දියයට විසිතුරු බලන්න ගාල්ලට එන්න | සිළුමිණ

දියයට විසිතුරු බලන්න ගාල්ලට එන්න

දිය යට කිමිදී එහි සුන්දරත්වය නැරඹිය හැකි නම් ඕනෑම අයකු ඉන් වශීකෘතව දියයට ලෝකයට ඇලුම් කරනු ඇත. මහ සයුරේ ඇති අපූරු සුන්දරත්වය දැක ගැනීමට බොහෝ දෙනකු පෙ‍ලඹෙන්නේ එබැවිනි. මේ නිසාම දියයට කිමිදීමේ කැමැත්තක් දක්වන පුද්ගලයන් හේතුවෙන් ම සංචාරක කර්මාන්තය ද දියුණු වී තිබේ.

මහ සාගරය පත්ලේ සංචාරකයන් ආකර්ෂණීය ස්ථාන කෘතිමව නිර්මාණය කර මේ අපූරු ලෝකයේ චමත්කාරය තවත් වැඩිදියුණු කරන්නට මුල් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ජේසන් ඩි. කේරස් ටේලර් නමැති පුද්ගලයෙකි. 1974 දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඔහු මූර්ති ශිල්පියෙකි.. අද වනවිට ටේලර් විසින් නිර්මාණය කරන ලද දිය යට උද්‍යාන ලෝකයේ සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ස්ථාන බවට පත්ව තිබේ.

ලෝකයේ සංචාරක කර්මාන්තයේ දී ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් වන ශ්‍රී ලංකාව ද පසුගිය දා එවැනි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කළේය. ඒ ආසියානු කලාපයේ ප්‍රථම දිය යට උද්‍යානය නිර්මාණය කරමිනි. මෙම උද්‍යානය පිහිටා ඇත්තේ ගාල්ල වරාය ආසන්නයේ පැරණි වරාය ජැටියේ සිට රූමස්සල දෙසට කිලෝ මීටරයක පමණ දුරිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම දිය යට උද්‍යානය නිර්මාණය කරන ලද අතර එය මෙරට ප්‍රථම ''දිය යට කෞතුකාගාරය" ලෙස නම් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මුහුද යට උද්‍යානයක් සැකසිය යුතු යැයි ඉදිරිපත් කරන ලද සංකල්පයකට අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙම දිය යට උද්‍යානය නිර්මාණය කෙරිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මෙසේ කීවේය.

''අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය ක්‍රියාවට යෙදවීම නාවික හමුදාව විසින් සිදු කළා. මේ සඳහා විවිධ ස්ථාන යෝජනාවී තිබුණත් සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ඒ වගේම කොරල් පර බහුල සුන්දර මුහුදු තීරයක් තිබෙන ගාල්ල ‍තෝරා ගත්තේ මෙහි ප්‍රධාන ඉලක්කය මුහුද යට නැරඹීමට කැමැති සංචාරකයන් වීම නිසා. ඔවුන්ට අවශ්‍ය කිමිදුම් පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක් වීම නිසාත් ගාල්ල‍ කොටුව සහ රූමස්සල අවට පරිසරය සංචාරකයන් වැඩි වශයෙන් ප්‍රිය කරන ස්ථානයක් නිසාත් මෙය ලෝකය පුරාම ඉතා ජනප්‍රිය ස්ථානයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරනවා. පසුගිය ජනවාරි මාසයේ මේ යෝජනාව ඉදිරිපත් වූ වහාම ඒ සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා අවධානය යොමු කරලා නාවික හමුදාවේ ඒ සඳහා හැකියාව ඇති නිලධාරීන් යොදවා නිර්මාණ කටයුතු කඩිනමින් සිදු කළා. මාස හතරක් වැනි කෙටි කාලයක දී අපට එම ඉලක්කය සම්පූර්ණ කරගත හැකිවුණා."

දිය යට කෞතුකාගාරය ලෙස නම්කර ඇති මේ මුහුදු උද්‍යානයේ නිර්මාණ කාර්යය සිදු කළේ ලුතිනන් කමාන්ඩර් තරිඳු ඉඳුවරගේ විසිනි. කලා කටයුතු කිරීමේ අපූරු හැකියාවෙන් යුතු ඔහු පිළිම නෙළීමේ සහ ඇඹීමේ දක්ෂයෙකි. මේ නිසා නාවික හමුදාපතිවරයා විසින් මුහුදු උද්‍යානය සැකසීම වගකීම ඔහුට බාර දී තිබිණි.

