ලෝකයට පුවත් මවන අමුතු රට | සිළුමිණ

ලෝකයට පුවත් මවන අමුතු රට

කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යද්දී ලොව රටවල් අති බහුතරය තම සාමාන්‍ය එදිනෙදා ක්‍රියාදාමයන් අත්හැර ආරක්ෂක ක්‍රියාමාර්ග වෙත යොමු වන විට ලෝකයේ අති ප්‍රසිද්ධ, ප්‍රධාන පෙළේ එකම රටක් පමණක් වයිරසය තුට්ටුවකට මායිම් නොකරමින් සාමාන්‍ය ජීවන රටාව පවත්වා ගැනීමට සමත් විය. ඒ පුදුම රට උතුරු කොරියාවයි.

උතුරු කොරියාවෙන් ලැබෙන වාර්තා අනුව ජනගහනය මිලියන 25 ඉක්මවා ඇති පැවතියද මේ දක්වා එරටින් එකම කොවිඩ් රෝගියකු හෝ වාර්තා වී නැත. එසේ වීමට ප්‍රධන හේතුව එරට ආගමන විගමන ප්‍රතිපත්ති බව අමුතුවෙන් කිය යුතු නැත. එසේ වුවද උතුරු කොරියාව යනු සමස්ත ලෝකයටම බලපෑම් කළ හැකි අන්දමේ ප්‍රමුඛ පෙලේ රටක් බව සඳහන් කළ යුතුමය. උතුරු කොරියාව න්‍යෂ්ටික ශක්තිය සහිත රටකි. පෘථිවියේ ඕනෑම තැනකට ඕනෑම මොහොතක එල්ල කළ හැකි මිසයිල ඔවුන් සතුය. ඔවුන්ගේ ආර්ථිකයද විශේෂ සංවෘත ආර්ථිකයකි. එසේ වුවද උතුරු කොරියාව අන්තර්ජාතික සබඳතා පවත්වන්නේ ඔවුන්ටම අනන්‍ය වූ සුවිශේෂ රටාවකටය. සැබවින්ම උතුරු කොරියාවේ ආර්ථික, සමාජයීය රටාවන් පුදුම උපදවන සුළුය.

එරට රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපතිවරයා කිම් ජොන්ග් අන් ය. ඔහු පැවත එන්නේ උතුරු කොරියාව අද පවත්නා සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරීමේ පෙරගමන්කරුවන් වූ ‘කිම්’ පරපුරෙනි. ජනාධිපතිවරයා ලෙස පහසුව තකා හැඳින්වූවද ඔහු එරට අධ්‍යාත්මික නායකයාය. නැතහොත් ජනරජයේ මාර්ෂල්වරයාය. ඔහු එම ධූරයට පත් කරණු ලැබුවේ ඔහුගේ පියා වූ කිම් පරපුරේ කිර්තිධර ‘කිම් ජොන්ග් ඉල්’ විසිනි. පියාගේ අභාවය ආසන්නවත්ම ඔහු තම අනුප්‍රාප්තිකයා ලෙස තම දෙවැනි පුත්‍රයා නම් කර සිටියේය. ඒ තම වැඩිමහලු පුත්‍රයා නොසලකා හරිමිනි. කිසියම් හේතුවක් නිසා පියා තම වැඩිමහල් පුත්‍රයා රාජ්‍යයේ ආරක්ෂකයා ලෙස පත්කිරීමට අකමැති වූ අතර දෙවැනි පුත්‍රයා වඩාත්ම සුදුස්සා ලෙස හඳුනාගෙන තිබිණි. තම පියාගේ තේරීම ඉතා නිවැරැදි බව ලොවට පෙන්වා දීමට මේ තරුණයා සමත් වූයේ රටේ නායකත්වයට පත් වන විට විසි නව හැවිරිදි වුවද ලෝකය හොල්ලන නායකත්වයක් උතුරු කොරියාවට ලබා දීමෙනි. අමතරව බටහිර පන්නයට අඳින පළඳින සුරූපි තරුණ බිරියක්ද ඔහු සතු බවද සඳහන් කළ යුතුමය.

