වසංගත බිය අස්සේ රටින් රට ඇසෙන කොවිඩ් විහිළු | සිළුමිණ

වසංගත බිය අස්සේ රටින් රට ඇසෙන කොවිඩ් විහිළු

දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා පසුගිය දිනක උදයේ මහමග ඇවිදිමන් සිටියේ ශරීර සුවතාව වෙනුවෙනි. ඔහු දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඔහු අමතා සෙල්ෆි ඡායාරූපයකට තමන් සමග පෙනී සිටින ලෙස ඉල්ලා සිටියාය.

‘හරි. සමාජ දුරස්ථභාවය කඩ කිරීම වෙනුවෙන් අපව අත්අඩංගුව ගන්න කලින් ඉක්මනට ඡායාරූපය ගනිමු” ජනාධිපතිවරයා පැවසුවේය.

කොවිඩ් වසංගත සමයේ රටන් රට ඇසෙන මෙවැනි හාස්‍යජනක කතා රාශියකි. ඒ අතරින් බහුතරයක ප්‍රධාන චරිත වන්නේ රාජ්‍ය නායකයන්ය. ඇතැම් විහිලු කතාවලට පාදක වී ඇත්තේ කොවිඩ් සමයේ රාජ්‍ය නායකයන්ගේ හැසිරීම්ය. ඔවුන්ගේ කියුම් කෙරුම්ය. ඔවුන්ගේ තීරණය.

පසුගියදා නවසීලන්තය සති දෙකකට වඩා කාලයක් එකද කොවිඩ් රෝගියකු හෝ වාර්තා නොවීමෙන් ‘කොවිඩ් විරහිත රටක්’ ලෙස ප්‍රකාශයට පත් කළේය. මේ බව දැනුම් දීමට පුවත් පත් සාකච්ඡාවක් පැවැත්වීමට එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් කටයුතු කළාය. එහිදී පැමිණ සිටි මාධ්‍යවේදි‍යෙකු අගමැතිනියගෙන් විමසා සිටියේ කොවිඩ් විරහිත රටක් බව සනාථ වූ අවස්තාවේ ඇයට කුමක් සිතුනේද යන්නයි. මදක් කල්පනා කළ අගමැතිනිය ‘මම පොඩි නැටුමක් නැටුවා’ යනුවෙන් හෘදයාංගම පිළිතුරක් දුන්නේ මහා සිනාවක්ද සමගිනි.

මැඩගැස්කරයේ අධ්‍යාපන ඇමතිනියද කොවිඩ් විහිලු අතරට ඉතා හොඳ විහිළුවක් එක් කළාය. ඒ පාසල් ළමුන්ට ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන දෙකක ලොලිපොප් ඇණවුම් කිරීමත් සමගිනි. එසේ ලොලිපොප් ඇණවුම් කර තිබුණේ කොවිඩ්වලින් වැළකීමට එරට ජනතාව පානය කළ තිත්ත රසින් යුතු ආවේණික ඖෂධයක් පානය කිරීම පාසල් සිසුන්ට පහසු කිරීම අරමුණු කර ගනිමිනි. එහිදී ඇය එක් සිසුවකුට ලොලිපොප් තුන බැගින් ලබා දීමට අරමුණු කර සිටියාය.

එහෙත් ලොලිපොප් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වැය වන බව ඇසූ විට මැඩගැස්කර් ජනාධිපතිවරයාද විස්මයට පත් වූ අතර අධ්‍යාපන ඇමතිවරියට ස්වකීය අසුනින් බැස යන්නට සිදුවිය.

බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සෙනාරෝද කොවිඩ් විහිළු අතර නම තැබූවෙකි. ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ ‘කොවිඩ් යනු නිකං පුංචි උණක්’ යනුවෙන් පැවසීමෙනි. මේ වන විට බ්‍රසීලය පත්ව ඇති තත්ත්වය අමුතුවෙන් පැවසිය යුතු නැත. කෙසේ වුවද මේ වන විට බ්‍රසීල ජනාධිපතිවරයාද කොවිඩ් විහිළු සැපයූවන් අතරට එක්ව සිටී.

මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රදෝ ද කොවිඩ් සුළු කොට තැකීම සම්බන්ධව ප්‍රසිද්ධියට පත්ව තිබේ. දකුණු අමෙරිකාවේ කොවිඩ් පැතිර යෑම ආරම්භ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ජනතාවට නිවෙස්වල සිටීමට බලකරනවා වෙනුවට පිටතට පැමිණ ආහාර ගැනීමට සහ වෙනදා මෙන් එකිනෙකා සිප වැළඳ ගැනීමට අනුබල දී තිබේ.

මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටිහි නගරාධිපති ලුයිස් මිගුවෙල් බාර්බෝසා ද ඉතා හොඳ කොවිඩ් විහිළු සැපයූවෙකි. ඔහු පවසා ඇත්තේ කොවිඩ් ආසාදනය වන්නේ ධනවතුන්ට පමණක් බවයි. දුගී ජනතාවට කොවිඩ්වලට ඔරොත්තු දීමේ හැකියාවක් පවතින බැවින් සාමාන්‍ය අන්දමට ජීවිතය ගෙන යා යුතු බවයි.

නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔටේගාද කොවිඩ් විහිළු අතරට එක්වෙමින් තම රට වසා දැමීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු සෞඛ්‍ය සේවකයන්ට ගෙයින් ගෙට ගොස් ජනතාවට අත් සේදීමට බලකරන ලෙස උපදෙස් දී තිබේ. ඔහුගේ බිරිය මෙන්ම නිකරගුවාවේ උප ජනාධිපතිනියද වන රොසාරියෝ මුරිල්ලෝ පවසා ඇත්තේ කොවිඩ් ආසාදනය වීමෙන් වැළකීමට දිනපතා ආගම ඇදහිය යුතු බවයි.

ලෝකයට වැඩිම කොවිඩ් විහිළු සැපයූවන් අතරට එක්වන බෙලරූස් හි ජනාධිපති අලෙක්සන්දර් ලුකෂෙන්කෝ ගැනද සටහන් කළ යුතුමය. ඔහු පවසා සිටියේ කොවිඩ් ආසාදනය වීමෙන් වැළකීමට හොඳින් වොඩ්කා පානය කළ යුතු බවයි. එමෙන්ම කය වෙහෙසා ට්‍රැක්ටර් යොදා වගා බිම්හි වැඩ කළ යුතු බවත්, එසේ වෙහෙස ‍වන පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය නොවන බවත් ජනාධිපති ලුකෂෙන්කෝ වැඩිදුරටත් පවසා තිබේ. එමෙන්ම ඔහු තවත් වරෙක පවසා සිටියේ බෙලරූස් යනු ශීතකරණයක් බවත් ඒ හේතුවෙන් තම රටේ කොවිඩ් පැතිරෙන්නේ නැති බවත්ය.

මේ කොවිඩ් විහිළු සැපයූ ජනාධිපතවරුන් අතරට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඇතුළත් වන බව සඳහන් කළ යුතුය. ඔහු වරක් පවසා සිටියේ විෂබීජ නාශක දිරය පානයෙන් වයිරසය ආසාදනය වීමෙන් ආරක්ෂා විය හැකි බවයි. කෙසේ වුවද මේ රාජ්‍ය නායකයන්ගෙ රටවල කොවඩ් ආසාදිතයන්ගේ සහ මරණවලට අදාළ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම ඉඩකඩ නාස්ති කිරීමකි. එයට හේතුව තමන් සුළු කොට තැකීමේ ආදීනව මේ වන විට වයිරසය විසින් මනා කොට ඔප්පු කර ඇති බැවිනි.

Comments