මෑත කාලීන ලෝක වසංගත ඉතිහාසයෙන් බිඳක් | සිළුමිණ

මෑත කාලීන ලෝක වසංගත ඉතිහාසයෙන් බිඳක්

අපි වසංගතයක් අත්විඳිමින් සිටිමු. අප පමණක් නොව අපේ පෙර පරම්පරාව පවා පවසන්නේ මෙවන් වසංගතයක් තමන් මීට පෙර කිසිදා අත්නොවිඳි බවයි. සැබවින්ම මේ ගත වන්නේ මිනිස් වර්ගයා පොදුවේ, එහෙත් ඉතා කළාතුරකින් මුහුණ දෙන ව්‍යසනකාරී අත්දැකීමකටය. කොවිඩ් - 19 ලෙස නම් ලබා ඇති මේ රෝගය මිනිසුන් අතර පැතිරී යන්නේ ඉතා ක්ෂණයකිනි. එය මේ ලියන මොහොත වන විට ලොව පුරාා මිනිසුන් ලක්ෂ 20කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් අවසානය. එමෙන්ම එය මේ දක්වා පැතිරීමේ අවසානයක් සම්බන්ධයෙන් ඉඟියක් හෝ පළ වී නොමැත. ඒ අනුව යම් දිනක වයිරසයේ පැතිරීම අවසන් වන විට ඉහත සංඛ්‍යාවට තවත් බොහෝ පිරිසක් එකතු වී සිටිනු නොඅනුමානය.

මෙවන් විනාශකාරී තත්ත්වයක් දැනට ජීවත්ව සිටින අති බහුතරයක් දෙනා අත්නොවිඳියද, ලොව පුරා වසංගත පැතිර යෑම එතරම් අමතු දෙයක් නොවේ. වසංගත පිළිඹඳ මෑත කාලීන ඉතිහාසය විමසා බලන විට පෙනී යන්නේ කොවිඩ් -19 තරම් ව්‍යසනකාරී නොවූවද වසංගත මිනිස් සමාජයට අමුතු අත්දැකීමක් නොවන බවයි. පසුගිය වසර සියයක කාලය විමසා බැලූ විට වසංගත කිහිපයක්ම මිනිස් සමාජයට පහර එල්ල කළද ඒ කිසිවක් සමස්ත ලෝකය පුරා පැතිර යෑමට පෙර මර්දනය කිරීමට මිනිසා සමත් වී ඇති බවද දැකිය හැකි පොදු ලක්ෂණයකි.

ඒ අතරින් ස්පාඤ්ඤ උණ වසංගතය වැඩිම ප්‍රසිද්ධියක් උසුලන සහ වැඩිම ව්‍යසනයක් මිනිස් සමාජයට ගෙන දුන් වසංගතය ලෙස හැඳින්විය හැකිය. ස්පාඤ්ඤ උණ සහ කළු මරණය හෙවත් මහාමාරිය ගැන බොහෝ දෙනා මේ වන විට අතීත තොරතුරු ගෙනහැර දක්වා ඇති බැවින් වඩා ‍ප්‍රසිද්ධ නොවූ එහෙත් පසුගිය වසර සියයකට මෙපිට ඉතිහාසයේ මිනිසුන් මුහුණ දුන් වසංගත කිහිපයක තොරතුරු විමසීම සිත් ඇදගන්නා සුළු ක්‍රියාවකි.

පසුගිය සියවසේ ආරම්භයෙන් මද කළක් ගිය තැන ලොවම ආක්‍රමණය කල ස්පාඤ්ඤ උණෙන් පසු යළිත් වසංගතයක් වාර්තා වන්නේ වර්ෂ 1967දීය. ලොව මුල්වරට හඳුනාගත් කොරෝනා වයිරස අතරට එක්වූ මේ වයිසරයේ පැතිර යෑම ආරම්භ වූයේ අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති උගන්ඩාවෙනි. විද්‍යාඥයන් පසුව තහවුරු කරණු ලැබුවේ මෙය වවුලන්ගෙන් මිනිසුන්වෙත පැතිරී ගිය වයිරසයක් බවයි. පසුව මාබර්ග් වයිරසය ලෙසින් නම් ලැබූ මේ කොරෝනා වයිරසය මිනිසුන් 590ක් ආසාදනයට ලක් කළ අතර ඒ අතරින් 478ක් මරණයට පත්විය. කෙසේවුවද විද්‍යාඥයන් මේ වයිරසය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතක් සොයා ගැනීමට සමත් වූයෙන් මාබර්ග් වයිරසය මිනිස් වර්ගයාට කළ හානිය එතරම් විශාල වූයේ නැත. එහෙත් ආසාදනය වූවන්ගෙන් අති විශාල පිරිසක් මරණයට පත්වූයෙන් මාබර්ග් වයිරසයේ මරණ අනුපතාය ඉතිහාසයට එක්වී ඇත්තේ සියයට 81ක් වශයෙනි.

