ්‍රී ලංකාවට | සිළුමිණ

ආසියානු කුසලාන විස්සයි 20 සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය කොවිඩ්19 වසංගතයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් වසරකින් ලක් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

රටවල සංචාර සීමා කිරීම්, විශේෂිත නිරෝධායන අවශ්‍යතා, මූලික සෞඛ්‍යය අවදානම් සහ සමාජ දූරස්ථභාවය වැනි සාධක මේ තරගාවලිය පැවැත්වීමට සැලකිය යුතු අභියෝගයක් වී තිබේ.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනමා ඇති අතර, ඒ අනුව වසරකින් කල් දැමුණු තරගාවලිය ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතය.

මේ වසරේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිවු අතර, කොවිඩ් 19 වසංගතයත්, ඉන්දිය පාකිස්තාන විරෝධයත් හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලය මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබිණි. ඒ අනුව තරගාවලිය සැප්තැම්බර් මාසයේදී මෙරටදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කළ අතර, ඊට රජයේ අවසරයද හිමි විය.

පාකිස්ථාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනවල එකඟත්වයෙන් මේ තරගාවලියේ සත්කාරකත්වය හුවමාරු වූ අතර, මේ වසර වෙනුවට 2022දී ශ්‍රී ලංකාවට හිමිව තිබූ සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ලබන වසරේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, 2022 තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියාව මේ තරගාවලිය පැවැත්වීමට මුල සිටම අකැමැත්ත දැක්වූයේ සිය ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය වන අයිපීඑල් තරගාවලිය පැවැත්වීමේ අවශ්‍යතාව දැඩිවී තිබීම හේතුවෙනි. අයිපීඑල් තරගාවලිය මේ වසරේ නොපැවැත්වේ නම් ඉන්දීය රුපියල් කෝටි 4000කට ආසන්න මුදලක් ඉන්දීය ක්‍රිකට් ආයතනයට අහිමි විමේ අවදානමක් පවතියි. ඒ හේතුවෙන් ඔවුන් මුල සිටම ආසියානු තරගාවලිය පැවැත්වීමට අකැමැත්ත පළ කර අතර, පාකිස්තානය සහ බංග්ලාදේශය ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී තරගාවලිය පැවැත්වීම පිළිබඳ කැමැත්ත පළ කර තිබිණි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබු අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත. දැන් ඉන්දියාව ඒ දෙස වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එම තරගාවලියේ තීරණයත් සමඟ අයිපීඑල් තරගාවලිය දින නියම කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

Comments