ගාල්ල වරායේ ඉඩ කඩ ඇති ස්ථානයක් මේ සඳහා තෝරාගත් ලුතිනන් කමාන්ඩර් ඉඳුවර‍ගේ ඒ සඳහා හැකියාව සහ උනන්දුව ඇති නාවික නිලධාරීන් 50ක පමණ පිරිසක් තෝරා ගත්තේය. අනතුරුව ඔවුන් සමග එක්ව දියයට තැන්පත් කළ යුතු නිර්මාණ සිමෙන්ති හා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කෙරිණි.

''අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ලක්ෂණ විදහා දක්වන දිය යට උද්‍යානයක් නිර්මාණය කරන්න. දැනට එහි පළමු අදියර අවසන් කර තිබෙනවා. උද්‍යානය සකසා තිබෙන්නේ අඩි 120 x 60 ප්‍රමාණයට. එය පැරණි ගල්කණු ආකෘති 20 කින් වට කර තිබෙනවා. ඇතුළුවීම සඳහා ද්වාරයක් නිර්මාණය කළා. මැද පිළිම තබා තිබෙනවා. දැනට ආකෘති 27ක් මේ ආකාරයට සකසා තිබෙනවා. සඳකඩපහන, මුරගල්, යාපහුව සිංහයාගේ රූප, කාලතුවක්කු ආකෘති, දිය කිඳුරියන්ගේ ආකෘති සහ මිනිස් ආකෘති කිහියක් මේ අතර තිබෙනවා. මේ ආකෘති මුහුදු පරිසරයට අනුගතවන ආකාරය ගැන සොයා බලා මෙය එය වඩාත් පුළුල් කරන්න අපේක්ෂා කරනවා." ඉඳුවරගේ කීවේය.

ගාල්ල වරාය පරිශ්‍රයේ දී මාස තුනක පමණ කාලයක් පුරා නිර්මාණය කරන ලද මේ ආකෘති ටොන් 04 සිට 08 දක්වා බරකින් යුක්තය. ‍නිර්මාණ කටයුතු අවසන්වීමෙන් පසු ඒවා දොඹකරයක මාර්ගයෙන් වරායේ ජැටිය දක්වා ගෙන ගොස් එතැනින් දියට දැමිණි. මුහුදු ජලයට දැමූ පසු ජැටිය අසලම ආකෘති ගිලී යෑම වැළැක්වීම සඳහා ඒවා දියමත ඉපිලෙන ආකාරයෙන් වායු බැලූන සවිකර නාවික හමුදා සාමාජිකයන් විසින් දිය යට උද්‍යානය ස්ථාපිත කරන ස්ථානය දක්වා ඒවා ඇදගෙන යෑම සිදුකරන ලදී. මෙය ඉතා වෙහෙසකර කාර්යයක් වූ අතර ඒ සඳහා ද දින කිහිපයක් ගත විය. මේ ආකෘති දියට දැමීමේ දී ඒ ස්ථානය අවම වශයෙන් අඩි 30ක හෝ ගැඹුරකින් යුතු වීම අවශ්‍ය වූ බැවින් ගාලු වරායේ ජැටිය මේ සඳහා තෝරාගෙන තිබිණි.

අඩි 50ක් පමණ ගැඹුරින් යුක්ත හොඳින් හිරු එළිය පතිත වන පැහැදිලි ජලය සහිත ස්ථානයක් දිය යට කෞතුකාගාරය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇති බැවින් කිමිදුම් කාර්යයේ නිරතවන සංචාරකයන්ට දිය යට කෞතුකාගාරය පහසුවෙන් නැරඹීමේ හැකියාව පවතී. දැන් ගාල්ල පැරණි වරාය ආසන්න මුහුදේ අපූරු දියයට කෞතුකාගාරයක් නිර්මාණය වී තිබේ. නාවික හමුදාව පවසන්නේ මේ ස්ථානයේ දැනටමත් අලංකාර මසුන් රැසක් නවාතැන් ගෙන සිටින බවයි. ''මුහුදට ආගන්තුක ද්‍රව්‍යයක් පැමිණි විට විවිධ මත්ස්‍යයන් ඒ ස්ථානයට පැමිණෙනවා. මුහුදේ ගිලෙන නැව්වලත් මේ ආකාරයටම දැකගත හැකියි. ඔවුන් දැනටමත් මේ ආකෘති තමන්ගේ වාසස්ථාන කරගෙන සිටින ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි වුණා. ඒ තමයි මුහුදු ජීවීන්ගේ ස්වභාවය. දැනටමත් කුඩා මුහුදු පැලෑටි පවා මේ පිළිමවල පෘෂ්ඨයේ සිය වර්ධනය ආරම්භ කර තිබෙන බව පෙනෙනවා. ක්‍රමයෙන් මුහුදු බෙල්ලන්, කොරල් ජීවීන් මේ ආකෘති ආක්‍රමණය කරාවි. එවිට ඒ ස්ථානය විචිත්‍ර වර්ණයන්ගෙන් යුතු අතිශය චමත්කාරජනක ස්ථානයක් වෙනවා. අපේ ඉලක්කය වන්නේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු සංචාරක කර්මාන්තය යළි වර්ධනය වනවිට දියයට කෞතුකාගාරය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරගැනීමයි." ලුතිනන් කමාන්ඩර් තරිඳු ඉඳුවරගේ මහතා පැවසීය.

