
කොවිඩ් වසංගතයෙන් ලෝකය යම් පමණකට ගැලවෙමින් තිබේ යැයි බොහෝ දෙනා සිතුවද සැබවින්ම එය එසේ නැත. මේ වන විටත් ලෝකයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර මරණ සංඛ්‍යාවද එලෙසින්ම වැඩි වෙමින් තිබේ.
එහෙත් බොහෝ රටවල් තමතමන්ගේ ලොක්ඩවුන් නීති ලිහිල් කරමින් සිටින්නේ වසංගතයට පසුව ඇතිවෙමින් පවතින ආර්ථික පරිහානියට කෙසේ හෝ මුහුණ දී ජයගන්නා අදහසිනි. එහෙත් සැබවින්ම සැබැම ව්‍යසනය කොවිඩ් වසංගතය නොව ආර්ථික අර්බූදය බවට සාක්ෂි සපයමින් මේ වන විට ලොව පුරා ව්‍යපාර මිලියන ගණනින් වැසී යමින් පවතී.
ඒ සඳහා ආසන්නතම උදාහරණයලෙස ඉන්දියාවේ අති ප්‍රසිද්ධ ෆුල් සර්කල් පොත් ව්‍යපාරයේ ඉන්දීය ශාඛාව සම්පූර්ණයෙන් වසා දැමීම දැක්විය හැකිය. එය ආසියාවේ පොත් ලෝලීන්ගේ හද දවන පුවතක් වුවද ඉන්දියාවේ ඛාන් මාර්කට්හි ෆුල් සර්කල් නියෝජිතායතනය තීරණය කර ඇත්තේ තවදුරටත් මේ පොත් සාප්පුව පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවන බවයි. ඒ අනුව ග්‍රන්ථ පුරාණයේ තවත් එක් පුරාවෘතයක් නිමාවීමට නියමිතය.
පසුගිය මාර්තු මාසයේදී කොවිඩ් පැතිර යෑම හේතුවෙන් යුරෝපා රටවල කඩසාප්පු පැය කිහිපයක් ඇතුළත වසා දැමීමට සිදුවූයේ කිසිදු පෙර සූදානමකින් තොරවය. බොහෝ රටවල ප්‍රකෝටිපතියන්ට පමණක් වෙන් වුණු සාප්පුවල ඉතා ඉහළ මිල ගණන් නියම කර තිබූ බඩු භාණ්ඩ කිසිදු ආවරණයක් හෝ යළි ඇසුරුම්ගත කිරීමෙන් තොරව එසේම තිබියදී සාප්පු වසා දැමීමට සිදුවූ අතර මාස දෙකකට පසු එම සාප්පු යළිත් විවෘත කිරීමේදී දක්නට ලබුණේ එම භාණ්ඩ අතරින් බහුතරය යළි භාවිතයට ගත නොහැකි සේ විනාශ වී ගොස් ඇති බවයි. උදාහරණ ලෙස ඉතා ඉහළ මිල ගණන්වලට නියම වී තිබුණු, ප්‍රධාන පෙළෙ සන්නාම යටතේ අලෙවිය පිණිස තබා තිබූ සම් භාණ්ඩ දැක්විය හැකිය. එම සම් භාණ්ඩවල පුස් බැඳීගොස් තිබුණේ යළිත් නියම කළ මිලට කිසිසේත් අලෙවි කළ නොහැකි පරිද්දෙනි.
අමෙරිකාමේ මේ වන විට සුළු පරිමාණ ව්‍යාපාර මිලියන ගණනක් වසා දමා ඇති අතර, දැනට ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම අවිනිශ්චිත බව ප්‍රකාශ කළ සමාගම් සංඛ්‍යාවද රාශියකි. ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගම පසුගිය මාර්තු 14 වැනිදා ලොව පුරා ව්‍යප්ත වී ඇති ස්වකීය සියලු ශාඛා සමග කැලිෆෝර්නියාවේ මව් ශාඛාවද වසා දැමීමට කටයුතු යෙදීය. එම ශාඛා කිසිවක් මේ දක්වා ආරම්භ කර නැත. මේ අතරින් ඇතැම් රටවල ශාඛාවන් අප්‍රේල් සහ මැයි මාසවල යළි විවෘත කරන බවට දින නියම කළද ඒ සියල්ල කල් දමා තිබේ.
අමෙරිකාවේ පමණක් නොව ලෝකය පුරා ශාඛා සහිත බ්‍රාන්ස් සහ නොබෙල් සමාගම මාර්තු මාසයේදී ලොව පුරා සියලු ශාඛා වසා දැමූ අතර මේ දක්වා විවෘත කර නොමැත.
ලොව පුරා ගුවන් ගමන් බිඳ වැටීමත් සමග රටරටවල ගුවන් යානා රාශියක් බිම්ගත කිරීමට කටයුතු යෙදීය. ඒ හේතුවෙන් ගුවන් යානාවලට ඇති ඉල්ලුමද බිඳ වැටිණි. මේ හේතුව මත බෝයිං සමාගම තම නිෂ්පාදන කටයුතු සියල්ල නවතා දමමින් සේවකයන්ගේ ආරක්ෂාව තකා සේවා ස්ථාන සහ නිෂ්පාදන ස්ථාන වසා දැමීමට කටයුතු යෙදීය. පසුගිය මාර්තු 23වැනිදා සමාගමේ කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර පසුගිය අප්‍රේල් 5වැනිදා බෝයිං සමාගම දන්වා සිටියේ නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව කල් දමන බවයි.
