රටේ වායු දූෂණය ‘බිංදුවටම’ බහියි | Page 2 | සිළුමිණ

රටේ වායු දූෂණය ‘බිංදුවටම’ බහියි

අපේ රටට වර්තමානයේ කොරෝනා වසංගතය ගැටලුවක් වී ඇති නමුත් මේ දිනවල අපේ රටේ වායු දූෂණය හා ජල දූෂණය මෙතෙක් නොවූ විරූ අයුරින් ශීඝ්‍ර ලෙස අඩුවෙමින් පවතී. අලුත්ම පර්යේෂණ අනුව අපේ රටේ බස්නාහිර ප්‍රදේශයේ වායු දූෂණය දැන් මෙරට ඉතිහාසයේ අඩුම වායු දූෂණය වාර්තා කරයි.ඒ අනුව බස්නාහිර පළාතේ වායුවේ මට්ටම දැන් සිංහරාජ වනයේ වායු මට්ටමට වඩා පිරිසුදු වී තිබේ. එමෙන්ම අපේ රටේ වායු දූෂණය පරීක්ෂා කිරීම ආරම්භ කිරීමෙන් පසු අඩුම වායු දූෂණය වාර්තා වී ඇත්තේ 2020 අප්‍රේල් මාසයේදී බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොරෝනා වයිරස පාලනයට රජය පනවා ඇති ඇඳිරිනීතියයි. ඇඳිරිනීතිය නිසා අපේ රටේ වාහන ගමනාගමනය සියයට 90 - 95 අතර අඩුවී ඇත. රටේ කර්මාන්ත ශාලාද විවෘතව ඇත්තෙ මුළු ප්‍රමාණයෙන් සියයට 5-6ක් පමණි. ඒ අනුව ඒවායින් පිටවෙන වායු දූෂණය අවම වීම නිසා මේ වායු දූෂණයේ අඩු වීම සිදුව ඇතැයි පර්යේෂකයෝ අවධාරණය කරති.

මේ පිළිබඳව කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසන්නෙ බත්තරමුල්ල හා මහනුවර පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ස්වයංක්‍රීය සංසරණ වායු මිණුම් පද්ධතියේ දත්ත අනුව අපේ රටේ වායු දූෂණය අප්‍රේල් මාසයේදී පෙබරවාරි මාසයට වඩා සියයට 60 - 70 කින් අඩුවී ඇති බවයි. බත්තරමුල්ලෙ පර්යේෂණ දත්ත අනුව 2019 අප්‍රේල් 5 වන දින කියුබික් මීටරයකට මයික්‍රො ග්රෑම් 55ක්ව තිබුණු පීඑම් 10 ප්‍රමාණයේ අවලම්භක කළු අංශු ප්‍රතිශතය 2020 අප්‍රේල් 5 වැනිදා වන විට කියුබික් මීටරයකට මයික්‍රො ග්රෑම් 15 - 10 දක්වා අඩුවී ඇත. ඊට අමතරව පීඑම් 2.5ක ප්‍රමාණයේ අවලම්බක අංශු ප්‍රමාණය බත්තරමුල්ලෙ 2019 අප්‍රේල් 5 තිබී ඇත්තෙ කියුබික් මීටරයකට මයික්‍රො ග්රෑම් 35කි. එය 2020 අප්‍රේල් 5 වන විට කියුබික් මීටරයකට මයික්‍රො ග්රෑම් 10 දක්වා අඩුවී තිබිණි. මීට අමතරව මහනුවර තිබෙන මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ ස්ථානයේ දත්ත අනුවද මහනුවර වායු දූෂණයද සියයට 40 - 50ට පමණ අඩුවී තිබෙන බව ද සභාපතිවරයා කියයි.

පොදුවේ රටේම වායු දූෂණය සියයට 50 - 60 අඩුවී ඇති අතර බස්නාහිර පළාතේ වායු දූෂණය සියයට 70 - 90 අතර අඩුවී තිබේ. ඊට අමතරව කැලණි ගඟේ ජල දූෂණය ද දැන් සියයට 80ක් පමණ අඩුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි. “අපේ රටේ තිබෙන ජල පවිත්‍රතාවල හා ජල සංයුතිය පිළිබඳවත් මුහුදට වැටෙන ගංගා ජලයේ සංයුතිය පිළිබඳවත් අපි සමුද්‍ර දූෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සොයා බලනවා. ඒ අනුවත් අපේ රටේ ප්‍රධාන ගංගාවලද ජල දූෂණයත් සියයට 50 - 60ක් පමණ අඩුවී ඇති බවට සාක්ෂි තිබෙනවා.

