කොවිඩ්19 පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව මැයි 3 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කිරීමෙන් පසුව ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේවන විට තීරණය කර තිබේ.
මාර්තු 29 වනදා ආරම්භ වීමට තිබූ විස්සයි 20 තරගාවලිය පසුව අප්‍රේල් 15 වැනිදා ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබිණ. එහෙත් අප්‍රේල් 14 වැනිදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන සව්රව් ගංගුලි ප්‍රධාන උසස්ම නිලධරීන් අතර පැවැති දුරකතන සම්මන්ත්‍රණයකදී තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමේ තීරණය කළහ.
සමස්ත ඉන්දියාවම මැයි මස 3 වැනිදා දක්වා වසා දැමීමට 14 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කිරීම හේතුවෙන් මෙවර අයි.පී,එල්. තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි බව කණ්ඩායම් හිමිකරුවන්ට දැනුම් දී තිබේ. අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමීන් විසින් 15 වැනිදා සියලුම කණ්ඩායම් වල හිමිකරුවන්ට ඒ බව දැනුම් දී තිබේ.
ඉදිරි සතිය තුළදී නීති රීති තවදුරටත් දැඩි කළ හැකි බව අගමැති මෝදි යෝජනා කර ඇතත් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා දී නැත. මෙ සටහන තබන විට ඉන්දියාවේ කොවිඩ්19 ආසාදිතයන් සංඛ්‍යාව 16,635 ඉක්මවා තිබූ අතර මරණ සංඛ්‍යාව 521කි.
මාර්තු 29 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය මැයි මාසයේදි ආරම්භ කර එය මාසයක තරගාවලියක් දක්වා කෙටි කිරීමටත් එහි අවසන් තරග ජූනි මාසයේ පළමු සතියේදී පැවැත්වීමටත් තහවුරු කරනු නොලැබූ සැලැස්මක් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබිණ. එහි විශේෂත්වයක් වූයේ තරග සියල්ලම තෝරාගත් ක්‍රීඩාංගණ කිහිපයකදී ප්‍රේක්‍ෂකයන් නොමැතිව පැවැත්වීමයි. එහෙත් දැන් ඒ බලාපොරොත්තුව ද සිඳී ගොස් තිබේ.
“අයි.පී.එල්. එක පැත්තකින් තියන්න කෝ..... මේ වන විට ලෝකයේ කිසිම තැනක කිසිම ආකාරයක ක්‍රීඩාවක් සඳහා අනුග්‍රහයක් නෑ..... ප්‍රායෝගිකව ගත්තොත්, ලෝකයේ සෑම තැනකම ජීවිතය ඇණ හිටලා තියෙන කොට ක්‍රීඩාවට අනාගතයක් ඇත්තේ කොහේද” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි විමසයි.
පසුගිය දෙසැම්බරයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 8 ක් විසින් ක්‍රීඩකයන් 62 දෙනකු මිලදී ගන්නා ලද අතර ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 140 ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 184 ක් ගෙවීමට නියමිතව තිබුණි.
සාමාන්‍ය පරිදි අයි.පී.එල්. ක්‍රීඩකයන්ට මෙම මුදල් ගෙවනු ලබන්නේ තරගාවලිය ආරම්භ වීමට සතියකට කලින් පොරොන්දු මුදලින් සියයට පනහකි. ඉතිරිය තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ගෙවනු ඇත. තරගාවලිය පැවැත්වූයේ නම් රූපවාහිනී අයිතිවාසිකම් හිමි ‘ස්ටාර් ඉන්දියා’ සමාගම වෙතින් එක් කණ්ඩායමක් සඳහා ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් ගෙවීමට එකඟතාවක් ද තිබිණ.
එහෙත් යම් හෙයකින් තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත් කිසිම ක්‍රීඩකයකුට හෝ කණ්ඩායමකට මුදල් හිමි නොවේ.
ආරක්ෂක හේතුන් මත 2009 තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යන ලද අතර, 2014 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අර්ධ වශයෙන් පවත්වන ලද්දේ තරගාවලිය පැවැත්වූ කාලයේදී ඉන්දීය මහ මැතිවරණයද යේදී තිබීම හේතුවෙන් ආරක්ෂක හමුදාවන්හි සේවය ඒ සඳහා ලබා නොදීම නිසාවෙනි.