අමෙරිකාවේ බිඳ වැටුණු වෙළෙඳපොළ අතර විනෝදාස්වාද සම්පාදන කර්මාන්තය ඉදිරියෙන්ම සිටී. අමෙරිකාවේ කැලිෆෝර්නියාහි ඩිස්නිලන්තය යනු මේ විනෝදාස්වාද සම්පාදන කර්මාන්තයේ මුදුන් මුලකි. ලොව පුරා ජනතාවගේ, විශේෂයෙන්ම කුඩා දරුවන්ගෙ සිහිනයක් වන්නේ කැලිෆෝර්නියාවේ ඩිස්නිලන්තය නැරඹීමයි. එහෙත් කොවිඩ් පැතිර යෑම ආරම්භ වූ පසුව පසුගිය මාර්තු 12වැනිදා ඩිස්නිලන්තය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ. එපමණක්ද නොව පැරිස් නගරයද ඇතුළුව ලොව පුරා ඩිස්නිලන්ත ශාඛාවන්ද මේ වනතෙක්ම වසා දමා තිබේ. කැලිෆෝර්නියාවේ ඩිස්නිලන්තයේ වසර 65ක ඉතිහාසයේ එය මෙලෙස වසා දමා ඇත්තේ අවස්ථාවන් තුනකදී පමණි. එනම් ජෝන් එෆ්.කෙනඩි ඝාතනයේදී, 1994 වසරේ කැලිෆෝර්නියාවට බලපෑ දැවැන්ත භූමි කම්පාවේදී සහ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී පමණය. එහෙත් ඒ කිසිදු අවස්ථාවක මෙතරම් කාලයක් ඩිස්නිලන්තය වසා දමා තිබුණේ නැත.
අමෙරිකාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ අතර ලොව පුරා උසස් ඉල්ලුමක් සහිත මිල අධික මෝටර් රථ විශේෂයක් ලෙස ෆියට් ක්‍රයිස්ලර් රථ ප්‍රසිද්ධියක් උසුලයි. කොවිඩ් වයිරසය අමෙරිකාව පුරා පැතිර යෑමත් සමග ක්‍රයිස්ලර් සමාගම ස්වකීය නිෂ්පාදන කටයුතු නවතා දමමින් මාර්තු 18වැනි දින සිට සියලුම ශාඛාද වසා දැමීමට කටයුතු යෙදීය. මේ දක්වා සමාගමේ කටයුතු යළි ආරම්භ කර නොමැති අතර වයිරසයට ගොදුරු වීමෙන් සමාගමේ සේවකයන් දෙදෙනෙකුද මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. එසේම ෆෝඩ් මෝටර් රථ නිෂ්පාදන සමාගමද මාර්තු මස 18 වැනිදා වසා දැමුණු අතර මේ දක්වා විවෘත කර නොමැත.
හොලිවුඩ් පමණක් නොව ලෝකයේ සිනමා දැවැන්තයන්ට පහසුකම් සපයන ප්‍රධාන සමාගමක් ලෙස යුනිවර්සල් සමාගම දැක්විය හැකිය. මේ සමාගමේ යුනිවර්සල් චිත්‍රාගාරය යනු ඉතා කාර්ය බහුල ස්ථානයකි. නරඹන්නන් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන්ද පිරී යන මේ චිත්‍රාගාරය මේ වන විට පවතින්නේ දැඩි පාලු ස්වභාවයකිනි. එයට හේතුව කොවිඩ් වයිරසය මිනිස් ජීවිතවලට ඇති කළ බලපෑමයි. පසුගිය මාර්තු 14වැනි දින වසා දැමුණු යුනිවර්සල් චිත්‍රාගාරය මේ දක්වා විවෘත කර නැත. එපමණක්ද නොව හොලිවුඩ් ඇතුළු සිනමා කර්මාන්තයද මේ දක්වා යළි හුස්ම ගැනීම අරඹා නැත. ලොව පුරා සිනමාහල් විවෘත කිරීමට අවසර ලැබී නැති අතර සිනමාපට නිෂ්පාදනයද තාවකාලිකව නවතා දමා තිබේ.
මීට අමතරව ලොව පුරා වසා දමා ඇති අවන්හල් සහ සුපිරි වෙළෙඳසැල් ප්‍රමාණය ඉතා විශාලය. මේ අතරින් බහුතරය නමින් ඉතා ප්‍රසිද්ධ සමාගම්ය. එහෙත් ස්වකීය සේවකයන්ගෙ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තකා එම සමාගම් මේ දක්වා කටයුතු අරඹා නැත. කටයුතු ඇරඹීමෙන් පසුව වුවද බොහෝ සේවකයන් රැකියාවලින් ඉවත් කිරීමට එම සමාගම්වලට සිදුවනු ඇත.
කොවිඩ් වසංගතයට තම නිවෙස්වලට වැදී සැඟවී දිවි බේරා ගත් මිනිසුන් මීළඟට මුහුණ දෙනු ඇත්තේ දැවැන්ත ආර්ථික අර්බූදයටය. නිවෙස්වලට වැදී සැඟවී එම අර්බූදයෙන් බේරීමට මිනිසාට හැකියාවක් නොලැබෙනු ඇත. වයිරසය සමග දිවි ගෙවමින් තම සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීමට මුදල් ඉපයීම ලොව පුරා බොහෝ මිනිසුන්ට ඉදිරියේදී අරගලයක්ම වනු ඇත.