කොවිඩ් - අමෙරිකා සටනින් අමෙරිකාව පරාදයි | සිළුමිණ

කොවිඩ් - අමෙරිකා සටනින් අමෙරිකාව පරාදයි

පසුගිය මාර්තු මාසයේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විණි. ඒ අමෙරිකාව සැමදා බලා සිටි ත්‍රස්තවාදියකුගෙන් හෝ පිටසක්වලින් හෝ නොවේ. හුදෙක් මිනිස් ඇසට හෝ නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියකුගෙනි. අමෙරිකාව මේ ප්‍රහාරය එල්ල වීමේ සම්භාවිතාවක් තිබෙන බව මාසයකට පමණ පෙර දැන සිටියද, එය කිසිසේත් බැරෑරුම් ලෙස නොතැකීය. අවසන වයිරසය පහර එල්ල කිරීම අරඹන විට අමෙරිකාව කිසි ලෙසකින් හෝ එයට මුහුණ දීමට සූදානමින් නොසිටියේය. ඔවුන්ට සිදුවූයේ දිනෙන් දින ඉහළ යන තම මරණ ප්‍රතිශතය අවම කර ගැනීමට හැකි උපරිම උත්සාහ යෙදීමට පමණි.

මීට පෙර, පසුගිය මාර්තු මාසයේදී වයිරසය අමෙරිකාවට පහර දීම ඇරඹූ අවස්ථාවේදී “සක්වල ගල” ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු ඔබවෙත ගෙන එමින් අප විමසා සිටියේ අමෙරිකා භූමියේ මුහුණට මුහුණ ගැටෙන කොව්ඩ් - අමෙරිකා සටනේ ජය කාට හිමිවනු ඇතිද යන්නයි? මේ වන විට ඉන් මාස තුනක් ගත වූ තැන අපට ලියා තබන්නට සිදු වී ඇත්තේ එම සටනේ ජයග්‍රාහකා වයිරසය බවයි.

තවමත් මුළු ලොවම පුදුමයට පත්වන කරුණ වන්නේ මෙතරම් දියුණු තාක්ෂණයක් සහිත අමෙරිකාවට තම භූමියේ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව නොලැබුණේ මන්ද යන්නයි. මේ ලියන මොහොත වන විට අමෙරිකාවෙන් පමණක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ති‍‍බේ. මරණ සංඛ්‍යාව 1,13,076කි. පුවත්පත මුද්‍රණයෙන් ඔබ අතට පත් වන විට අනිවාර්යෙන් මෙය තව දහස් ගණනකින් ඉහළ ගොස් තිබෙණු ඇත.

මේ වන විට නිව්යෝර්ක නගරයෙන් වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පැවතියද ඊට සාපේක්ෂව අමෙරිකාවේ සෙසු ප්‍රාන්තවලින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ.

කෙසේ වුවද මේ බිලිදුන් ලක්ෂ ගණනක් මිනිස් ජීවිත හමුවේ ලෝක නායකයන් ඉගෙන ගත් එක් ප්‍රධාන පාඩමක් තිබේ. එනම් කොවිඩ් - 19 රෝගයට හේතුවන නව කොරෝනා වයිරසය කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතු බවයි. මේ වන විට ලෝකයේ සෑම රටකම පාහේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදු වනු මිස අඩුවනු දක්නට නොලැබේ.

එහෙත් පොදුවේ ලෝකයේ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට නොලැබුණද රටින් රට වේගයෙන් වැඩිවන ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු නොවන බව නිශ්චය කළ හැකිය. මෙසේ වීමට හේතුව වයිසරයේ සැර බාල වීමක් බව විද්‍යාඥයන්ගේ අදහස වුවද ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ මරණ සංඛ්‍යාව අවම වීම වයිසරයේ ව්‍යප්තිය වර්ධනයට හේතු වන බවයි.

වයිරසය යනු ජීවියෙකි. ඔහු තම නව නිවහන කර ගන්නා මිනිස් සිරුර වයිරසයේ ආසාදනය හේතුවෙන් අක්‍රිය වන්නේ නම් එම සිරුරට අසාදනය වන වයිරස ජීවියාට තවදුරටත් පැතිරීමේ හැකියාව අවම වේ. ඒ වෙනුවට ආසාදනය වන මිනිසා ජීවත්ව සිටියද වයිරසයට තවතවත් වර්ධනය විය හැකිය. පැතිරිය හැකිය. එබැවින් වයිරසය මේ අවධිය වන විට පැතිරීම වැඩිවීමටත්, මරණ අඩු වීමටත් හැකි වන ලෙස පරිණාමය වී ඇතිද යන්න අනුමාන කළ හැකි බවට මත පළ වී තිබේ.