මේ තත්ත්වය දිගටම ආරම්භ කිරීමට ඉහත ආයතන සමඟ එකතුවී අපි කටයුතු කරනවා. ඒ සඳහා වාහන හා කර්මාන්ත හිමි සියලුම දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසන්නෙ දැන් රටේ වායු දූෂණය ලංකාවේ මෙතෙක් වාර්තා වූ අවම වායු දූෂණ මට්ටමට පැමිණ ඇති බවයි. ඒ මහතාගේ පර්යේෂණ අනුව 2020 ජනවාරි හා පෙබරවාරි මාසවල තිබූ වායු දූෂණ මට්ටම හා අප්‍රේල් 22 වායු දූෂණ මට්ටම හා සසඳා බලන විට වායු දූෂණය සියයට 80 - 90 අතර ප්‍රමාණයක් අඩුවී ඇත.

ඒ අනුව පීඑම් 2.5 ප්‍රමාණයේ අවලම්බිත අංශු ප්‍රමාණය පෙබරවාරි මාසයේදී කියුබික් මීටරයකට මයික්‍රෝ ග්රෑම් 40ක් තිබූ අතර අප්‍රේල් 22 වැනිදා වැඩිම එම ප්‍රමාණය කියුබික් මිටරයකට මයික්‍රො ග්රෑම් 10 දක්වා අඩුවී ඇත. ඊට අමතරව මාර්තු 15 දින පීඑම් 10 ප්‍රමාණයේ අවලම්බිත කාබන් අංශු ඝන මීටරයකට මයික්‍රො ග්රෑම් 70 - 80 අතර ප්‍රමාණයක් තිබුණු අතර ඒ ප්‍රමාණය අප්‍රේල් 22 වන විට කියුබික් මීටරයකට මයික්‍රෝ ග්රෑම් 20 දක්වා අඩුවී තිබූ බවද ප්‍රේමසිරි මහතා පවසයි.

මේ අතර මහනුවර ප්‍රදේශයේද වායු දූෂණය සියයට 80 - 90 අතර ප්‍රමාණයකින් අඩුවී ඇති අතර රටේ අන් ප්‍රදේශවලද පොදුවේ වායු දූෂණය සියයට 60කින් පමණ අඩුවී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජ්‍යේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසන පරිදි වත්මන් තත්ත්වය අනුව බස්නාහිර පළාතේ සහ මහනුවර ප්‍ර දේශවල සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ඔක්සයිඩ් ප්‍රතිශතය ද සියයට 50කින් පමණ අඳුරුනීති වකවානුවේදී අඩුවී ඇත.

දැන් ඉතිහාසයේ අඩුම වායු දූෂණය පවතින කොළඹ නගරයේ උස් ගොඩනැඟිලිවල සිට ශ්‍රීපාද කන්ද දර්ශනය වන ඡායාරූපද සමාජ ජාලාවල ප්‍රසිද්ධ කර තිබිණි. එය සිතාගත නොහැකි දර්ශනයකි.

මේ පිළිබඳව කරුණු දක්වන මෙරට වායු දූෂණය පිළිබඳව ප්‍රධාන අධිකාරිලත් ආයතනය වන වායු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුගත් ධර්මකීර්ති මහතා පැවැසුවේ මේ දිනවල බස්නාහිර පළාතේ පවතින වායු දූෂණය ඉතාම අඩු බවයි. එය දැන් සිංහරාජ වනාන්තරයේ පවතින වායුවේ පිරිසුදු මට්ටමට වඩා වැඩි වී ඇති බවත් කලවානේ මීට වඩා වායු දූෂණ මට්ටමක් පවතින බවත් අධ්‍යක්ෂවරයා පවසයි.

“අපේ රටේ අප්‍රේල් 20 - 22 දිනවල වායු දූෂක දර්ශකය 12 පමණ වුණා. ඒක වායු දූෂණය වැඩි කාලේදී කොළඹ නගරයේ වායු දූෂක දර්ශකය 120ට විතර නැංග අවස්ථාත් තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කියන උපරීම වායු දූෂක දර්ශකය 50 යි. ඒ අනුව දැන් වායු දූෂක දර්ශකය 120 සිට 12 දක්වා සියයට 90 කින් පමණ අඩුවී තිබෙනවා. වැස්ස වැටුණු පසු කොළඹ වායු දූෂණය වායු දූෂක දර්ශක 12ටත් වඩා අඩුවූ අවස්ථාත් අපට දැකගන්නට ලැබුණා.