නාවික හමුදාව විසින් මේ නිර්මාණය සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙනි. නාවික හමුදාවට ඉන් කිසිදු ආදායමක් ලැබෙන්නේ නැත. මුහුදු යට සංචාරක කර්මාන්තයේ නිරත නියෝජිත ආයතනවලට දෙස් විදෙස් සංචාරකයන් මේ ස්ථානයට රැගෙන ගොස් එමගින් ආදායම් ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි. එමගින් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණෙන් නාවික හමුදාව මේ සද්කාර්යය සිදුකර තිබේ.

නාවික හමුදාව පවසන්නේ මෙම කෞතුකාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය වූ ඉවතලන කොන්ක්‍රීට් ICC ඉදිකිරීම් සමාගමෙන් ලබාදුන් බවයි. එමෙන්ම අවශ්‍ය සිමෙන්ති INSEE සිමෙන්ති සමාගමෙන් ලැබී ඇති අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද විශාල සහයෝගයක් ලබා දී ඇත. මෙම ස්ථානයේ දැනටමත් මත්ස්‍ය අභිජනනය සිදුවන බැවින් ධීවරයන් එම ස්ථානයේ මසුන් ඇල්ලීමට යොමුවීම වැළැක්වීමට ද විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇත. නමුත් පසුකාලීනව මසුන් බහුලව වර්ධනය වූ විට ඒ අවට මසුල් ඇල්ලීම ගැටලුවක් නොවන බවද නාවික හමුදාව පවසයි. එවිට දිය යට කෞතුකාගාරය සංචාරක කර්මාන්තයට පමණක් නොව ධීවර ප්‍රජාවට ද වැදගත් ස්ථානයක් වනු ඇත. ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පසුගිය අප්‍රේල් 05 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කරන ලදී. දිය යට දී පීත්ත පටියක් කපා එය විවෘත කරන ලද අතර නාවික හමුදාපතිවරයාට පීත්ත පටිය කැපීම සඳහා කතුර ලබාදෙන ලද්දේ දිය කිඳුරියන් මෙන් සැරසී සිටි නාවික නිලධාරිනියන් විසිනි.

‍කෞතුකාගාරය විවෘතකිරීමෙන් අනතුරුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මෙසේ කීවේය.

''අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව අපි පැරණි කොච්චි පෙට්ටි සහ කැඩුණු ධීවර යාත්‍රා උපයෝගී කරගෙන ‍දිය යට උද්‍යානයක් නිර්මාණය කරන්න සැලසුම් කළත් ඒවා ලබා ගැනීමේ දී සිදුවූ ප්‍රමාද නිසා තීරණය කළා ඉවතලන කොන්ක්‍රීට් කැබලි යොදාගෙන මෙවැනි නිර්මාණයක් කරන්න. මෙය ඉතාමත් කෙටි කාලයකින් සාර්ථක කරගැනීමට නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් දැඩි කැපවීමකින් කටයුතු කළා. ඔවුන් සියලු දෙනා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නත් මේ සඳහා විශාල සහයෝගයක් හා අවශ්‍ය මගපෙන්වීම ලබා දුන්නා. ඔවුන්ටත් ස්තූති කළ යුතුයි. දිය යට කිමිදීමේ කැමැත්තක් දක්වන පුද්ගලයන්ට මෙය ඉතාමත් ආකර්ෂණීය ස්ථානයක් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා."

නාවික හමුදාව පවසන්නේ ඉදිරියේ දී මෙවැනි ම දිය යට කෞතුකාගාර දෙකක් ත්‍රිකුණාමලයේ සහ තංගල්ලේ ඉදිකිරීමට කටයුතු කරන බවයි.

 

 

Comments