යළිත් වරක් 1976 වසරේදී සතුන් අතරින් මතුවූ වයිරසයක් මිනිසුන් අතර පැතිර ගිය අතර එය අතිශයින් දරුණු හා ව්‍යවසකාරී වූයේ එය ස්පර්ෂයෙන් පවා බෝ වන වයිරසයක් වූ බැවිනි. එය එබෝලා නම් විය. අදටත් වරින් වර අප්‍රිකානු රටවලින් මතුවන යළිත් යට යන එබො‍්ලා මුල්වරට වාර්තා වූයේ කොංගෝ ජනරජයෙනි. එබෝලා වයිරසයේ ව්‍යප්ත වීම බැලූ විට පසුගිය වසර දක්වා ඉතිහාසයක් පැවතියද එය ප්‍රථම වරට මිනිස් වර්ගයාට ආසාදනය වූ අවස්ථාවේදී ආසාදනයට ලක් වූ පිරිස 33,678ක් ලෙස වාර්තා විය. ඒ අතරින් 14,963ක් මරණයට පත් වූහ. මෙය අති දරුණු ලෙස පැතිර ගිය වසංගතයක් වූ අතර ඉතා දුශ්කර ජීවිත ගෙවමින් සිටි බොහෝ අප්‍රිකානු රටවල ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට ඇත දැමීමට මේ වයිරසය සමත් විය. කෙසේ වුවද මේ දක්වා වරින් වර ඉබෝලා මතුවෙමින් පැවතියද එය ආසියාවට හෝ යුරෝපයට හෝ අමෙරිකා මහාද්වීපයන් වෙත පැතිරී ගිය බවට වාර්තා නැත. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුන වන්නේ ඉබෝලා වයිරසයද මිනිසුන් වෙත පැමිණෙන්නේ වවුලන්ගෙන් වීමය.

යළිත් දශක කිහිපයක් මිනිසුන්ට වයිරස්වලින් තොර කාලයක් ගත කිරීමට හැකියාව ලැබුණු අතර වයිරසයක ව්‍යප්තිය නැවත වරක් වාර්තා වන්නේ 1999 වසරේදීය. මෙවර මැලේසියාවෙන් වාර්තා වූ එම ‍කොරෝනා වර්ගයේ වයිරසයද මිනිසුන්ට ලැබුණේ වවුලන්ගෙනි. NIPAH යනුවෙන් නම් ලැබූ එම වයිරසය පුද්ගලයන් 496කට ආසාදනය වූ අතර ඒ අතරින් 265ක් ජීවිතක්ෂයට පත්විය. සාපේක්ෂව රෝගය ආසාදනය වූ ප්‍රමාණය අවම වුවද මරණ ප්‍රමාණය සාපේක්ෂව ඉහළ බැවින් මේ වයිරසයේ මරණ අනුපාතය සියයට 53ක් විය.

කොරෝනා වයිරස කාණ්ඩයේ ඉතා ප්‍රසිද්ධ වයිරසයක් වූයේ සාර්ස් වයිරසයයි. මෙය ප්‍රථම වරට 2002 වර්ෂයේදී වාර්තා වූ නමුත් සැලකේනේ 2002- 2003 ලෝක ව්‍යප්ත වසංගතයක් වශයෙනි. සාර්ස් වසංගතයේ ග්‍රව්න්ඩ් සීරෝ හෙවත් ආරම්භක භූමිය වුයේ ද චීනයයි. සාර්ස් වයිරසය වවුලන් සහ සිවිට් බළලුන් අතරින් මිනිසා වෙත පැමිණි වයිරසයක් සේ විශ්වාස කෙරේ. එහෙත් ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ තවත් වන සතුන්ගෙ දායකත්වය මේ සඳහා හිමිවන්නට ඇති බවයි. චීනයේ ග්වැන්ගොන්ග් පළාතෙන් ප්‍රථම සාර්ස් රෝගීන් වාර්තා වූ අතර එය ඉක්මනින්ම චීනයෙන් පිටතටද ව්‍යප්ත විය. අවසානයේ රටවල් 26කින් ආසාදිතයන් 8098ක් රෝගීන් වාර්තා වූ අතර වසංගතය අවසන් වන විට මරණ 774ක් ලෙස සටහන් විය. කෙසේ වුවද සාර්ස් වසංගතය පාලනය කිරීමට මිනිසාට හැකිවූයේ සිංගප්පූරුවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් එන්නතක් සොයා ගැනීමෙන් පසුවය.

