සුදුසුකම් ලැබීමේ තරග ඔක්තෝබර් 8 දා සිට | සිළුමිණ

සුදුසුකම් ලැබීමේ තරග ඔක්තෝබර් 8 දා සිට

ලෝක කුසලාන පාපන්දු (2022) ආසියානු කලාප දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන ඉතිරි තරග ලබන ඔක්තෝබර් 8 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආසියානු පාපන්දු සමුළුව නිවේදනය කර තිබෙන පරිදි ඔක්තෝබර් 8 වැනිදා උතුරු කොරියාවට එරෙහිව සියැන්ග්ජියෝන්ග් නුවරදී ද ඔක්තෝබර් 13 වැනිදා දකුණු කොරියාවට එරෙහිව කොළඹදී ද හා නොවැම්බර් 12 වැනිදා ලෙබනනයට එරෙහිව ‘බීරුට්’ නුවරදී ද ශ්‍රී ලංකාව එම ඉතිරි තරග සඳහා සහභාගි වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය උද්ගත වීමට පෙර මෙම ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි හා ජුනි යන කාලසීමාව තුළදීය. ශ්‍රී ලංකාව එම තරග වටයේ තමන් සහභාගි වන අවසන් තරගයට ලෙබනනයට එරෙහිව සහභාගිවීමට නියමිතව තිබුණේ 06වැනිදා බීරුට් නුවරදී ය.

ලෝක පාපන්දු සමුළුව නිවේදනය කර තිබෙන පරිදි කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප හා අප්‍රිකානු කලාප දෙවැනි වටයේ ඉතිරි තරග පැවැත්වෙන දිනයන්හි මෙලෙස වෙනසක්වී තිබේ. එහෙත් සෙසු කලාපයන්හි දෙවැනි වටයේ ඉතිරි තරඟ යොදාගත් පරිදි ලබන අගෝස්තු 31 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් ආසියානු කලාප දෙවැනි වටයේ එතෙක් මුහුණදුන් තරග සියල්ල ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙන බැවින් ලෝක කුසලාන 2022 ආසියානු කලාප තෙවැනි වටයට පිවිසීමට ඇත්තේ ඉතාම අල්ප අවස්ථාවකි.

ආසියානු පාපන්දු සමුළුවේ රටවල් 25 ක් කාණ්ඩ පහකින් ලෝක කුසලාන කලාප දෙවැනි වටය සඳහා තරග වදින අතර එහිදී එච් කාණ්ඩයෙන් එහි තරග වදින ශ්‍රී ලංකාව මේ වනවිට කිසිදු ප්‍රසාද ලකුණක් නොලබා අවසන් ස්ථානයේ පසුවේ.

මෙම සියලු ඛාණ්ඩයන්හි වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 12 ක් ආසියානු කලාප තෙවැනි වටයට ප්‍රවේශ වෙයි. ආසියානු කලාප තෙවැනි වටයේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබන රටවල් දෙකක් කෙලින්ම එකී කලාපය නියෝජනය කරමින් 2022 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා කටාර්හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබයි. ලොව පුරා සුදුසුකම් සපිරූ රටවල් 32 ක කණ්ඩායම් ඒ සඳහා එක්වෙයි.

Comments