භූමිකම්පාවක් මැද්දේ නවසීලන්ත අගමැතිනිය සජීවි සාකච්ඡාවක | සිළුමිණ

භූමිකම්පාවක් මැද්දේ නවසීලන්ත අගමැතිනිය සජීවි සාකච්ඡාවක

පසුගිය සඳුදා උදෑසන නවසීලන්ත අගමැතිනිය පෙර යොදා ගත් මාධ්‍ය හමුවක් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ අතර මාධ්‍ය හමුව පැවතුනේ වෙලින්ටන් නුවර රාජ්‍ය ගොඩනැගිල්ල වන ‘බී හයිවි’ හෙවත් මී වදය නම් ගොඩනැගිල්ලේය. අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මාධ්‍ය හමුව සඳහා නියමිත වේලාවට එහි පැමිණියාය. යොදා ගත් පරිදිම මාධ්‍ය හමුව ආරම්භ වූ අතර අගමැතිනිය සජීවීව කැමරා ඉදිරියේ සිට ජනතාව අමතමින් සිටියාය.

එක්වරම අවට සියල්ල සෙලවීමට විය. මොහොතක් ගත වූ පසු පැමිණ සිටි සියලු දෙනාටම වැටහී ගියේ තමන් භූමි කම්පාවකට මුහුණ දෙමින් සිටින බවයි. අගමැතිනිය ඒ වන විටත් සජීවීව මාධ්‍ය හමුවට මුහුණ දෙමින් සිටියාය. තමා අවට සියල්ල සෙලවෙමින් පැවතියද ඇය ඒ අවස්ථාවේදී කිසිදු කළබලයක් නොදක්වා සාමාන්‍ය ලෙස සිනාසෙමින් සිටියාය. තවදුරටත් භූමි කම්පාව පවතිද්දී ඇය සිනාසෙමින් ‘ අප භූමිකම්පාවකට මුහුණ දෙමින් සිටිනවා. මා අවට සියල්ල සෙලවීමට ලක් වෙනවා ඔබට දැක ගත හැකියි’ යනුවෙන් පැවසුවාය.

පසුව වාර්තා වූ අන්දමට නවසීලන්තයේ උතුරු දූපතේ පෙවින් නගරයේ සිට කිලෝමීටර් 30ක් වයඹ දිගින් මේ භූමිකම්පාවේ මධ්‍ය කේන්ද්‍රය පිහිටා තිබිණි. රික්ටර් මාපක 5.9ක් ලෙස සඳහන් වූ මධ්‍ය ප්‍රබලත්වයකින් යුක්ත වූ භූමි කම්පාවක් ලෙස මෙය පසුව හඳුනාගනු ලැබ තිබිණි. කෙසේ වුවද මෙවැනි භූමි කම්පාවක් අධික ජනගහණයකින් යුක්ත ප්‍රදේශයකින් වාර්තා වූයේ නම් ප්‍රබල හානි සිදුකරීමට ප්‍රමාණවත්ය බවද සඳහන් කළ යුතුය.

කෙසේ වුවද නවසීලන්තය මුහුණ දුන් මේ භූමි කම්පාවෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා නොවීය. එරට භූමි ප්‍රමාණය විශාල වුවද ඉතා අඩු ජනඝනත්වයක් පැවතීම මේ සඳහා ප්‍රබල හේතුවක් විය හැකිය.

මේ භූමි කම්පාව ලොව පුරා ජනතාවගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ එහි ප්‍රබලත්වය නොව එයට මුහුණ දෙමින් සිටි නවසීලන්ත අගමැතිනියගේ සැහැල්ලු හැසිරීම හේතුවෙනි. රාජ්‍ය ගොඩනැගිල්ලට රැස්ව සිටි විශාල ජනතාවක් ඉදිරියේ ඇය භූමිකම්පාව සිදුවන අවස්ථාවේදීද කිසිදු කලබලයක් නොදක්වා ඉතා සැහැල්ලුවෙන් සිනාවෙමින් සිටීමට සමත්ව තිබේ. කලබල වීම වෙනුවට ඇය තමා මුහුණ දෙමින් සිටින අත්දැකීම සම්බන්ධව සරලව අදහස් දැක්වීමක් කර තිබේ. එසේ කිරීම සදහා ඇය ඒ වන විට ඇයගෙන් අදහස් විමසමින් සිටි මාධ්‍යවේදී රයන් බ්‍රිජ්ගේ කතාව මදකට නැවැත්වීමටද කටයුතු කර තිබේ.

භුමිකම්පාව සිදුවන අවස්ථාවේදී ‘ අද වෙනදාට වඩා මී වදය (ගොඩනැගිල්ල) සෙලවීමට ලක්වෙමින් තිබෙනවා.’ යනුවෙන් උත්ප්‍රාසාත්මක ලෙස පැවසූ ඇය ‘මගේ හිසට ඉහළින් කිසිදු විදුලි බුබුලක් නැහැ. ඒ හේතුවෙන් මම ආරක්ෂිත ස්ථානයක සිටින බව හැ‍‍ගෙනවා. ‘යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ.

ඉතා අඩු වයසින් නවසීලන්තයේ අගමැති ධූරයට පත් වූ ජසින්ඩා ආර්ඩන් ලොව පුරා ජනතාවගේ ආදරය දිනා ගැනීමට සමත් වී සිටින්නීය. ඒ සඳහා ඇය රාජ්‍ය පාලනයේදී ගනු ලැබූ ශක්තිමත් තීරණ පමණක් නොව ඇයගේ ප්‍රසන්න හැසිරීම් රටාවද බෙහෙවින් බලපා ඇති බව විචාරකයන්ගේ මතයයි.

කෙසේ වුවද 2011 වසරේදී ක්‍රයිස්ට්චර්ච් නුවරට බලපෑ භූමිකම්පාවකින් නවසීලන්ත වැසියන් 185 දෙනකු මියගොස් තිබේ. ලෝකයේ භූමිකම්පා බහුලම ප්‍රදේශයක නවසීලන්තය පිහි‍ටා ඇති අතර එරට වඩා සක්‍රිය ගිනිකඳු වළල්ලක් පිහිටා තිබීම මෙයට හේතුවයි. මේ ගිනිකඳු වළල්ල ගිනි වළල්ල හෙවත් Ring OF Fire යනුවෙන් හැඳින්වේ.

Comments