2003 වසරේදී යළිත් වරක් චීනයෙන් තවත් වසංගතයක් ඇරඹෙන්නේය. එය H5N1 යනුවෙන් නම් ලද නමුත් එය ලෝකප්‍රසිද්ධ වූයේ කුරුළු උණ යනුවෙනි. මෙය කුකුළන්ගෙන් මිනිසුන් අතරට පැමිණි වසංගතයක් වූ අතර මේ රෝගයට කුරුල්ලන් මෙන්ම කුකුළන්ද විශාල වශයෙන් ගොදුරු වූයේ මිනිසුන්ට අමතරවය. අවසානයේ අසාදිතයන් 861ක් සහ මරණ 455ක් වාර්තා වීමෙන් පසු රෝගය පාලනය කිරීමට මිනිසාට හැකිවිය.

වයිරස් වසංගත බොහොමයක් ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් වාර්තා වන විට ඒ සියල්ල පරදන තරමේ දැවැන්ත වයිරසයක් 2009 වසරේදී අමෙරිකාවෙන් වාර්තා විය. මේ වයිරසය ඌරන්ගෙන් මිනිසුන්ට පැතිරුණු වයිරසයක් සේ තහවුරු වී තිබෙන අතර ආරම්භක භූමිය හෙවත් ග්‍රවුන්ඩ් සීරෝ ලෙස හඳුනාගනු ලැබූවේ අමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝවයි. මේ වයිරසය ලොව පුරා ජනප්‍රිය වූයේ ඌරු උණ යනුවෙනි. 2009 ජූනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහි ලෝක ව්‍යප්තිය නිවේදනය කළ අතර වයිරසය හේතුවෙන් සිදුවූ මරණ 18,500ක් විද්‍යාගාරවලදී තහවුරු කර තිබිණි. එහෙත් පසුව නිවේදනය කරණු ලැබුවේ මේ වයිරසය හේතුවෙන් මරණ 123 000 – 203 000ත් අතර මරණ සංඛ්‍යාවක් සිදුවන්නට ඇති බවයි. කෙසේවුවද ඌරන් හේතුවෙන් මිනිසුන් අතරට ව්‍යප්ත වූ එකම වයිරසය මෙය නොවන බවද සඳහන් කළ යුතුය. වරින් වර ලෝකයේ රටවල් කිහිපයකින්ම මේ ඌරු උණ විශේෂ වාර්තා වූ අතර, ඒ වයිරස ලෝක ව්‍යප්තියක් සිදුවන්නට පෙර පාලනය කරගැනීමටද මිනිසා සමත් විය.

කොරෝනා වයිරස් පවුලේම තවත් වයිරසයක් හේතුවෙන් ව්‍යප්තිය ඇරඹි මර්ස් රෝගයේ ග්‍රවුන්ඩ් සීරෝ ලෙස හඳුනා ගනු ලැබූවේ සවුදි ආරබියයි. මර්ස් පැතිරීම 2012දී ආරම්භ වූ අතර එම කොරෝනා වයිරසය ඔටුවන්ගෙන් මිනිසුන්ට බෝ වුණු බව පර්යේෂණ මගින් සනාථ කෙරිණි. මිනිසුන් 2494කට රෝගය ආසාදනය වූ අතර මරණ 858ක් වාර්තා වූයේ මරණ අනුපාතය සියයට 35ක් බවට පත් කරමිනි.

කොරෝනා වර්ගයට අයත් නොවූවද තවත් වයිරසයක් 2013දී චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යප්ත විය. තවත් කුරුළු උණ වි‍ශේෂයක් වූ මේ වයිරසය H7N9 යනුවෙන් නම් කෙරිණි. එහිදී අසාදිතයන් 1568ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 616ක් විය. මීට අමතරව සෑම වසරකම කුරුල්ලන් සහ ඌරන්ගේ මිශ්‍රවීමකින් වයිරස මිනිසා අතර පැතිර යන අතර එමගින් පැතිරෙන රෝගවලට මිනිසුන් බිලියන ගණනින් ආසාදනය වීම සිදුවේ. එය මේ ගත වන මොහොත වන විටත් සිදුවෙමින් පවතින අතර ඒවා ලෝක මට්ටමේ වසංගතයක් ලෙස නොසැලකෙන්නේ වසර ගණනාවක් පුරා අඛණ්ඩව සිදුවෙමින් පවතින බැවිනි.

මේ අතරට අලුතෙන්ම පැමිණි සාමාජිකයා කොවිඩ් වසංගතයයි. එය මේ වන විටත් වාර්තා අතරට එක්වෙමින් සිටින්නේ ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම අතිවිශාල සංඛ්‍යාවක්ද වාර්තා කරමිනි. එහෙත් එය යම් දිනක ඉතිහාසයට එක්වනු ඇත්තේ ‍සමස්ත ලෝක ආර්ථිකයට එල්ල කරන ලද මරු පහර හේතුවෙන් වනු ඇත.

Comments