
ආරක්ෂක විධිවිධාන ලිහිල් කරන්න එපා යුරෝපයට අනතුරු ඇඟවීම්
ලෝක ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ලෝකයේ බල කේන්ද්‍ර විතැන් කිරීමට යම් යම් සුවිශේෂ සිදුවීම් පාදක වී ඇති බවයි. උදාහරණ ලෙස පසුගිය විසිවැනි සියවස ආරම්භයේදී ලොව පුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණ නම් වූ වයිරසය සහ එයින් මද කලක් ගත වූ පසු ලෝකයට මුහුණ දීමට සිදුවූ පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ දැක්විය හැකිය. මේ වයිරසයෙන් සහ යුද්ධවලින් පසු ලෝකය කිසිදා පෙර පැවති මෙන් පැවතියේ නැත. නව ආර්ථික, සමාජිය වටාපිටාවන්ට හුරුවීමට මිනිසුන්ට සිදුවූ අතර නව බල ධූරාවලින් ලොව පුරා රටවල ගොඩනැගෙන්නට විය. නව ලිබරල්වාදය ඒ සඳහා හොඳම උදාහරණයකි.
යටත් විජිතවාදය පසුබස්වමින් මතුවුණු නව ලිබරල්වාදය අප මේ දක්වා අත්විඳින ධනේෂ්වරයේ මූලාරම්භය විය. මේ පාලන ක්‍රම සහ ඒ ඔස්සේ මතුවුණු නව බලවතුන් මේ දක්වා කිසිදු අපහසුවකින් තොරව ලෝකය පාලනය කළේ ඒ සඳහා ඔවුන් සතුවූ යුද්ධ, ණය සහ සහනාධාර වැනි ක්‍රමෝපායන් භාවිත කරමිනි.
යළිත් දැන් ලෝකය වෙනස් කරන සන්ධිස්ථානයකට අප පැමිණ ඇතැයි සිතෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ විවිධ රටවල හැසිරීමත් සමගිනි.
මේ වන විට චීනයෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වන්නේ නැත. පසුගියදා චීනයේ පාසල් විවෘත කළේ සමාජය යථා තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙලේ අවසන් අධියර වශයෙනි. චීනයේ කර්මාන්ත ශාලා මේ වන විටත් තම කර්මාන්ත යලි අරඹා තිබේ. වසංගතය දැඩිව පැවති අවස්ථාවේ වුවද චීනයේ ගුවන්තොටුපොළ වසා නොදැමුණු අතර මේ වන විට වූහාන් ගුවන්තොටුපොළද ඇතුළුව චීනය පුරා ගුවන්තොටුපොළ සහ වරාය සාමාන්‍ය පරිදි ක්‍රියාක්මකය. චීනයේ සංඛ්‍යා ලේඛන සම්බන්ධව මුළු ලෝකයේම සැක මතුවී තිබුණද චීනය පවසා ඇති අන්දමට වයිරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 4,633ක් පමණි.
මේ අතර අමෙරිකා ජනාධිපතිවරයා පවසන අන්දමට කොවිඩ් හේතුවෙන් එරට පුද්ගලයන් ලක්ෂයක් පමණ මිය යා හැකිය. ඔහු එසේ පවසන්නේ රටේ සමස්ත මරණ සංඛ්‍යාව හැටහය දහසක්ව පවතිද්දීය. අමෙරිකාවේ මර්මස්ථානය වන නිව්යෝර්ක් නගරය සුසානයක් බවට පත්වෙද්දී ලෝකයේ ප්‍රබලතම රට ලෙස විරුදාවලි ලබා සිටි අමෙරිකාව ලෝකයේ දුර්වලතම සෞඛ්‍ය සේවාව තමන් සතු බව සාක්ෂි සහිතව ඔප්පු කරමින් සිටී.
තම අසාර්ථකත්වය එළිවන විට අමෙරිකාවේ තර්ජනාංගුලිය චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත එල්ල විය. එහෙත් එහිදී ලෝක සෞඛය සංවිධානය පවසා සිටියේ තමන්ගේ පෙර අනතුරු ඇඟවීම්වලට නිසි පරිදි අවධානය යොදා කටයුතු කළේ නම් තත්ත්වය මෙසේ නොවනු ඇති බවයි. එය අමෙරිකාව සහ යුරෝපා රටවල් සම්බන්ධයෙන් අතිශයින් සාධාරණ ප්‍රකාශයකි. මන්ද යත් මේ රටවල් මෙතරම් ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමට ප්‍රබලතම හේතුව වයිසරයේ ව්‍යප්තිය බැරෑරුම් කොට නොසැලකීමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් ව්‍යප්තිය ආසියාව දෙසට හැරීමත් සමගම අනතුරු අඟවා සිටියේ දුර්වල සෞඛ්‍ය සේවාවවන් සහිත රටවලට වයිරසයේ පැතිරීම ඔරොත්තු නොදෙන බැවින් කල්තබා ආරක්ෂා වි යුතු යැයි පවසමිනි. ආසියානු රටවල් මේ උපදෙස් පිළිපදිමින් කටයුතු කළ අතර ඒ හේතුවෙන් බොහෝ කුඩා රටවල ව්‍යසනයන් වැලකී ගිය බව පැවසිය හැකිය. එහෙත් ඒ දෙවැනි සහ තුන්වැනි රැළි කෙරෙහි ඔවුන් ලබා දෙන අවධානයේ තරම අනුව බවද පැවසිය යුතුමය.
