අන්තර්ජාතික ක්‍රිකට් තරග විකාශය තැන්පතුව තැබීමේ කාලය දීර්ඝ කරයි | Page 2 | සිළුමිණ

අන්තර්ජාතික ක්‍රිකට් තරග විකාශය තැන්පතුව තැබීමේ කාලය දීර්ඝ කරයි

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අපහසුතා ගණනාවකට මුහුණ දුන් අතර එයින් බරපතළ අර්බුදය වන්නේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරග විකාශය රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතිය සම්බන්ධයෙන් ගිවිසුමකට යාම තවදුරටත් කල්දැමීමට සිදුවීමයි. මෙම අයිතිවාසිකම් විකිණීම සඳහා ලංසු තැබීමට ආපසු නොගෙවන ලද තැන්පතුවක් තැබීමට ලබාදුන් කාලය පසුගිය සතියෙන් අවසන් වුවද රටේ පවතින තත්ත්වය නිසා අප්‍රේල් 30 දක්වා එය දීර්ඝ කිරීමට තීරණය කර තිබුණි.

මේ වසරේ එනම් 2020 අප්‍රේල් 1 වැනිදා සිට තෙවසරක කාලයක් සඳහා විකාශන අයිතිය හිමිකර ගැනීමේ උත්සාහකරුවන් අනාවරණය නොකිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අප්‍රේල් 15 වන දින නියම කරන ලදි. එසේ වුවත් කොවිඩ්19 ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ආපසු නොගෙවනු ලබන මුදලක් තැන්පත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්හි උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ මැයි මාසය අවසන් වීමට පෙර හෝ රූපවාහිනී විකාශන අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරන බවයි.

“අපි උත්සාහ කළේ අප්‍රේල් 20 වැනිදා විතර මේක ඉවරයක් කරන්නයි. මොකද ජූනි මාසයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රීලංකාවේ සංචාරය කරන්න හිටපු නිසා. ඒත් දැන් ඒ සංචාරය කල්ගිහින් තියෙන හින්දා අපට තව ටික කාලයක් තියෙනවා මේක අවසන් කරගන්න.

පසුගිය වසර හත තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන හවුල්කරු ලෙස සිටියේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා පුද්ගලික සමාගමයි. එය කලින් ‘ටෙන් ස්පෝට්ස්’ ලෙසින් හැඳින්විණ.

ඔවුන් මෙවරත් රූපවාහිනී සහ ගුවන් විදුලි අයිතිවාසිකම් වෙනුවෙන් ලංසුවක් ඉදිරිපත් කර තිබුණ නමුත් පසුව ඔවුන් ලංසු තැබීමෙන් ඉවත් වූ බව ප්‍රකාශ කර තිබුණි. මෙම ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැතිවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මූලික අවධානය යොමුවී තිබුණි. විනිවිදභාවයක් නොමැති වීමට අමතරව සෝනි පික්චර්ස් සමාගම මෙම ලංසු තැබීමෙන් ඉවත්වීමට තවත් කරුණක් වූයේ රූපවාහිනී/ගුවන් විදුලි විකාශන අයිතිවාසිකම් වලින් ඩිජිටල් අයිතිවාසිකම් වෙන් කිරීමයි.

පෙර වසරවලට වඩා වෙනස්ව, මේ වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙන්ඩර් තුනක් ඉදිරිපත් කළේය. ඒ රූපවාහිනී අයිතිවාසිකම්, ගුවන් විදුලි අයිතිවාසිකම් සහ ඩිජිටල් අයිතිවාසිකම් ලෙස වෙන් වෙන් වශයෙනි.

රූපවාහිනී සහ ගුවන්විදුලි සහ ඩිජිටල් අයිතිවාසිකම් වෙන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණේ අපේක්‍ෂිත ලංසුවට වඩා පහළ අගයකි. ඒ රූපවාහිනි සහ ගුවන්විදුලි අයිතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක්ද, ඩිජිටල් අයිතිවාසිකම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6 ක්ද වශයෙනි. මෙම හේතුව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැවත වරක් රූපවාහිනිය/ගුවන්විදුලිය සහ ඩිජිටල් අයිතිවාසිකම් ඒකාබද්ධ කරමින් ගැනුම්කරුවන් වෙත යාමට සිදුවිය.

Comments