
මේ වන විට කොවිඩ් - 19 හොඳින්ම පාලනය කර ඇති රටවල් අතර ඉදිරියෙන්ම සිටින නවසීලන්තයේ රාජ්‍ය නායිකාව නව 39 හැවිරිදි ජසින්ඩා ආර්ඩන් ඒ සම්බන්ධව මුළු ලෝකයේම ඇගයීමට පත්වෙමින් තිබේ. වයිරසය තම රට තුළ පැතිර යෑම පාලනය කිරීමට ඒ ඒ රටවල් ගන්නා ක්‍රියාමාර්ග මගින් ඒ ඒ රටවල දේශපාලන නායකත්වයේ ශක්තියද ඉස්මතුව පෙනෙන බව විචාරකයන්ගේ අදහස වී තිබේ.
නවසීලන්ත අගමැතිනිය ලෝකයේ සෙසු රටවල කොවිඩ් පැතිර යෑම ආරම්භ වූ ආසන්නයේම තම රට වසා දැමීමට කටයුතු කළාය. නවසීනත්යේ පිහිටීමද මෙහිදී ඇයට පහසුවක් ගෙන දුන් බවද අමතක කළ යුතු නැත. කෙසේ වුවද රාජ්‍ය නායකයා ලෙස ඇය දෙවරක් නොසිතා යම් යම් තීරණවලට පැමිණි බව නම් පැහැදිලිය.
රෝගය පාලනය කිරීමෙන් නොනැවතී තොරතුරු ජනතාවට දැනුම් දීමේදී ද අගමැතිනියම සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාවට තොරතුරු සම්පානය කරන බවත්, එමගින් ඇය කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩිවෙමින් පවතින බවත් විචාරකයන් පෙන්වා දී තිබේ. මේ වන විට බොහෝ ලෝක නායකයන් මාධ්‍ය වෙතින් පැන ගොස් ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙක් මාධ්‍ය හමුවට පැමිණියද ඔවුන් ජනතාවට නිශ්චිත තොරතුරු නොසපයන බවටද චෝදනා එල්ල වී තිබේ. එහෙත් නවසීලන්ත අගමැතිනිය මේ වන විටත් නිශ්චිත තොරතුරු ඇය විසින්ම විශ්වසනීය ලෙස සමාජ ගත කරමින් සිටින්නීය.
පසුගිය මාර්තු මාසයේ සිට කොවිඩ් වක්‍ර නිශ්චිත ලෙසම පහත දමා ගනිමින්, නිශ්චිත පාලනයක පවත්වා ගැනීමට නවසීලන්තය සමත් වී තිබේ. එමෙන්ම වාර්තා වන රෝගීන් අවම වුවද නවසීලන්තය නොකඩවා පරීක්ෂණද පවත්වමින් සිටීමද ඇගයීමට ලක්වී තිබේ.