මෙහිලා අවධානය යොමු කළ යුතු වැදගත්ම රට බවට රුසියාව මේ වන විට පත්වී ඇත. කොවිඩ් වයිරසය යනු අතිශයින් භයානක වයිරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින්නේ මන්දැයි වටහා ගැනීමට රුසියාවේ අතීතය, වර්තමානය සහ අනාගතය දෙස බැලීම ප්‍රමාණවත්ය. චිනයෙන් පිටතට වයිරසය පැතිරෙත්ම සැමට පෙර ආරක්ෂක විධිවිධාන තරකළ රට වූයේ රුසියාවයි. ඒ හේතුවෙන්ම යුරෝපය වයිරසයෙන් අසරණ වන විට නොසැලී නැගී සිටීමට රුසියාවට හැකි විය. එක් අවස්ථාවකදී ඉතාලියට සහාය දැක්වීමට වෛද්‍ය කණ්ඩායම් යැවීමට ලෝකයේ ඉතිරිව සිටි එකම රට වූයේද රුසියාව විය. එහෙත් මේ වන විට රුසියාව වයිරසයෙන් දරුණු ලෙස බැටකමින් සිටී. එරට ආසාධිතයන් සංඛ්‍යාව මේ වන විට 1,60,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව මේ වන විට එතරම් විශාල අගයක් නොගන්නා බව පෙනේ. දෙදහසකට ආසන්නය. එහෙත් මේ ලියන අවස්ථාව වන විට වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව සියයකට ආසන්නය. එය ඉතා විශාල අනතුරු ඇඟවීමේ සංඥාවක් වන්නේ එය මේ අවස්ථාවේදී සෙසු රටවලට සාපේකෂව විශාල අගයක් වන නිසාය.
පසුගියදා රුසියානු අගමැතිවරයාටද කොවිඩ් ආසාදනය වී ඇති බව සනාථ වූයේ බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් අගමැතිවරයා හුදකලා නොකරමිනි. ඒ අනුව කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය නායකයන් අතරට රුසියානු අගමැතිවරයාද එක්වේ. මීට අමතරව පකිස්තාන කතානායකවරයාටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.
රුසියාවේ මේ වන විටත් ආසාදිතයන් 1,34,000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකර ලබමින් සිටිති. සම්පූර්ණයෙන්ම සුවපත් වූ සංඛ්‍යාව 20,000කට ආසන්නය. එබැවින් සෞඛ්‍ය සේවාවට දරා ගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් පැවතීම යනු ඉදිරියේදී මරණ සංඛ්‍යාව වැඩි වීමය. දැනට පෙනන්නට තිබෙන අනාවැකි අනුව නම් රුසියාවද කොවිඩ් ඉදිරියේ දණ ගැසීමට නියමිතය.
බිඳ වැටුණු සමාජවාදී දේශපාලන රටාව හේතුවෙන් බිමටම සමතලා වූ රුසියාව යළිත් ලෝක බලවතකුගේ තත්ත්වයට ඔසවා තැබූ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට තම දක්ෂතා පෙන්වීමේ තවත් අවස්ථාවක් උදාවී ඇතැයි සිතන්නේ නම් ඔහු කොවිඩ් වයිරසයෙන් තම ජනතාව ආරක්ෂා කිරීමට කළ හැකි සියල්ල කරණු ඇත. එහෙත් එය බාර අනාගතයටය.
මේ අතර පසුගිය අඟහරුවාදා දිනයේදී ඉතාලියේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉක්මවා යමින් බ්‍රිතාන්‍ය යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවට හිමිකම් කීවේය. ඒ වන විට ඉතාලිය ආසාදිතයන් 2,11,938 සහ මරණ 29,079ක් වාර්තා කර තිබිණි. බ්‍රිතාන්‍ය මේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගියේ වඩාත් අඩු ආසාදිතයන් සංඛ්‍යාවකගෙන් වීම තැති ගන්වන සුළු ප්‍රවෘත්තියකි. මන්දයත් එමගින් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය සම්බන්ධව වන ප්‍රතිරූප බිඳවැටෙන බැවිනි. යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් සිටියද ස්පාඤ්ඤය මේ වන විට තම මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීමට සමත්ව තිබේ.
සිංගප්පූරුව තමන් මුහුණ දුන් දෙවැනි කොවිඩ් රැල්ලද සාර්ථකව පාලනය කළ බව පෙනෙන්නට තිබේ. එරටින් එක්වරම වාර්තා වන්නට වූ දහස් ගණන් ආසාදිතයන් තරමක් අඩුවන බවක් පෙනෙන්නට ඇති අතර ඒ වෙනුවට සිංගප්පූරුවට වඩා අඩු අගයක් ගෙන තිබූ පකිස්තානයේ ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබේ. බංග්ලාදේශයේද ආසාදිතයන්, මරණ මෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවද ඉහළ අගයක් ගෙන තිබේ. පොදුවේ දකුණු ආසියාවේ රටවල් මේ මොහොතේ අසීරු තත්ත්වයක පසුවන බව පෙනේ. නේපාලය සහ භූතානය ආරක්ෂා වී ඇත්තේ එම දෙරට ලෝකයේ සෙසු රටවල් සමග අවම ගනුදෙනු පවත්වා ගන්නා නිසාවෙන් යැයි පැවසිය හැකිය.