
ජාතික ක්‍රීඩා උලළේ ප්‍රාදේශිය මට්ටමේ තරගවලින් සියයට පනහක් පමණ පවත්වා ඇති තත්ත්වයක් තුළ, අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරග ඔක්තෝබර් 31වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ලබාදුන් එකගතාවය අනුව මෙම වසරට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උලෙළ යොදාගත් පරිදි පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත්තද, තවමත් සෞඛ්‍යය නිර්දේශ මේ සදහා ලැබි නොමැති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න අප කළ විමසීමේදි පැවසීය. මෙම සාකච්ඡාවට සියලුම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සහභාගිවූ අතර ඔවුන්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ මෙම වසරට නියමිත 46වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල වසර අවසානයට පෙර පවත්වා අවසන් කළ යුතු බවය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය උග්‍රවීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල එළඹෙන සැප්තැම්බර් 4, 5, 6 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එහි මලල ක්‍රීඩා තරගාවලිය කොළඹදී පැවැත්වෙන අතර සෙසු කණ්ඩායම් ක්‍රීඩා ඉසව් ගණනාවක් දිවයිනේ පළාත් කීපයකදී පැවැත්වීමට සැළසුම් කර තිබුණි.
අයි.පී. විජේරත්න වැඩිදුරටත් පැවසුවේ දැන් රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය අනුව ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර නොවැම්බර් හා දෙසැම්බර් අතර කාලසීමාවේ යොදාගත් දිනවලදී පැවැත්මට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින නමුත් මොන දේ වුනත් ඒ සියල්ල සෞඛ්‍ය නිර්දේශවලට පිටින් කිසිම දෙයක් අපට තිරණය කරන්න බෑ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වසර ආරම්භයේදී සකස් කළ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ක්‍රීඩා තරග සැළැස්මද සංශෝධනය කෙරේ.
පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී කළ දැනුවත් කිරීම අනුව ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග බහුතරයක් කොවිඩ්19 වසංගතයට පෙර පවත්වා නිමකර තිබේ. ඉතිරිව තිබෙන අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරග ඔක්තෝබර් 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ හැකි බව අවධාරණය කර ඇත්තේ මේ වනවිට රට තුළ නිර්මාණය වෙමින් පවතින යහපත් වාතාවරණය කෙරෙහි අපේක්ෂා පළකරමිනි.
1972 දී ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා උළෙල , 1977, 1983, 1987 යන වසරවලදී පමණක් රට තුළ උද්ගතවූ යම් යම් අර්බුදකාරි තත්ත්වයක් මැද පවත්වා නැත. ඒ අනුව වසර 33කට පසුව පළමු වතාවට ජාතික මහ ක්‍රීඩා උළෙල නොපැවැත්වීමේ අවදානම මෙකී සාකච්ඡාවෙන් අනතුරුව පහව ගොස් තිබේ.පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා පළාත් යන ක්‍රීඩා උළෙලේ මුල් අදියර තරග සඳහා කෙරෙන ගෙවීම් වැඩිකරන ලෙසයි. ඒ පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානය යොමුකරන බව එහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ඔවුනට පොරොන්දු වී තිබේ.
මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික මහ ක්‍රීඩා උළෙලේ මුල් අදියර ලෙස පැවැත්වෙන අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලි සඳහා රුපියල් ලක්ෂයක් බැගින්ද, දෙවැනි අදියර වන අන්තර් දිස්ත්‍රික් තරගාවලියක් සඳහා රුපියල් ලක්ෂ දෙකක්ද , දෙවැනි අදියර වන අන්තර් පළාත් තරගාවලියක් සඳහා රුපියල් ලක්ෂ තුනක් බැගින්ද ප්‍රදානය කෙරේ.
අවසන් අදියර ලෙස ජාතික මහ ක්‍රීඩා උලළේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ පළාත් තරග ජයග්‍රාහකයන් අතරේය.










