ඇඳිරි නීති සමයේත් තනි නොකළ වීදි සුනඛයන් | Page 3 | සිළුමිණ

ඇඳිරි නීති සමයේත් තනි නොකළ වීදි සුනඛයන්

ඈත අතීතයේ පටන් මිනිසාගේ ළඟම හිතවතා ලෙසින් නම් දරන්නට සුනඛයා තරම් අන් කවර සතෙකු හෝ සමත්වූයේ නැත. නිවස තුළම ඇති කරනු ලබන බළලා ට වුවද සුනඛයාට හිමි එම ස්ථානය ලබා ගන්නට හැකි වූයේ නැත. සුනඛයා සමගින් ලාංකිකයන් අතර ඇති සම්බන්ධතාව සොයා යාමට නම් වසර ගණනාවක් ඉතිහාසයට අපි ආපසු ඇවිද යා යුතුය. විජය කුමරු තම්බපන්නියට ගොඩබැසීමෙන් පසු මේ දිවයින අනිවාර්යෙන්ම මිනිස් ජනාවාස ඇති දූපතක් බව ඉඳුරාම සොයා ගැනීමට සමත් විය. එය සලකුණු වූයේ ගොඩබිම ඇවිද ගිය සුනඛයකු මාර්ගයෙනි. ඔවුන් රට තුළට පැමිණියා යැයි සඳහන් වන්නේ මෙකී සුනඛයා පසුපස ඇවිද යෑමෙනි. බල්ලා එසේත් නැතිනම් සුනඛයා යනුවෙන් හඳුන්වනු ලබන්නේ සංස්කෘත භාෂාවෙනි. සුනඛයාට මනා නියපොතු ඇති නිසා සු+නඛ යනුවෙන් හඳුන්වන බැව් සඳහන් වේ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය මුල්වරට ලිවීම ආරම්භ කළ සැමුවෙල් ජොන්සන් ආචාර්යවරයා ඔහුගේ ශබ්දකෝෂයේ සුනඛයා හඳුන්වා දී ඇත්තේ වෘක පවුලට අයත් මාංශ භක්ශකයකු ලෙසිනි.

සුනඛයා ගැන එසේ සඳහන් වුවත් ශ්‍රී ලාංකිකයන්ට නම් සුනඛයා යනු නිවසේ මුරකරුය. ළඟම හිතවතාය. එතරම් විශ්වාසදායි කටයුත්තක් සුනඛයා විසින් මිනිසාට ඉටුකර දෙයි. කෙසේ වෙතත් ගණනය කර ඇති පරිදි මේ වන විට ලංකාවේ සුනඛ ගහණය ලක්ෂ 30 පමණ වේ. ඉන් වැඩිම සුනඛ ගහනයක් පවතින ප්‍රදේශය ලෙස බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර අඩුම සුනඛ ගහනය ඇති ප්‍රදේශය ලෙසින් දැක්වෙන්නේ නැගෙනහිර පළාතයි. නිරන්තරයෙන්ම වාගේ කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ දඩාවතේ යන සුනඛයන් එසේත් නැතිනම් වීදි පුරා දුව ඇවිද යන සුනඛයන් ය. මේ සම්බන්ධයෙන් බොහෝ විට කතා කරන්නට මාතෘකාව වන්නේ ද ඔවුන් මහමග අනතුරුවලට ලක් වීමේ සම්භාවිතාව වැඩි වීම නිසාය. විශේෂයෙන් මෙවැනි අනතුරු සිදු වන්නේ සුනඛයන් රැලේ යෑම ආරම්භ වීමත් සමඟ බැව් බොහෝ අයගේ මතයයි. නිවස් වල ඇති දැඩි කරන ගෑනු සතා තමාගේ වර්ගයා බෝ කළ පසු සමහර නිවැසියන් විසින් සම්පූර්ණයෙන්ම හෝ එසේ නැතිනම් ගැහැනු සුනඛ පැටවුන් පමණක් මහමගට ගෙනවුත් දමයි. ඔවුන් බෝ වීම සිදු වන්නේ එතැනිනි. බැල්ලියක මාස 6කට වරක් පැටවුන් දමන අතර ප්‍රමාණය බොහෝවිට 4ක් හෝ 5ක් වේ. මේ අනුව බැල්ලියකගේ ආයුකාලය වසර දහයකට වඩා වැඩි වන අතර එම බැල්ලිය තම ජීවිත කාලය තුළ පැටවුන් 100කට වඩා බෝ කරනු ලබයි. වීදි සුනඛයන්ගේ ගහනය වැඩි වන්නේ මේ අයුරිනි. මේ සඳහා රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ගය වන්නේ වන්ද්‍යකරණයයි.

