අයි.පී.එල්. අවලංගු කළොත් පාඩුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 10,000 ක් ඉක්මවයි | සිළුමිණ

අයි.පී.එල්. අවලංගු කළොත් පාඩුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 10,000 ක් ඉක්මවයි

කොවිඩ් 19 වසංගතය වැනි හදිසියේ ඇතිවිය හැකි ස්වභාවික ආපදාවක් සම්බන්ධයෙන් රක්ෂණයක් නොමැති නිසා, මේ වසරේදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ පාර්ශ්වකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පමණ අලාභයක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 100 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 10,000 ක් ඉක්මවන්නකි.

මේ වසරේ අයි.පී.එල් තරගාවලිය අවලංගු කිරීමෙන් විකාශන අයිතිය හිමි සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 428 ක සෘජු අලාභයක් මෙන්ම ක්‍රීඩකයන්, කණ්ඩායම් හිමිකරුවන්ට සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා තවත් අමතර අලාභයක් සිදුවනු ඇත.

කොවිඩ්19 ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දීය රජය ඉන්දියාව තවමත් අගුළු දමා තිබේ. තරගාවලි සංවිධායකයින් විසින් තරගාවලියේ ආරම්භය අප්‍රේල් 15 වැනිදා දක්වා කල් දැමූවද ඉන්දීය අගමැතිවරයා විසින් තම රට අගුළු දමන ලද්දේ එයින් පසුවය. එබැවින් අයි.පී.එල්. තරගාවලිය තවදුරටත් කල් දැමීම වැළැක්විය නොහැකිය.

මේ වසරේ අග භාගයේ දී තරගාවලිය පැවැත්විය හැකි අවස්ථා පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සොයා බැලුවද ක්‍රිකට් කැලැන්ඩරයේ ඒ සඳහා දින සොයා ගැනීම අපහසුවී තිබේ. දැනට ඇති එකම විකල්පය වන්නේ ආසියානු කුසලන තරගාවලිය කල්දැමීමට යෝජනා කර එම දිනවලදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමයි.

අනෙක් අතට අයි.පී,එල්. තරගාවලිය අවලංගු කිරීම යනු රසිකයන්ට බලාපොරොත්තු සුන්වීමක් පමණක් නොව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ අයි.පී.එල්. පාර්ශ්වකරුවන්ට දැවැන්ත මූල්‍යමය බලපෑමක් ඇති කරවන සිදුවීමකි.

ඉන්දීය රුපියල් කෝටි 6138.1 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 944 ක් පමණ) වටිනා පස් අවුරුදු ගනුදෙනුවක් බිඳවැටීමෙන් පසුව 2018 දී ස්ටාර් ඉන්දියා මාධ්‍ය ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹියේය. නමුත් ඉහත සඳහන් ගනුදෙනුව වසර 5 ක කාලයක් සඳහා ඉන්දීය ජාතික කණ්ඩායමේ දේශීය තරග සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ මාධ්‍ය අයිතිවාසිකම් සඳහා පමණි.

එහෙත් 2017 දී ‘ස්ටාර් ඉන්දියා’ මාධ්‍ය ආයතනය අයි.පී.එල් තරගාවලිය සඳහා රූපවාහිනී සහ ඩිජිටල් අයිතිවාසිකම් දිනා ගෙන තිබුණි. ඒ 2018 සිට 2022 දක්වා වසර 5 ක කාලයක් සඳහා ලෝකය පුරා තරග විකාශය කිරීමේ අයිතිවාසිකම් වෙනුවෙනි. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 16,347.50 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 2550 කි. එය රූපවාහිනී අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම ගනුදෙනුව ලෙසින් ද සැලකේ.

මේ අනුව, මේ වසරේදී අයි.පී.එල් තරගාවලිය අවලංගු කළහොත්, පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දීය රුපියල් කෝටි 1216 ක අලාභයක් ලැබූ ‘ස්ටාර් ඉන්දියා’ සමාගමට සෘජුවම රුපියල් කෝටි 3269.50 ක අලාභයක් සිදුවනු ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් ‘වීවෝ’ සමාගම සමග එළැඹි ගිවිසුම වසර 5 ක කාලයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 2,000 කි. එබැවින් මේ වසරේදී අයි.පී.එල්. තරගාවලිය අවලංගු කළ හොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටී 400 ක පාඩුවක් සිදුවනු ඇත.

අයි.පී.එල්. තරගාවලියේ ඉදිරිපෙළ අනුග්‍රාහකයන්ගෙන් රුපියල් කෝටි 200 ක අලාභයක් සිදු වන අතර, මේ වසරේදී අයි.පී.එල්. තරගාවලියට ඉන්දීය හා විදේශීය ක්‍රීඩකයින් ක්‍රීඩා නොකරන්නේ නම් ඒකාබද්ධ අලාභය රුපියල් කෝටි 3,869.50 ක් හෙවත් ඩොලර් මිලියන 500 ඉක්මවනු ඇත.

 

Comments