දැන් ගෝල්ෆේස් එකත් කොළඹ කොළ පාටට හැරිලා. උද්භිද උද්‍යානවල හා සත්ත්ව උද්‍යානවල ජෛව විවිධත්වයේ වෙනස්වීම් තිබෙනවා. ඉන් පෙනෙනවා මිනිසා මේ පරිසරයට කරන බලපෑම අඳුරුනීතිය ලිහිල් කළාට පස්සෙත් අපේ පරිසරය මේ වගේ තිබුණොත් හොඳයි.“

ලෝකයේම බොහෝ නගර දැන් ලොක්ඩවුන් කරලා. ඒ නිසා ඉන්දියාව වගේ රටවල දැන් හුඟක් දුරට හිමාලයත් පේනවා. අපටත් දැන් කොළඹ ඉහළ ගොඩනැඟිලිවලට මධ්‍යම කඳුකරයේ කඳු වළල්ල බලන්න පුළුවන්. මේ දිනවල අපට ඒ චමත්කාරය කොළඹ සිටම දැකගන්න පුළුවන්. ඒ අනුව අපේ රථවාහන, කර්මාන්තශාලා නිසා පරිසරයට, වායුගෝලයට සිදුවෙන ප්‍රබල පාරිසරික හානිය ඉතා පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන් බවද සුගත් ධර්මකීර්ති මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසුවේ මේ දිනවල පරිසර පද්ධතිවල හොඳ මට්ටමක් තිබෙන නමුත් ඉදිරියේදී මේ කොරෝනා වයිරස මර්දනය වීමත් සමඟ සියලු රටවල පරිසරය ගැන නොසිතා නැවතත් වැඩ කිරීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව අප කළ යුත්තෙ අපේ රටේ වායු දූෂණය හා ජල දූෂණය දැන් අවම වී ඇති අන්දමටම එය සුරැකීමට කටයුතු කිරීම කළ යුතු බවයි. එසේ නොකළහොත් මේ පරිසර සුරැකීමේ හා වායු දූෂණය අඩු වීමේ වාසිය ජනතාවට ලැබෙන්නෙ නැති බවද හේමන්ත විතානගේ මහතා පැවැසීය. මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති හා භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ මේ අද කොළඹ හා මුළු රට පුරා පවතින අඩු වායු දූෂණ මට්ටම ඉදිරියට ගෙන ඒමට අපි සියලු දෙනා එක්වී උපරිම ලෙස කටයුතු කළ යුතු බවයි.

“අපේ රටේ වැඩිපුර වායු දූෂණය ඇතිවන්නෙ වාහන දුම් නිසා. වාහන දුම දැන් අඳුරුනීතිය නිසා අඩුවී තිබෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලාත් දැන් අඩුයි. මේ තත්ත්වය අනුව අද කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ වායු දූෂණය වාර්තාගත අයුරින් අඩුවී තිබෙනවා.

ලෝකයේම මෙම තත්ත්වය ඇතිවෙමින් තිබෙනවා. ඒ අනුව ඉන්දියාවට හිමාලය හුඟක් දුරක සිටම පේන්න පටන් අරන්. කෙසේ වෙතත් අපේ රටේ තිබෙන වායු දූෂණයේ හොඳ මට්ටම දිගටම ගෙනයන්න පුළුවන් සුවිශේෂ තාක්ෂණික උපකරණයක් මම මීට වසර 15කට පෙර නිපදවූවා. ඒ පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් බලධාරින්ට පෙන්වා දැනුම්වත් කළා. ඒත් ඒ ගැන ඔවුන් නිසි අවධානය යොමුකළේ නැහැ. අදටත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට මම පේටන්ට් එකත් අරන් තිබෙන්නෙ. මේ උපකරණය ඕනෑම වාහනයකට සවිකළ හැකියි. වාහනය ගමන් කරන විට අවට වායු ගෝලයේ තිබෙන දූෂිත වාතය ඒ උපකරණය මඟින් උරගෙන ඒ වායුව පිරිසුදු කර මුදාහැරීමයි මේකෙන් කරන්නෙ. මේකට අමතර ඉන්ධන හෝ බැටරි බලය අවශ්‍ය නැහැ.