සුනඛ වන්ධ්‍යකරණ සැත්කම යනුවෙන් හඳුන්වනු ලබන්නේ ගැහැණු සතාගේ ගර්භාෂය සහ ඩිම්භකෝෂ යුගලය සම්පූර්ණ වශයෙන් ඉවත් කිරීම යි. මෙය වීදි සුනඛයන් සඳහා රජයේ මෙන්ම පෞද්ගලික සංවිධානවලද අනුග්‍රහයෙන් සිදු කරනු ලබයි. මෙසේ දඩාවතේ යන විදි බල්ලන්ගෙන් ඇති වන දරුණුතම රෝගය වන්නේ ජලභීතිකා රෝගයයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා විශාල මුදලක් වැය කරමින් එන්නත් ලබා දුන්නද අතීතයේදී මෙන් වැඩි වශයෙන් වර්තමානයේ දී ජලභීතිකා රෝගීන් සම්බන්ධයෙන් කතාබහක් ඇති වන්නේ නැත. නමුත් 2015 වර්ෂය පමණ වන විට වසරකට එම රෝගයෙන් පුද්ගලයන් 30 දෙනකු පමණ මිය යන බව සඳහන්ය. ලංකාවේ බලු ගහනය වර්ධනය වීම කෙරෙහි බලපාන සාධක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකයේ උපුල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ 2016 වර්ෂය වන විට ලංකාවේ මිනිසුන්ගෙන් දොළොස් දෙනෙකුට එක් සුනඛයකු බැගින් සිටින බවත් සාමාන්‍ය වශයෙන් ගත්විට ඉන් 30%ක් පමණ වීදි සුනඛයන් බවත්ය. සමස්තයක් වශයෙන් ගත් කල වීදි සුනඛයන්ගෙන් 70% පමණ ම ගැහැනු සතුන්ය. වීදි සුනඛයන් බවට පත්වන්නේත් නිවාස තුළ ඇති කරන සතුන් වන අතර; ගැහැනු සතුන් බොහෝ විට මහමඟට ගෙනවිත් දැමීමෙන් මේ තත්ත්වය ඇති වූ බව ඔහුගේ මතයයි.

මේ පවතින්නේ ලංකාව පුරා ඇඳිරි නීතිය පනවා ඇති වකවානුවකි. ආහාර හිඟය මහ ජනතාවටත් වඩා වීදි පුරා සිටින සුනඛයන්ට දැනෙමින් පවතින කාල පරිච්ඡේදයකි. නමුත් උපුල් මහතා පවසන පරිදි මේ වනතුරු කිසිම සුනඛයෙකු ආහාර නොමැතිව හාමතේ මිය ගිය බවක් අසන්නට නොලැබේ. එසේම නිවසේ ඇතිකරන සුනඛයන්ට දරාගැනීමේ ශක්තිය අඩු බවත්; වීදි සුනඛයන්ට නිවසේ ඇති උන්ට වඩා දරාගැනීමේ ශක්තිය වැඩි බවත් ඔහු ප්‍රකාශ කරයි. අප මෙසේ කතා කරනා වීදි සුනඛයන් සම්බන්ධයෙන් රජයේ මූලිකත්වයෙන් මෙන්ම අනෙකුත් සංවිධාන මුලිකත්වයෙන්ද වන්ද්‍යකරණ සැත්කම් මෙන්ම වෙනත් වැඩ කටයුතු සිදුකළ ද පෞද්ගලික වශයෙන් වීදි සුනඛයන් සම්බන්ධයෙන් උනන්දු වෙමින් ඒ ගැන කටයුතු කරන අයද බෙහෙවින් වේ. වසර 27 පුරා සුනඛයන් සමග සුහද ගනුදෙනුවක් කරමින් ගල්කිස්ස කලාපුර වාසය කරන නෙළුම් පෙරේරා මහත්මිය පවසන්නේ මෙසේය. ඇය පවසන ආකාරයට සෑම දිනකම ඇය වීදි සුනඛයන් උදෙසා ආහාර ලබාදෙන බවත් මේ කාලය ඇතුළත සුනඛයන් දාහකට වඩා ඇය තමාගේ පෞද්ගලික මුදලින් සැත්කම්වලට ලක්කර ඇති බවත් පවසයි. මේ සැත්කම් කිරීමේදී වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට එක් එක් ගාස්තු අය කරන නිසා රජය මැදිහත්වී මේ සමාජ සත්කාරයක් යැයි සිතා එක හා සමාන පහසු මුදලකට හැමටම සාධාරණ වන සේ පවත්වාගෙන යන්නේ නම් වටිනා බව ඇය පවසන්නීය. සාමාන්‍යයෙන්ම මෙම සැත්කමක් උදෙසා රුපියල් 2500ක් 3500 ක් අයකරනු ලබන අතර තවත් සමහර වෛද්‍යවරුන් රුපියල් 7500ක පමණ මුදලක් අය කරනු ලබයි. එම නිසා බොහෝ විට සාමාන්‍ය ජනතාව මෙවැනි සුනඛයකුගේ සැත්කමක් මේ සා විශාල මුදලක් වියදම් කර නොකරනු ඇතැයිද පවසන ඇය ඒ සඳහා රජයේ මැදිහත්වීම මත එම මිල තීරණය කිරීම සිදු කළ යුතු බව ඇගේ මතයයි.

