
කොවිඩ් ආසාදනය වීමෙන් පසු සම්පූර්ණයෙන් සුවය ලැබූවද එහි අතුරු ප්‍රතිඵල රෝගීන් තුළ තව බොහෝ කළක් දැකගත හැකි වනු ඇතැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පවසා තිබේ. එහිදී ඔවුන් කොවිඩ් ‘අධ්‍යතන පරම්පරාවේ පෝලියෝ රෝගය’ යනුවෙන් නම් කර තිබේ.
කොවිඩ් ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් ද රෝහල් ගත කෙරුණු අතර එහිදී ඔහුට බ්‍රිතාන්‍යයේ හොදම වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හිමි විය. මහාචාර්ය නිකලස් හර්ට් සහ විශේෂඥ වෛද්‍ය නිකලස් ප්‍රයිස් යන මේ වෛද්‍යවරුන්ට විශේෂ ස්තුතියක් ලබා දීමටත් ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ඒ ආසන්නයේම උපත ලැබූ අගමැතිවරයාගේ පස්වැනි දරුවාට ‘නිකලස්’ යන නම ලබා දීමට කටයුතු කර තිබේ. කෙසේ වුවද එයින් පසු මේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වැඩි ජනතා අවධානයක්ද යොමු වී තිබේ.
කෝවිඩ් සම්බන්ධව මේ වෛද්‍යවරුන් දෙදෙනා විශේෂ දැනුමකින් යුක්ත වන අතර ඔවුන් මේ රෝගය සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ කොවිඩ් ආසාදනය වීමෙන් පසු සම්පූර්ණ සුවය ලැබූවද රෝගය විසින් ඇති කරණු ලබන අතුරු ආබාධ බොහෝ කලක් රෝගීන් තුළ පවතිනු ඇති බවයි. එහිදී පෙනහලුවල දුර්වලතා, ශ්වසන ආබාධ මෙන්ම මානසික ගැටලුවලටද මුහුණ දීසට සුවපත් වූ රෝගින්ට සිදුවනු ඇති බවට අනාවැකි එම වෛද්‍යවරුන් පවසා තිබේ.
ඔවුන් මේ රෝගය නම් කර ඇත්තේ ‘අධ්‍යතන පරම්පරාවේ පෝලියෝ’ යනුවෙනි. පසුගිය 20 වැනි සියවස ආරම්භයේදී පෝලියෝ රෝගය ලෝකය පුරා පැතිර ගිය අතර ඒ වන විට පෝලියෝ වයිරසය සඳහා එන්නතක්ද සොයා ගෙන නොවීය. එබැවින් මුළු ලෝකයම පෝලියෝ වයිරසය හේතුවෙන් භීතියට පත් විය. සෑම වසරකම ශ්‍රීෂ්ම කාලය ආරම්භ වීමත් සමග පෝලියෝ පැතිර යෑම වර්ධනය වූ අතර ඒ හේතුවෙන් සිනමා ශාලා සහ උද්‍යාන වසා දැමීමට රටරටවල පාලකයන්ට සිදු විය.
1952 වසරේදී අමෙරිකාවේ පෝලියෝ ආසාදිතයන් 52,876ක් වාර්තා වූ අතර මරණ ද 3,145ක් වාර්තා වී තිබිණි. පෝලියෝ රෝගයේ තර්ජිත කණ්ඩායම දරුවන් වූ අතර එහි ඇති භයානක අතුරු ප්‍රතිඵල හේතුවෙන් වයිරසය ආසාදනය වීම වැළැක්වීමට දරුවන් හැකිතාක් නිවසේම තබා ගැනීමට වැඩිහිටියෝ කටයුතු කළහ.
1955 වසරේදී පිට්ස්බර්ග් සරසවියේ කණ්ඩායමක් පෝලියෝ සඳහා සාර්ථක එන්නතක් නිපදවීමට සමත් වූහ. ඒ සමග වයිරසයට ඇති බිය පහව ගිය වයිරසය ආසාදනය වූවන්ට අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවිය.
බ්‍රිතාන්‍යයේ මහාචාර්ය නිකලස් හර්ට් සහ කණ්ඩායම කොවිඩ් පෝලියෝ සහ සම කරන්නේ මෙවැනි පසුබිමකය. ඔවුන් පවසන්නේ එන්නතක් නොමැති පසුබිමක වඩා දරුණු බව කොවිඩ් ප්‍රතිකාර ලැබීමෙන් පසුව වුවද මිනිස් සිරුරට හානි කරනු ඇති බවයි.