මේ නිපැයුම සෑම වාහනයකටම සවි කරන්න නීතිරිති දැම්මොත් අපේ වායුගෝලයේ දැන් පවතින වායු දූෂණ අවම මට්ටම ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන්. මේ මම නිපදවූයේ මොබයිල් එයාර් ක්ලිනර් එකක්. මට ඒ නිපැයුමට පේටන්ට් එක පවා තිබෙනවා. මේ මම හදපු උපකරණය පිළිබඳව වත්මන් පාරිසරික හා වනජීවි ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේවත් අවධානය යොමු වෙනවානම් රටට ලොකු සෙතක් වන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවැසීය.

මේ අතර මේ දිනවල මහනුවර ප්‍රදේශයේ වායුවේ තත්ත්වය කෙබඳුද යන්න පිළිබඳව අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ (IFS) විද්‍යාඥයන්ගේ අදහස්ද අපි ලබා ගත්තෙමු.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ (IFS) අධ්‍යක්ෂ මහාචාර්ය සමන් සෙනෙවීර මහතා පැවසුවේ පසුගිය අඳුරුනීති කාලය සමයේ කොළඹ වායු දූෂණය වාර්තාගත ලෙස අඩු වුණත් මහනුවර වායු දූෂණය අඩුවී ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බවයි. ලෝකයේ වායු දූෂ්‍ය මට්ටම 1 - 10 අතරනම් කොළඹ පෙබරවාරි මාසයේ වායු දූෂණය තිබුණේ 5 - 6 අතර අගයකයි. දැන් කොළඹ වායු දූෂණය 2 අගයේ තමයි පවතින්නෙ. නමුත් මහනුවර වායු දූෂණය තවම 4 - 5 අතර අගයකයි දැන් පවතින්නෙ.

මාස එකහමාරක පමණ අඳුරුනීතිය තිබුණත් මහනුවර නාගරික ප්‍ර දේශයේ වායු දූෂණය අඩු වූයේ ඉතා අඩුවෙන්. ඊට හේතුව මොකක්ද කියා අපි අධ්‍යයනය කළ යුතුයි. ප්‍රතිපත්ති සම්පාදකයන් පරිසර අමාත්‍යාංශය මහනුවර වායු දූෂණය අඩු නොවීම පිළිබඳව සෙවීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි. මහනුවර නාගරික ප්‍රදේශය කඳුවලට වටවෙලා තිබෙන නිසාත් සුළං එහා මෙහා නොයන නිසාත් නිම්නයක් ලෙස තිබෙන නිසාත් මෙම තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ සමඟම වාහනවලින් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි වායුන් බර වායු. ඒවා නිතරම වායුගෝලයේ යට මට්ටමටයි යන්නෙ. මේ නිසයි වායු දූෂණය අඩු නොවුණේ.

මහනුවර වායු දූෂණය අඩු කරන්න විවිධ කාලවලදී විවිධ විසඳුම් ගෙනෙනවා. නමුත් හරියට එකක්වත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මහනුවර නගර මැද උමං මාර්ගයක් හැදීම එයට විසඳුම් නෙමෙයි. මහනුවර නාගරික ප්‍රදේශයෙන් යම් යම් වැදගත්, ජනතාව වැඩිපුර එන ස්ථාන අඩු කළ යුතුයි. වාහන ඇතුළුවීම් පාලනය කළ යුතුයි. පාසල් අරඹන හා පාසල් අවසන් වන වේලාවට බස් හැර අන් බර වාහන ඇතුළුවීම තහනම් කළ යුතුයි.

රජය මහනුවර වායු දූෂණ ගැටලුව පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. වායු දූෂණ ගැටලුව විසඳීමට විද්‍යාඥයන් වශයෙන් අපිට පුළුවන් උපරිම සහාය ලබා දෙන්න අපි සූදානම්. විශේෂයෙන් මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනය, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වැනි ආයතන අපේ විශේෂඥ දැනුම සමඟ පූර්ණ සහාය මේ ගැටලුව විසඳීමට රජයට ලබා දෙන්න සූදානමින් ඉන්නෙ.“ මහාචාර්ය සමන් සෙනෙවීර පැවැසීය.

කෙසේ වුවත් මහනුවරට යම් විශේෂයක් නිසා වායු දූෂණය අඩු නොවූ නමුත් පොදුවේ පසුගිය දින 40 ඇතුළත අපේ රටේ වායු දූෂණය පුදුම අයුරින් අඩුවී ඇත. ඒ අපේ පරිසරය සුවපත් වෙමින් ඇති මේ සමයේ අපත් සුවපත් වීමටනම් ඒ අපට ලැබුණු සුන්දර පරිසරයේ සුවය විඳීමට නිවසටම වී සිටිය යුතුය.

Comments