ඉදිරි ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දැනටම පරාදයි? | සිළුමිණ

ඉදිරි ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දැනටම පරාදයි?

ජනාධිපති ට්‍රම්ප් යනු අමෙරිකා ඉතිහාසයේ ඉතා අවාසනාවන්ත ජනාධිපතිවරයෙකි. එහෙත් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු ජනාධිපති ලෙස තේරී පත්වන්නේද ඔහු සතුවූ දක්ෂ ව්‍යාපාරික ඥානය ඉතා සාර්ථක ලෙස දේශපාලනයේ භාවිත කිරීමෙනි. කෙසේවුවද මෑත කාලීනව කිසිඳු අමෙරිකානු ජනාධිපතිවරයකු සිදු නොකළ පරිද්දෙන් ඔහු ලොව කිසියම් හෝ තැනක යුද ගිනි ඇවිලවීමට ක්‍රියා ෙනාකළේය. ඒ වෙනුවට ඔහු වඩා සූක්ෂ්ම අමෙරිකානු ජාතිකවාදය ඉස්මතු කරමින් අමෙරිකානුවන්ගේ හදවතට කතාකළ අතර සංක්‍රමණිකයන්ගේ ගැටලුවද වඩා හොඳන් අවුලුවා තැබුවේය.

මැතිවරණය පෙනි පෙනී ඉරානය සමග යුද්ධයකට පැටලීමට ඔන්න මෙන්න දක්වා නාටකීය අවස්ථාවක් නිර්මාණය කිරීමටත් පසුව සාමයේ අගය ලොවට පවසමින් ක්ෂණිකව යුදමය වාතාවරණය අකුලා ගැනීමටද ට්‍රම්ප් කටයුතු කළෙ පසුගිය වසරේදීය. ඒ සමකාලීනව දෝෂාභියෝගයද ජය ගැනීමට ට්‍රම්ප්ට හැකි විය. ඒ නැන්සි පෙලෝසිගේ අනේවිධ කකුලෙන් ඇදීම් සහ බාධා කිරීම් මධ්‍යයේ තම පාලනයද ගෙන යන අතරය.

කෙසේවුවද කොවිඩ් අමෙරිකාවට තම ප්‍රබලතම ප්‍රහාරය එල්ල කරන්නේ මේ අතරය. ඒ හේතුවෙන් අමෙරිකානුවන් ලක්ෂ ගණනින් මියයද්දී වඩා දුෂ්කර අවස්ථාවට මුහුණ දීමට සිදුවූයේද ජනාධිපති ට්‍රම්ප්ටය. සැබවින්ම ජනාධිපති ට්‍රම්ප් ඉදිරි නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පරාජය වන්නේ නම් එසේ වීමට ප්‍රබල හේතුවක් ලෙස කොවිඩ් ප්‍රහාරය දැක්විය හැකිය.

අමෙරිකාවේ ප්‍රධානතම ජනමාධ්‍ය ආයතනය වන සීඑන්එන් ආයතනය බලයට පැමිණි දින සිට රිපබ්ලිකන් ට්‍රම්ප්ට දැඩි සේ පහර ගැසූ අතර මේ දක්වාද එම ප්‍රහාර නොඅඩුව එල්ල වෙමින් තිබේ.

මාර්තු මාසයේ කොවිඩ් අමෙරිකාව ආක්‍රමණය කරන විට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීමේ තරගය බොහෝ දුරට අවසන් කර තිබිණි. ජෝ බයිඩන් මේ දක්වා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස නම් කර නොමැති වුවද කොවිඩ් හේතුවෙන් ඡන්ද සටන තාවකාලිකව නවතා දැමීමට පෙර ඩිමොක්‍ර‌ටික් පක්ෂයේ සෙසු ජනාධිපති අපේක්ෂකයන් පරදවා ඉදිරියෙන් සිටීමට බයිඩන්ට හැකියාව ලැබී තිබිණි.

ඒ අනුව තවත් මාස කිහිපයකින් ජනාධිපති ට්‍රම්ප්ට තරග වැදීමට සිදු වන්නේ ජෝ බයිඩන් සමග බවට සැකයක් නැත. එසේ වුවද සීඑන්එන් මාධ්‍ය සේවාව පවසන්නේ මේ වන විට 2020 ජනාධිපතිවරණ සටනේ ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටීම බයිඩන් සමත්ව සිටින බවයි. එහෙත් ට්‍රම්ප් පරාජිත බව පැවසීමට තවමත් කල් වැඩි බවද සීඑන්එන් පවසා සිටින්නේ දක්ෂ ව්‍යාපාරික ඥානයකින්ද හෙබි ට්‍රම්ප් අවසන් මොහොතේ කිනම් අන්දමේ තුරුම්පුවක් ගසාවිද යන සැකය පවතින බැවිනි.