එමෙන්ම අනුරාද ප්‍රසන්න සහ නිලූකා වන්නිආරච්චි යන යන තරුණ යුවළ ද වීදි සුනඛයන් වෙනුවෙන් බොහෝ කටයුතු සිදු කරයි. මේ මොහොතේ ද ඔවුන් ඇදිරිනීති බලපත් සහිත ව අත්තිඩියේ සිට ගල්කිස්ස, රත්මලාන, රාවතාවත්ත, මොරටුව ප්‍රදේශවල වීදි සුනඛයන් සඳහා ආහාර ලබා දෙන අතර පසුගිය දිනක සැත්කම් කීපයක් ද සුනඛයන් වෙනුවෙන් කිරීමට සමත් විය. ඔවුන් මේ කටයුත්ත කරනු ලබන්නේ කණ්ඩායමක් සමගිනි. whats app සමූහයක් යටතේ කණ්ඩායමක් සම්බන්ධ කරගෙන සිටින අතර දවසින් දවස ඔවුන් සුනඛයන්ගේ ආහාර වේල හුවමාරුකරගෙන ලබා දෙන්නට කටයුතු කරයි. ඔවුන් පවසන්නේ කෙසේ හෝ සුනඛයන්ගේ ආහාර වේල නියමිත ලෙස ලැබෙන බවත් එමෙන්ම සුනඛයන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කළයුතු හොඳම කරුණ වන්නේ සැත්කම් සිදුකිරීම බවත්ය. ඇඳිරි නීතිය ආරම්භ වූවායින් පසුගිය කාල සමයේ යම් යම් district clerk. පළාත් වල පොලිස් ස්ථානයන්වල පොලිස් ස්ථානයන් මගින් ද සුනඛයන් වැනි මෙන් ආහාර ලබා දීමේ කටයුත්ත සිදු කරනු ලැබිණි. එමෙන්ම සමාජ ජාලාවල ද බොහෝ සෙයින් ඡායාරූප පළ වී තිබුණේ වීදි සුනඛයන් උදෙසා ආහාර ලබා දෙන අයුරින්. ⁣කෙසේ හෝ ලාංකේය ජනතාව තුළ තිබෙන සත්ත්ව කරුණාව නිසා මෙවන් අවස්ථාවක වුව සතුන් වෙනුවෙන් තම ආහාර වේලෙන් කොටසක් හෝ ලබාදීමට ඔවුන් ඉදිරිපත් වේ.

අප හැමදාමත් මහමග දකින වීදි සුනඛයන් බෝවීම සිදුවන්නේ අන් කවරෙකුගේ හෝ වරදක් මත නොව මිනිසා විසින්ම සිදු කරනු ලබන ක්‍රියා නිසාය. එයින් අහිංසක සතුන් ද පීඩාකාරී තත්ත්වයකට පත්වන අතර මහමඟ යන ජනතාවට ද යම් විටෙක ඔවුන් නිසා කරදරවලට ලක්වීමට සිදු වේ. එම නිසා කළ යුතු හොඳම කරුණ වන්නේ ඔවුන් රැකබලා ගන්නා අතරතුර ම ව්‍යාප්තිය වැලැක්වීම සඳහා කටයුතු කිරීමයි.

 රජිත බස්නායක

Comments