
කොරෝනා වසංගතය පැතිර යෑම ශීඝ්‍රයෙන් වැඩිවීමත් සමඟම ලොව බොහෝ රටවල් ප්‍රථමයෙන්ම සිදු කෙළේ ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු සීමා කිරීමයි. එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හැර අනෙක් ගුවන් සේවා නවතා දමන්නට කටයුතු කෙරුණු අතර ඒ නිසා විදේශගතව සිට යළි තමන්ගේ මවුරට බලා එන්නට සිටි බොහෝ අයට එසේ පැමිණීමට නොහැකි විය.කෙසේ හෝ තම ගමන් සකස් කරගන්නට ඇතැම් අය සමත් වූහ. ඒ අතර චීනයේ වූහාන් හි සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනකුගෙන් සමන්විත පිරිසක් ගුවන් මඟින් ගෙන එන්නට රජය කටයුතු කෙළේ චීනයේ කොරෝනා වසංගතය පාලනයකින් තොරව වේගයෙන් පැතිර යමින් දිනකට දහස් ගණන් මිය යන්නට වූ නිසාය .ඒ වන විට වූහාන් දක්වා ගුවන් ගමන් නවතා දමා තිබුණ අතර අනෙක් රටවල් සිය සිසුන් ගෙන්වාගැනීම නවතා තිබිණි.
එහෙත් අපේ දරුවන් යන හැඟීම මුල් කරගත් ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් එසේ සිසුන් ගෙන ඒමට කටයුතු කෙළේය.
ඒ වන විට කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට පැමිණ නොතිබූ අතර ආසියානු රටවලද එතරම් වේගයෙන් පැතිර නොගිය හෙයින් අනෙකුත් රටවල සිටි සිසුන් ඇතුළු පිරිස් ඒ ගැන වැඩි අවධානයක් යොමු කෙළේ නැත. එහෙත් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව වැනි රටවලටද එක්වරම රෝගය පැතිර යත්ම ගැටලු ඇති විය. ඉන්දියාව දින 21කට වසා දමන්නට අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කෙළේ රටේ අධික ජනගහනය පාලනය කිරීම දැඩි අර්බුදකාරී වන බව දන්නා නිසාය. ඒ අනුව රටේ කිසිදු ප්‍රවාහන කටයුත්තක් හෝ වෙළෙඳ කටයුත්තක් හෝ සිදු නොවිණි. ඒ නිසා විදේශ රටවල අධ්‍යාපනය ලැබූ සිසුන්ට ගැටලුවක් වූයේ එම අධ්‍යාපන ආයතන ද එක්වරම වසා දැමීම නිසයි.
එසේ වසා දැමුණු විශ්වවිද්‍යාලයන්හි සිසුන්ට ආරම්භයේදී ආහාර සපයා දෙන්නට කටයුතු කළද වසංගතය වේගවත් වීමත් සමඟ එම ආහාර සැපයුම්ද නතර විය. ඒ, එම රටවල් වසාදමා සේවා අක්‍රීය කිරීමත් සමඟය. මේ නිසා චීනයේ, ඉන්දියාවේ, පාකිස්තානයේ, නේපාලයේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, බෙලරුස් යන රටවල සිටි සිසු සිසුවියෝ දැඩි අසරණතාවයට පත් වූහ. විශේෂයෙන්ම ගුවන් ගමන් අත්හිටුවා ඇති හෙයින් එම සිසු සිසුවියෝ කබලෙන් ළිපට වැටුණාහ. ඔවුන්ට එරට අධ්‍යාපන ආයතනවල සිටින්නට නොහැකි ය. එමෙන්ම ගුවන් ගමන් නැති හෙයින් මවුරටට පැමිණෙන්නට ද නොහැකිය. එම නිසා ඔවුහු තමන් සතු දුරකතන යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ගෙන්වා ගන්නැයි ආයාචනා කළහ. ඒ අනුව ශ්‍රී ලාංකික සිසු සිසුවියෝද තමන් ගෙන්වා ගන්නැයි බලවත් සේ ආයාචනා කළහ.
එහෙත් ඒ වන විට කොරෝනා මර්දනයට ගත් පියවර අනුව ශ්‍රී ලංකාවට මඟී ගුවන් යානා ගොඩබෑම තහනම් කර තිබිණි. ඉන්දියාවේ නවදිල්ලි හා චෙන්නායිහි සිරවී සිටි වන්දනා නඩ කීපයකට අයත් මඟීන් 1198 දෙනකු විශේෂ ගුවන් යානා මඟින් ගෙන්වා නිරෝධායනය කිරීමට ඒ වන විටත් පියවර ගෙන තිබිණි. සිසු සිසුවියන් දිගින් දිගටම කළ ඉල්ලීම් හා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය වූ හෙයින් රජය කොරෝනා මර්දනය කරන අතරතුරදීම එම සිසුන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙළේය. ඒ අනුව විදේශ රටවල සිරවී සිටින සිසුන්, මෙන්ම ඖෂධ අවසන් වී සිටින රෝගීන් මෙන්ම මුදල් නැතිව එතෙර සිර වී සිටි ශ්‍රී ලංකාවාසීන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කැබිනට් තීන්දුව ගත්තේය.
