
මිනිසා බුද්ධියෙන් කොතරම් උසස් වුවද, කොතරම් දියුණු තාක්ෂණ ඥානයක් සහිත වුවද තවමත් ඇසට නොපෙනන ක්ෂුද්‍ර ජීවියකු වන කොවිඩ් - 19 රෝගය ව්‍යප්ත කරවන කොරෝනා වයිරසය මර්දනය කිරීමට නොහැකිව අසරණව සිටියි.
මේ වන විට ලෝකය පුරා කෝටියකට එනම් මිලියන දහයකට අධික ජනතාවකට වයිරසය ආසාදනය වී අවසන්ය. එනම් මේ ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියා මිනිසුන් මිලියන දහයකට අධික පිරිසකගේ සිරුරු තම නිවාස බවට පත් කර ගෙන තිබේ. ඒ අතරින් පනස් හත් ලක්ෂයක පමණ පිරිසක් වයිරසය තම සිරුරුවලින් පළවා හරිමින් ආරක්ෂා වීමට සමත් වූවද ලොව පුරා මිනිසුන් ලක්ෂ පහක පමණ පිරිසක් වයිරසය සමග සටන් කරගත නොහැකිව තම සිරුරු වයිරසයට බිලි දී අවසන් ගමන් ගොස් තිබේ.
මේ ඇසට නොපෙනෙන ක්ෂ්‍රද්‍ර ජීවියා තවමත් ලෝකය පාලනය කරමින් සිටී. මේ වන විට බිඳ වැටෙන ආර්ථිකය හමුවේ, අහිමි වන රැකියා හමුවේ, හිස් වන කුස් ලක්ෂ සංඛ්‍යාවක් හමුවේ රටවල් විවෘත කිරීමට තීන්දු තීරණ අරගත්තද වයිරසය තම ගමන නිවීහැනහිල්ලේ යමින් සිටී.
ලෝකයේ එකද රටක් හෝ මේ මොහොතේ වයිරසයෙන් සම්පූර්ණයෙන් ආරක්ෂිත යැයි පැවසිය නොහැකිය. තම රටින් කොවිඩ් තුරන් කළ බවට පුරසාරම් කියූ නවසීලන්ත අගමැතිනියටද පරාජය බාර ගැනීමට සිදුවූයේ විදේශ ගතව සිටින පිරිස යළි මව් රට කරා ගෙන ඒමේන් පසු යලිත් රෝගීන් වාර්තා වන්නට වූ බැවිනි.
කොටින්ම තිවහොත් මැයි මස අග වන විට රට අභ්‍යන්තරයේ රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන් නවතා දැමීමට සමත් වූ, වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 270ක් තරම් අවම අගයක පවත්වා ගැනීමට සමත් වූ, එකද මරණයක් හෝ වාර්තා නොකළ වියට්නාමයද මේ වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 355ක් දක්වා වර්ධනය වී ඇති බව දක්වා සිටියි. හොංකොං සහ නවසීලන්තය මෙන්ම ශ්‍රී ලංකාවද මෙලෙස රෝගීන් වාර්තා කරන්නේ විදෙස් ගත ව සිටි පිරිස් යළි පැමිණීම හමුවේ වුවද ඒ රෝගීන් සියලු දෙනාම රටේ ගිණුමට බැර වීම වැළැක්විය නොහැකිය.
මේ රටවල් අති සුළුතරය හැර ලෝකය පුරා රටවල් වැඩි ප්‍රමාණයක් කොවිඩ් පඹගාලේ පැටලී දුක් විඳිමින් සිටියි.
මෙතෙක් කල් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන් තනි ඉලක්කමක සංඛ්‍යාවන් වාර්තා වෙද්දී රට විවෘත කළද මේ වන විට රෝගීන් වාර්තා වීම පාලනය කර ගත නොහැකි බව වටහා ගත් ඔස්ට්‍රේලියාව වික්ටෝරියා ප්‍රාන්තයේ යම් යම් ප්‍රදේශ යලි වසා දැමීමට තීරණ ගෙන තිබේ.