එමෙන්ම මේ වන විට අමෙරිකාව පුරා සුළඟක් සේ පැතිර යන සංස්කෘතික වෙනස ද ට්‍රම්ප්ට විරුද්ධව යොදා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කරමින් සිටී. සැබවින්ම මෑත කාලීනව ජනාධිපතිවරයකු මුහුණ දුන් ප්‍රබලතම විපක්ෂය ට්‍රම්ප් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ඩිමොක්‍රටික් පක්ෂය බව පැවසිය හැකිය. ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වූයේ ඩිමොක්‍රටික් හිලරි ක්ලින්ටන් සමග ඉතා තියුණු සටනකට පසුව වූ අතර ඒ සමගින් ඔබාමා යටතේ වූ දීර්ඝ කාලීන ඩිමොක්‍රටික් පාලනය අවසන් විය. එහෙත් තම සටන කිසිවිටකත් අතපසු කිරීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කටයතු නොකළ අතර ගතවූ ට්‍රම්ප් පාලන කාලය තුළදී දිගින් දිගටම ට්‍රම්ප්ගෙ කකුලෙන් ඇදීමේ වැඩපිළිවෙළ ඔවුහු ක්‍රියාත්මක කළහ.

දැන් ඔවුන්ට දේශපාලනයේ වසන්ත සමයක් උදාවී තිබෙන්නේය. එක් අතෙකින් කොවිඩ් වයිරසය අමෙරිකාව වනසා දමමින් සිටින අතර අනෙක් පසින් ට්‍රම්ප්ගෙ පොලීසියට මෙන්ම දීර්ඝ කාලීන සංස්කෘතික පීඩනයටද එරෙහිව ජනතාව වීථි බැස සිටිති. එබැවින් මේ මොහොතේ අමෙරිකාවේ ඉදිවී තිබෙන්නේ ඩිමොක්‍රටික් වරුන්ගෙ රඟ මඩලක් යැයි පැවසිය හැකිය.

මාධ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු තවත් ආයතන කිහිපයක් විසින් සිදුකරන ලද නියැදි වාර්තා ලබා ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයන්ට අනුව මේ වන විට ඉදිරි මැතිවරණයේදී ජෝ බයිඩන් ජයගනු ඇත.

සීඑන්එන් ආයතනය විසින් පසුගිය පෙබරවාරි 6වැනිදා සිට මැයි හයවැනිදා දක්වා සිදු කරන ලද නියැදි සමීක්ෂණයකට අනුව ජෝ බයිඩ්න් සියයට 55ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත. එහිදී වර්තමාන ජනාධිපති ට්‍රම්ප්ට ලබා ගැනීමට හැකියාව ලැබෙණු ඇත්‌තේ සියයට 41ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

පසුගිය මැයි මාසයේදී රොයිටර් මාධ්‍ය සේවය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ජෝ බයිඩන් සියයට 46ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නියමිත අතර ජනාධිපති ට්‍රම්ප්ට ලබා ගැනීමට හැකි වනු ඇත්තේ සියයට 38ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

අමෙරිකාවේ මොනමවුත් සරසවිය සිදු කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව සමීක්ෂණයට අනුව ඩිමොක්‍රටික් ජෝ බයිඩ්න් ජය ගන්නේ සියයට 52ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙවර මැතිවරණයේදී වර්තමාන ජනාධිපති ට්‍රම්ප්ට ලබා ගත හැකි වන්නේ සියයට 41ක ඡන්ද ප්‍රතිශතයක් බවට එම සමීක්ෂණය අනුමාන කරයි.

මීට අමතරව ජනාධිපති ට්‍රම්ප් අමෙරිකානු ජනතාවගේ ආදරය අහිමිවන හේතු රාශියක්ද සීඑන්එන් ආයතනය පුවතක් ලෙස හුවා දක්වා තිබේ. එය එසේ වුවද 2016දී ජනාධිපති ට්‍රම්ප් ජයග්‍රහණය කළෙ මීටත් වඩා අසීරු තරඟයක් බව අමතක කළ යුතු නැත. අති දක්ෂ ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප් සියලුම බාධක අභිබවමින් එක් වරක් අමෙරිකානු ජනාධිපති පුටුවේ ඉඳ ගැනීමට සමත් වූ අතර යළිත් වරක් එම ධූරය දිනා ගැනීමට අවශ්‍ය තුරුම්පු ඔහු සතුව නැතිවා වන්නට බැරිය.

අනික් අතට කොවිඩ් වැනි වසංගත ලෝකයට සාමාන්‍ය දුලබ අත්දැකීම්ද නොවේ. එබැවින් මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය ලොව පුරා පුවත් මවන ඉතා උද්වේගකර සටනක් වනු ඇති බවට සැක නැත. එහි ට්‍රම්ප්ගේ භූමිකාව කෙසේ වනු ඇතිදැයි අනාවැකි කීමට කිසිවකුට හැකියාවක් නොලැබෙනු ඇති බවද පැවසිය යුතුය.

Comments