ප්‍රංශය කොවිඩ් ඉතිහාසය අලුතෙන් ලියයි | සිළුමිණ

ප්‍රංශය කොවිඩ් ඉතිහාසය අලුතෙන් ලියයි

කොවිඩ් වයිරසය ආරම්භයේදීම චීනයේ පමණක් නොව යුරෝපයේත් තිබිලා

ප්‍රංශ පර්යේෂකයන්ගේ නවතම සොයාගැනීම ලොව කලඹයි

 

කොවිඩ් ව්‍යප්තිය සම්බන්ධව මෙතෙක් පැවති අනුමාන සියල්ල උඩුයටිකුරු කිරීමට සමත් සොයා ගැනීමක් ප්‍රංශ වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශයට පත් කර තිබේ. පැරිස් නුවර රෝහලක සේවය කරන මේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ප්‍රංශයේ ප්‍රථම කොවිඩ් රෝගියා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති බවට සාක්ෂි හමුවූ බවයි.

මේ වන තෙක් ප්‍රංශය වාර්තා කර සිටියේ තම රටෙන් හමුවූ ප්‍රථම කොවිඩ් රෝගියා පසුගිය ජනවාරි මස 24වැනි දින තහවුරු වූ බවයි. එහෙත් පසුගියදා පැරිස් නුවරදී මේ වෛද්‍යවරු කණ්ඩායම පවසා සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේදී කොවිඩ් රෝග ලක්ෂණ සහිත රෝගියකු රෝහල් ගත කර බවට වාර්තා පවතින බවත් ඔහු කිසිසේත් චීනයේ හෝ වූහාන් නගරයේ සංචාරය කළ පුද්ගලයකු නොවන බවත්ය.

මීට පෙර ප්‍රංශය පවසා සිටියේ තම රටේ ප්‍රථම කොවිඩ් ආසාදිතයන් දෙදෙනා පසුගිය ජනවාරි මස 24වැනිදා වාර්තා වූ බවත් ඔවුන් ආසන්න දිනවල චීනයේ වූහාන් නගරයේ සංචාරය කර තිබූ බවත්ය.

එහෙත් පසුගිය දෙසැම්බර් මාසයේදී රෝගියකු වාර්තා වී ඇති බවට වන ‍සාධක සමග එම වෛද්‍යවරුන් පවසන්නේ චීනයට සමගාමීව වයිරසය යුරෝපයේද පවතින්නට ඇති බවයි.

මෙලෙස තොරතුරු ලබා දුන් වෛද්‍ය කණ්ඩායම පැරිස් නගරයේ වෛද්‍ය සඟරාවකට මේ තොරතුරු පළමුවෙන්ම ලබා දී ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ දෙසැම්බර් මාසයේදී වාර්තා වූ රෝගියා සම්බන්ධව වැඩිදුර තොරතුරු මේ වන විට සොයමින් සිටින බවයි. මේ රෝගියාගේ රෝග ලක්ෂණ කොවිඩ් රෝග ලක්ෂණ සමග බෙහෙවින් සැස‍දෙන බැවින් වයිරසය ඒ වන විටත් යුරෝපයේ පැතිරෙමින් තිබෙන්නට ඇති බවට විශ්වාස කල හැකි බවයි.

මේ වෛද්‍ය පිරිසේ එක් සාමාජිකයකු වන දැඩි සත්කාර ඒකක වෛද්‍යවරුයකු වන වෛද්‍ය විවේස් කොඑන් පවසා සිටියේ මේ සමග ප්‍රංශයේ සියලුම රෝහල් තම රෝගීන්ගේ ඉතිහාසය විමසිල්ලට ලක් කළ යුතු බවයි.

මේ අතර බ්‍රිතාත්‍යයේ පර්යේෂකයන් පිරිසක්ද තම රටින් වාර්තා වූ රෝගීන් අතර මීට පෙර කොවිඩ් ලක්ෂණ සහිත රෝගීන් වූයේ දැයි පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. ඇතැම්විට වසංගතයක් තරමට නොවූවද වයිරසය මීට බොහෝ කලකට පෙර මිනිසුන් අතර ආසාදනය වීමට සහ ජීවිතක්ෂයට පත් කිරීමට හේතු සාධක වන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරන බව ප්‍රකාශිතය.

මේ අතර ප්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් මේ වන විටත් දෙසැම්බර් 2වැනි සිට ජනවාරි 16 අතර කාලයේදී ඉන්ෆ්ලුවන්සා නොවන එහෙත් උණ සහ අදාළ රෝග ලක්ෂණ පෙන්වූ රෝගීන්ගේ ශීත කර තිබූ ජෛව සාම්පල යළි පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

ඔවුන් පවසා ඇත්තේ දැනට එලෙස පරීක්ෂා කළ සාම්පල අතරින් 42 හැවිරිදි එක් පුද්ගලයකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වා ඇති බවට සාධක පවතින බවයි. මේ පුද්ගලයා ඇල්ජීරියාවේ උපත ලැබූ පුද්ගලයෙකි. මේ වන විට ප්‍රංශයේ ජීවත් වන ඔහු 2019 වසරේ අගෝස්තු මාසයෙන් පසු ඇල්ජීරියාවේ සංචාරය කර නැත. මේ පුද්ගලයා මාළු වෙළෙන්දෙකු ලෙස කටයුතු කරන බවද ප්‍රකාශිතය. මේ පුද්ගලයාගේ දරුවකුද ප්‍රංශයෙන් වාර්තා වූ ප්‍රථම කොවිඩ් ආසාදිතයන් අතරට එක්ව තිබේ. කෙසේවුවද මේ කිසිවකු චීනයේ සංචාරය කර නොමැති බව ප්‍රංශ බලධාරීන් සනාථ කර තිබේ.

මේ සාධක මත පර්යේෂකයන් පවසා සිටින්නේ ‍පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට කොවිඩ් වයිරසය ප්‍රංශයේ පැතිරෙමින් තිබූ බවට සාක්ෂි පවතින බවයි.

මේ තොරතුරු මෙතෙක් කොවිඩ් සම්බන්ධව පැවති මතිමතාන්තර උඩුයටිකුරු කිරීමට සමත් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එපමණක්ද නොව මීට මාස කිහිපයකට පෙර සිට වාර්තා වූ රෝගීන්ගේ රෝග ලක්ෂණ යළි සලකා බැලීමට සෑම රටක්ම කටයුතු කරන්නේ නම් එය වයිරසය සම්බන්ධව සැඟවී ඇති සත්‍ය අවබෝධ කර ගැනීමට පහසු වනු ඇත.

Comments