උතුරු කොරියාව සමාජවාදී රාමුවක් තුළ ඉතා සාර්ථකව ගමන් ගන්නා දැනට ලෝකයේ පවතින එකම රට ලෙස එක් අතකින් අර්ථ ගන්වාගත හැකිය. ඒ මන්දයත් සමාජවාදී රාමුව තුළ පිහිටා සිටියද චීනය සහ රුසියාව ක්‍රියාවෙන් සැබෑ ධනවාදීන් ඉක්මවා යන තරමට ධනවාදීව සිටින බැවිනි. එහෙත් උතුරු කොරියාව අතීතයේදී චීනයෙන් සහ රුසියාවෙන් උගත් පාඩම් අනුව සකසා ගත් පරිපාලන රාමුව දිගටම පවත්වාගෙන යන්නේ තම ජනතාවගේද කැමැත්ත සහිතවය. එසේ කිරීමේදී එම පාලන ක්‍රමවේදයට විරුද්ධවන ජනතාව ඉවත් කර දැමීමටද පාලකයන් පසුබට නොවන බවද සඳහන් කළ යුතුමය. උතුරු කොරියාවේ වර්තමාන නායක කිම් ජොන්ග් අන් පාලනය බාරගත් අවධියේ ඔහුගේ බිරියගේ පියා සහ තමන්ට පාලනයේදී අනුශාසනා දුන් තමන්ගෙ මාමා ද ජීවිතක්ෂයට පත් කිරීමට කටයුතු කළ බව ලොවට රහසක් නොවීය. පසුකාලීනව ඔහු‍ සම්බන්ධ තොරතුරු ලොවට හෙළිදරව් කළ ඔහුගේ ඥාති සහෝදරයා විදේශයකදී ඝාතනය කිරීමට ඔත්තු සේවා මෙහෙයවීමට තරම් බලයක් මේ තරුණයා සතු විය. එතරම්ම ශක්තියක්ද උතුරු කොරියාව සතු වන බවද අමතක කළ යුතු නැත.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි අලුත මේ තරුණයා සමග වාග්ප්‍රහාර එල්ල කර ගත්තේය. දිගින් දිගටම මිසයිල අත්හදා බලන, අවි බලයෙන් ශක්ති සම්පන්න මේ තරුණයාට ‘රොකට් මිනිහා’ යැයි නමක් පට බැඳීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. එයට ප්‍රති උත්තර දුන් කිම් ජොන්ග් අන් ට්‍රම්ප්ට ‘මහලු මිනිසා’ යැයි ආමන්ත්‍රණය කළේය. පසුව මේ දෙදෙනා ලොවම පුදුමයට පත් කරමින් සාම ක්‍රියාදාමයකට නැඹුරු වූ අතර සිංගප්පූරුවේදී සාම සාකච්ඡා පැවැත්වීම සඳහා උතු‍රු කොරියානු නායකයා රටින් බැහැරටද පැමිණියේය. එහෙත් ඊට පෙර රුසියාවෙන් උපදෙස් ලබා ගත් ඔහු ඉතා කලාතුරකින් රටින් බැහැරට කෙරෙන සංචාරයකට එක්වෙමින් චීන ජනාධිපතිවරයා හමුවීමටද ගියේය. මෙලෙස තම සමීපතමයන්ගෙන් ලද උපදෙස් අනුව ට්‍රම්ප් සමග සාකච්ඡා කළද කිසිදු ප්‍රගතියකින් තොරව සාකච්ඡා වාර දෙකක් අවසන් වූයේ යලි සාකච්ඡා වාරයක් සඳහා දිනයක් හෝ ලබා නොගනිමිනි.