කෙසේ වුවද එක් දෙයක් පැහැදිලිය එනම් කොවිඩ් - 19 වයිරසයෙන් තවදුරටත් මිනිසාට කිසිදු සමාවක්නැති බවයි. වයිරසයට මුලින්ම මුහුණ දුන් චීනයද මේ වන විට වරින් වර රෝගීන් වාර්තා කරමින් සිටී. පසුගිය සඳුදා එනම් ජූනි 8වැනිදා එරටින් නව ආසාදිතයන් පස් දෙනකු වාර්තා වූ අතර චීන බලධාරීන් පවසා සිටින්නේ දැනට වාර්තා වන ආසාදිතයන් අතරින් බහුතරය විදේශයන්හි සිට චීනයට පැමිණෙන පිරිස අතරින් වාර්තා වන බවයි. කෙසේ වුවද පසුගිය මාස දෙකක කාලයේදී චීනයේ මිලියන ගණන් ජනතාව වෙසෙන නගර කිහිපයක්ම වරින් වර වසා දැමීමට චීන බලධාරීහු කටයුතු කළහ. චීනයේ ආසාදිතයන් සංඛ්‍යාව 83,000කට අධික ලෙස සහ මරණ සංඛ්‍යාව 4,634ක් ලෙස වාර්තා වුවද චීනයේ වාර්තා එලෙසින්ම පිළිගත නොහැකි බව පෙර අත්දැකීම් සහිත බටහිර මාධ්‍යවල අදහස වී තිබේ. මේ අතර ලෝක කොවිඩ් සටහනේ දෙවැනි තැන දිනාගෙන සිටින බ්‍රසීලය දෛනිකව කොවිඩ් ආසාදිතයන් වාර්තා කිරීම නවතා දැමීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය බ්‍රසීලයේ මේ නව වැඩපිළිවෙළ හඳුන්වා ඇත්තේ එරට ජනාධිපති ජාර් බොල්සෙනාරෝගේ තවත් පැළැස්තර දැමීමක් ලෙසිනි. මේ වන විට ලක්ෂ 7 ඉක්මවා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව අවම කර පෙන්වීමට පහසුම ක්‍රියාමාර්ගය වන්නේ ආසාදිතයන් වාර්තා නොකර සීටීම බව මාධ්‍ය වාර්තා විවේචන ලෙස සඳහන් කර තිබේ. ඒ අනුව මෙතැන් සිට ඉදිරියට බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන් සම්බන්ධව නිශ්චිත තොරතුරු බලාපොරොත්තු විය නොහැකි වනු ඇත.

බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව මේ වන විට 37,000 ඉක්මවා වාර්තා වුවද ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවා වාර්තා කර සිටින රුසියාවේ මරණ සංඛ්‍යාව 6,000කට මදක් අධිකය. ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශයද මෙලෙස අධික ආසාදිතයන් සහ අවම මරණ වාර්තා කර සිටී.

ඉන්දියාව මේ වන විට ලෝක කොවිඩ් සටහනේ හය වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටින්නේ ආසාදිතයන් ලක්ෂ දෙකකට වඩා වාර්තා කරමිනි. පකිස්තානය මේ වන විට රැඳී ඉන්නේ ලෝක කොවිඩ් සටහනේ පහළොස්වැනි ස්ථානයේ වන අතර බංග්ලාදේශය විසි වැනි තැන රැඳී සිටියි. විශේෂයෙන්ම බංග්ලාදේශය මේ වන විට තවදුරටත් නිශ්චිත තොරතුරු ලබා දෙන්නේද යන්න සැක සහිත වේ. කෙසේ වුවද දකුණු ආසියාවේ මේ රටවල් තුන වේගයෙන් යුරෝපා රටවල් හා සම වීමට ඉදිරියට එමින් සිටී.

දකුණු ආසියානු රටවල් සමග කරට කර සිටිමින් මැද පෙරදිග රටවල්ද විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා කරමින් සිටී. සෞදි අරාබියෙන් මේ වන විට ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වී තිබේ. කටාරයද ඒ ආසන්නයේ සිටී. දකුණු ඇමරිකාව, දකුණු ආසියාව සහ මැද පෙරදිග කලාපය මේ වන විට කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රධාන භූ කලාප තුන ලෙස ක්‍රියාත්මක වේ.

මේ අතර ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය තවදුරටත් කොවිඩ් ආසාදිතයන් වාර්තා කරමින් සිටින අතර බ්‍රිතාන්‍යය යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ වාර්තා කරමින් සිටී. කෙසේවුවද විචාරකයන් පවසා ඇත්තේ මාස දෙකකට ආසන්න කාලයක් යුරෝපය වසා දැමීමෙන් මිනිස් ජීවිත මිලියනයක් පමණ බේරා ගැනීමට හැකි වූ බවයි. මෙහිලා පැවසියු යුතු තවත් කරුණක් වන්නේ වයිරසය පිළිබඳ නිශ්චිත තක්සේරුවකට එළඹ නියමිත අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ නම් වයිරසයට බිලිදුන් මේ මිනිස් ජීවිත ලක්ෂ හතරෙන් ලක්ෂ තුනක්වත් බේරා ගැනීමට අවස්තාව තිබුණු බවයි. කෙසේ වුවද වයිරසය පිළිබඳ තවදුරටත් සරලව නොසිතමින්, ආර්ථිකය බේරා ගැනීමට කටයුතු කරන අතරම වයිරසයෙන් ආරක්ෂා වීමටද කටයුතු කිරීමට මිනිස් වර්ගයා වග බලා ගත යුතුය. නැතහොත් කොවිඩ් තවත් වටයකින් තම බලපරාක්‍රමය පෙන්වනු නොඅනුමානය.

Comments