වැඩිම සිසුන් පිරිසකට ගැටලු ඇතිව තිබුණේ ඉන්දියාවේය. ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මෙරට සිසුන් අධ්‍යාපනය ලැබූ අතර ඔවුනට ආහාර සපයාගැනීම පව දුෂ්කර වී තිබිණි. ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා අපට කීය. එතෙර සිර වී මවුරට පැමිණෙන්නට බලාපොරොත්තුව සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් මේ අවස්ථාවේදී පුමුඛ අවධානය යොමු කරන්නේ සිසුන්ට බව පෙන්වා දුන් ඔහු ඒ අනුව කටයුතු කළ බව ද කී ය.
ඒ අනුව විදෙස් ගතව මෙරටට ඒමට නොහැකිව සිටි සිසුන් හා පාඨමාලා පිණිස ගොස් සිටි පිරිස් හි පළමු කණ්ඩායම පසුගිය 21 වැනිදා පස්වරුවේ මෙරටට ගෙන්වන ලදී. ඒ පාකිස්තානයේ සිටය. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.05ට එම ගුවන් යානය මෙරටට පැමිණියේය. පාකිස්තානයේ ලාහෝරයේ හා කරච්චියේ සිටි එම පිරිස මෙරට ගෙන්වා ගත් අතර ඊට අයත් වූ පිරිස 113කි. ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයෝ 93 දෙනෙක් සහ කරච්චි නුවර සිට 20 දෙනෙක් යූ - එල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණියහ. එසේ පැමිණි සිසුන් අතර පාඨමාලා පිණිස ගොස් සිටි යුද හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා සාමාජිකයෝ 82ක්ද වූහ. ඔවුහු තම පාඨමාලාව අවසන් කර මාසයක් පමණ කාලයක් එම පාඨමාලාව පැවැත්වූ ආරක්ෂක පීඨවලම ආරක්ෂා සහිතව රැඳී සිට එසේ ආපසු පැමිණි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක හා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සිළුමිණට කීවේය.
පාකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සෞඛ්‍යාරක්ෂිත ලෙසින් සියලු ආරක්ෂක ක්‍රම අනුගමනය කර පැමිණි අතර ගුවන් මඟීන් 113 දෙනා ගුවන් යානයේ අසුන් ගැන්වූවේද මීටරයක් දුර ඇති වන පරිද්දෙනි. ඒ අසුනක් හැර අසුනක එක් ගුවන් මඟියකු හා අනෙක් අසුන් හි දෙකෙළවර අසුන් ගන්නා ලෙසිනි. එසේ අසුන් ගෙන්වා ඔවුන්ට ආහාර පාන ලබාදීමේදී ද කාර්ය මණ්ඩලයේ හා ගුවන් මඟීන්ගේ සෞඛ්‍යාරක්ෂාව නිසි පරිදි රැකෙන සේ ක්‍රමවේද අනුගමනය කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.පාකිස්තානයේ සිට කටුනායකට පැමිණි සියලු ගුවන් මඟීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවෙන් පසුව සිසුන් පිරිස පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කළ අතර හමුදා නිලධාරීහු සියලු දෙනා ඒ ඒ හමුදාවන්ට අයත් හමුදා කඳවුරුවල ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන වෙත දින 21ක නිරෝධායන කටයුතු සඳහා පිටත් කර හරිනු ලැබූහ.
පාකිස්තානයේ මෙන්ම ඉන්දියාවේ හා නේපාලයේ සිරවී සිටින සිසුන් ගෙන ඒමේ ක්‍රියාදාමයේ තවත් පියවර දෙකක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ. එල් 146 ගුවන් යානයෙන් අප්‍රේල් මස 23 වැනිදා බ්‍රහස්පතින්දා සවස ඉන්දියාවේ අමරිට්සර් සිට සිසුන් 101ක් මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. එසේම තවත් විශේෂ ගුවන් ගමන් දෙකක්, අප්‍රේල් මස 24 වන දින සිදු කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යූ. එල් 194 ගුවන් යානයෙන් ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයන් 117ක් සහ යූ. එල්. 1425 දරන ගුවන් යානයෙන් නේපාලයේ කත්මන්ඩු සිට තවත් මගීන් 93ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබිණි. ඒ සියලු දෙනා උසස් අධ්‍යාපනයට ගොස් සිටින සිසු සිසුවියෝය. ඒ අනුව සතිය නිමා වන විට එම රටවල් 3හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 443 දෙනෙක් එලෙස දිවයිනට රැගෙන ඒමට කටයුතු කරනු ලැබූහ.
විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස එම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ සහයෝගයකින් යුක්තව සිදු කෙරේ. ඉදිරියේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැනක් ලබාදෙමින් බෙලරූස්, ජපානය වැනි රටවල් සිරවී සිටින සිසුන්ද ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ඉන්දියාවේ මෙන්ම අනෙක් රටවල ආගමන හා විගමන අංශවල විශේෂ අවසර හා අනුමැතීන්ට යටත්ව රාජ්‍ය මට්ටමින් එම සියලු කටයුතු සිදු කෙරන අතර විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත.
එලෙස ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියාපටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ අනෙක් අංශ වෙත භාර දෙනු ලැබේ. ඒ සමස්ත රටේම ආරක්ෂාව පිණිසය. මේ වන විට ඉන්දියාවේ පමණක් සිසු සිසුවියන් 1000කට ආසන්න පිරිසක් පැමිණීමට බලාපොරොත්තුව සිටින අතර ඉදිරියේදී ඔවුන් ගෙන්වාගැනීමට ක්‍රමයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ සෞඛ්‍යාරක්ෂාවට මුල් තැනක් දෙමිනි.