කොවිඩ් ලෝකය ආක්‍රමණය කරන තුරු විදෙස් මාධ්‍යයන්හි මෙලෙස අඛණ්ඩව පුවත් මැවීමට මේ ස්ථුල සිරුරැති තරුණයාට හැකි විය. එපමණකින් නොනැවතුණු ඔහු කොවිඩ් වසංගතය අස්සේද ලෝකයේ ජනමාධ්‍යවල වැඩි ඉඩක් වෙන් කර ගත්තේ ටික දවසකට අදෘශ්‍යමාන වෙමිනි. බොහෝ දෙනා සැකකළෙ ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. නැතහොත් වෙනත් කිසියම් හේතුවකින් ඔහු මියගිය බවයි. ඒ සමගම ඔහුගේ සොහොයුරිය වන කිම් ජෝ යොන්ග් මීළඟ උතුරු කොරියානු නායිකාව වනු ඇතැයි යන්න දක්වා අනාවැකි කියන්නටද විදෙස් ජනමාධ්‍ය ඉක්මන් විය.

එහෙත් එම අනුමාන සියල්ලම බොරු කරමින් කිම් ජොන්ග් අන් යළිත් කරළියට පැමිණි අතර මෙවර විදෙස් මාධ්‍ය පවසා සිටියේ ඔහු කොවිඩ් ආසාදනය වනු ඇතැයි බියට පත්ව එරට පොදු උත්සව මගහැරි බවයි. මෙවැනි වාර්තා සම්බන්ධව උතුරු කොරියාවේ ප්‍රතිචාර දැනගැනීමට‍ හැකියාවක් නැත්තේ එරට පවතින විශේෂ ආර්ථික රටාව හේතුවෙනි.

එරට ජනමාධ්‍ය යනු රජයෙන් නිකුත් කරන වාර්තා ජනතාව හමුවට ගෙන ඒමය. එරට ජනතාවට තම හිසකෙස් සැකසිය හැකි මෝස්තර කිහිපයක් රජයෙන් ජනතාව වෙත නිකුත් කර ඇති අතර ජනතාව ඒ අතරින් එකක් තෝරා ගත යුතුය. මෙවැනි රස කතා බොහොමයක් උතුරු කොරියාව සතුය.

උතුරු කොරියානු ජනතාව තම රටතුළ බොහෝ දේ නිපදවා ගැනීමට පුරුදු පුහුණු වී සිටින අතර චීනය මෙන්ම ඉන්දියාවද එරටට ඇවැසි තවත් අමතර බොහෝ දේ අපනයනය කරති. රටවල් රාශියක් සමග මිත්‍රයකු බව ප්‍රකාශ කර සිටියද රට තුළ තානාපති කාර්යාල ආරම්භ කිරීමට අවසර ලැබී ඇත්තේ රටවල් 47කට පමණි. චීනය, රුසියාව පමණක් නොව ගිනිකොන ආසියාවේ සමාජවාදයට බර රටවල් වන වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජයද උතුරු කොරියාවේ මිත්‍ර රටවල් වේ. අමෙරිකාව, ප්‍රංශය ඇතුළු තවත් රටවල් රාශියක් තම සතුරන් ලෙස ප්‍රකාශ කරන උතුරු කොරියාව බැරිවීමකින් හෝ මේ යම් රටක පුරවැසියකු තම ‍රටේ සංචාරය පිණිස පැමිණියේ නම් ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට දෙවරක් සිතන්නේ නැත.

කෙසේවුවද උතුරු ‍කොරියාව මේ සියල්ල මධ්‍යයේ ශක්තිමත්ව නැගී සිටින බව නම් පැවසිය යුතුමය. සමාජයක් සුන්දර වන්නේ විවිධාකාරවූ මිනිසුන්ගෙ එකතුවකින්ය. එමෙන්ම ලෝකය ලස්සන වන්නේද විවිධාකාර රටවල එකතුවකිනි. ඒ අනුව ලෝකය සුන්දර කිරීමට උතුරු කොරියාවේ දායකත්වය නම් අති විශාලය.

Comments