චීනය සහ ඉන්දියාව දේශසීමා ගැටුම මත තමතමන් නිපදවූ අවිආයුධ යොදමින් එකිනෙකා මරා ගැනීමට කැසකවමින් සිටියද මේ දෙරටේම ජනජීවිත රාශියක් මේ වන විටත් කොවිඩ් වයිරසය විසින් ගිලගනිමින් සිටියි. ඉන්දියාව ඒ අතරින් ද ඉතා කණගාටුදායක වාතාවරණයක පසුවන්නේ කලාපයේ පමණක් නොව මුලු මහත් ලෝකයේම වැඩිම කොවිඩ් ආසාධිතයන් අතර ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව සිටී. ආසාදිතයන් ලක්ෂය ඉක්මවන තුරු ඉන්දියාවේ කොවිඩ් මරණ අවම වුවද මේ වන විට යුරෝපා රටවලට සමාන මරණ අනුපාතයක් ඉන්දියාවෙන් දක්නට ලැබෙන ලකුණු පහළ වෙමින් තිබේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ. මරණ 17,000 ඉක්මවා තිබේ. ඒ අනුව ඉන්දියාව ස්පාඤ්ඤය, ඉතාලිය ප්‍රංශය යනාදී වයිරසයේ ප්‍රථම ප්‍රහාරයට දරුණු ලෙස ගොදුරු වූ යුරෝපා රටවල ආසන්නයට පැමිණ තිබේ.
අනික් අතට මේ බොහෝ රටවලට වඩා ඉන්දියාවේ ජනගහනය අධික බැවින් තව නොබෝ කලකින් මරණ සංඛ්‍යාවෙන්ද ඉන්දියාව මේ රටවල් ඉක්මවා යනු ඇතැයි සැක පහළ කළ හැකිය. එහෙත් අපේ අසල්වැසියා වශයෙන් එවැනි කණගාටුදායක සිදුවීම් වාර්තා නොවේවා යන්න අපේ පැතුමය. එසේ වුවද මේ දක්වා ඉන්දියාව තුළ වයිරසය පාලනය වී ඇති බවක් දක්නට නැත.
අමෙරිකාව මේ වන විට ආසාදිතයන් මිලියන දෙකහමාර ඉක්මවා වාර්තා කරමින් සිටින්නේ මරණ 128,000 ඉක්මවමිනි. ජනාධිපති ටොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූයේ මරණ ලක්ෂයකින් පමණ පසු වයිරසය පාලනය කිරීමට හැකි වනු ඇති බවයි. එහෙත් මේ වන විට අමෙරිකාවෙන් ලැබෙන දත්ත අනුව පැහැදිලි වන්නේ අමෙරිකාව තුළ වයිරසයේ ව්‍යප්තිය වැඩි වෙමින් පවතින බවයි. පසුගිය දිනවල කළු ජාතිකයන්ගෙ ජීවිත වෙනුවෙන් මිනිසුන් වයිරසය අමතක කොට පාරට බැස සිදුකළ උද්ඝෝෂණ ඒ සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන්නට ඇති බවට සැක නැත. මේ වන විට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් බැහැරට වයිරසය ව්‍යප්ත වෙමින් තිබෙන අතර සෙසු ප්‍රාන්තවලින්ද විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබේ.
බ්‍රසීලයේ තත්ත්වය ඉතාමත් කණගාටුදායකය. මේ වන විට ආසාදිතයන් වාර්තා වීමේ කිසිදු අඩුවක් එරටින් දක්නට නොමැති වන්නේ මරණ සංඛ්‍යාව 58,000 ඉක්මවා තිබියදීය. රුසියාවද ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් පෙන්නුම් කළද මරණ සඛ්‍යාව අවම මට්ටමක පවත්වා ගනිමින් සිටියි. එහෙත් මේ මැයි මස අවසන් වන තුරු කොවිඩ් වයිරස ව්‍යප්තියෙන් ආරක්ෂා වී සිටි රටවල් බව අමතක කළ යුතු නැත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින්නේ තවමත් වයිරසයේ නියම ස්වරූපය මිනිසා අත්විඳ නොමැති බවයි. ඒ අනුව ඉදිරියේදී තවත් ආසාදිතයන් සහ මරණ නොකඩවා වාර්තා වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි. ඔවුන් පවසන්නේ වයිරසයෙන් ආරක්ෂා වීමේ පිළිවෙත් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. එහෙත් මිනිසා මේ වන විට කුසගින්න සහ වයිරසය අතර තියුණු කඹ ඇදීමක නිරත ව සිටියි. එයින් බොහෝ දුරට කුසගින්න ජයගනු ඇති අතර එයින් මදක් කල් ගත වූ පසුව වයිරසයටද ජය ලැබෙනු ඇත.