
මේ වන විට මාසයකටත් වැඩි කාලයක් පුරා පාලනයකින් තොරව ලොව පුරා මිනිස් ඝාතන සිදු කරමින් පැතිරෙන වයිරසයක් සම්බන්ධව අඛණ්ඩව ලිපි සැපයීමට සිදුව තිබේ. සැබවින්ම එය කණගාටුවට කරුණකි. රෝගය පාලනය කිරීමට සමත් එන්නතක් හෝ ඖෂධයක් හෝ වෙනයම් ක්‍රමයක් හෝ සොයා ගැනීමට මිනිස් වර්ගයා සමත් වන දිනයක් තවමත් දක්නට නැත.
මේ ලියන මොහොත වන විට ලොව පුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 89,954කි. බොහෝදුරට ඔබ මෙය කියවන සෙනසුරාදාව වන විට එය ලක්ෂය ඉක්මවා ගොස් තිබීමට ඇත්තේ විශාල ඉඩකඩකි. චීනයෙන් මරණ 3000 ඉක්මවා වාර්තා වන විට භීතියට පත්ව සිටි අප මේ මරණ සංඛ්‍යාව හමුවේ නිර්වින්දනයව සිටින්නෙමු. සමස්ත ලෝකය පුරා මේ වන විට කොවිඩ් රෝගීන් ලක්ෂ 15 ඉක්මවා වාර්තා වී ඇති අතර එයින් තවමත් සම්පූර්නයෙන් සුවය ලබා සිටින්නේ ලක්ෂ තුන ඉක්මවූ සංඛ්‍යාවකි.
කොවිඩ් - 19 වයිරසයේ උපත වාර්තා වීම හේතුවෙන් පසුගිය ජනවාරි මස වසා දැමුණු චීනයේ වූහාන් නගරය පසුගියදා සාමාන්‍ය ජනජීවිතය සඳහා විවෘත විය. එහි සතුට සැමරීම වෙනුවෙන් නගරයේ ගොඩනැගිලි විදුලි එළිවලින් ආලෝකමත් කර තිබිණි. මේ වන විට චීනය සැබෑ ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ අලු මතින් නැගී සිටි ෆීනික්ස් පක්ෂියකු පරිද්දෙනි. වයිරසයේ පැතිරීම හේතුවෙන් චීනය යළි කිසිදා නැගිටීමට නොහැකි වන සේ ඇදවැටෙන බවට ඇතැමුන් පැවසූ අනාවැකි සහමුලින් බොරු වී තිබේ. ඒ වෙනුවට චීනයේ ආර්ථික දේශපාලන ප්‍රතිවාදීන්ට මේ වන විට නොසිතූ දැවැන්ද අර්බූදයකට මුහුණ දීමට සිදුවී තිබේ. කණගාටුවට කරුණ වන්නේ එම අභියෝගය ජය ගැනීමට එම රටවලට මළකඳන් මතින් නැගිටීමට සිදුව තිබීමය.
මේ වන විට බරපතලම ඛේදවාචකය වාර්තා කරමින් සිටින අමෙරිකාව දිනකට මරණ දහස ඉක්මවා වාර්තා වීම කණගාටුදායකය. මේ වන විට එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,000කට ඉතා ආසන්නය. එහෙත් වඩාත් කණගාටුදායක වන්නේ ස්පාඤ්ඤය සහ ඉතාලිය තවමත් දිනකට දහසකට ආසන්න මරණ වාර්තා කරමින් ලැයිස්තුවේ පෙරමුණේ රැඳී සිටීමය. මේ වන රටක් වශයෙන් වැඩිම මරණ වාර්තා කර සිටින්නේ ඉතාලිය වුවද ස්පාඤ්ඤයෙන් ලැබෙන වාර්තාද සතුටුදායක නැත. මේ වන විට ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 15,328කි. බොහෝ විට මේ සංඛ්‍යා ලේඛන දෝශ සහගත විය හැකි බවත් සත්‍ය වාර්තා වඩාත් කණගාටුදායක විය හැකි බවත් අමතක කළ යුතු නොවන්නේය. ඉතාලිය මේ වන විට දෛනික මරණ ආසන්න සංඛ්‍යාවක් වශයෙන් ප්‍රතාශයට පත් කරමින් සිටින අතර සමස්ත මරණ සංඛ්‍යාව මේ ලියන අවස්ථාව වන විට වාර්තා වන්නේ 17,669ක් වශයෙනි.
ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය සහිත අමෙරිකාව කොවිඩ් හමුවේ ඉතා බරපතල අවස්ථාවක් පසුකරමින් සිටින අතර ලෝකයේ දෙවැනියට හොඳම සෞඛ්‍ය සේවය සහිත ජර්මනිය අඩම්බරයෙන් හිස ඔසවා සිටීමට සමත්ව තිබේ. මේ වන විට ජර්මනියේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබුණද තවමත් එරටින් වාර්තා වී ඇත්තේ මරණ 319ක් පමණි. ප්‍රංසයෙන් ජර්මනියට වඩා වැඩි ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වුවද එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබේ. ලෝකයට පුරසාරම් පවසන බොහෝ රටවල සත්‍ය ශක්‍යතාව මැනවින් ලොවට පෙන්වා දීමට කොවිඩ් වයිරසය සමත්ව තිබේ යැයි පැවසීමට වුවද හැකිය.
කෙසේ වුවද මේ සියලු රටවල් අතරින් වඩාත් කණගාටුදායක අවස්ථාව පසුකරමින් සිටින්නේ මහා බ්‍රිතාන්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. ආරම්භයේ සිටි නිසි පරිදි පර්යේෂණ කිරීමෙන් රෝගීන් හඳුනා ගැනීමට කටයුතු නොකළ මහා බ්‍රිතාන්‍යය මේ වන විට තම රට තුළ සිටින කොවිඩ් ආසාධිතයන්ගෙ සංඛ්‍යාව 60,000ක් පමණ වන බව පවසා තිබේ. දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව හත්දහස ඉක්මවා තිබේ. එසේ වුවද නිසි පරිදි පර්යේෂණ කළේ නම් මේ සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය යුතුය. එමෙන්ම මේ රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩපිළිවෙල හේතුවෙන් බොහෝ රෝගීන්ට මිය යෑමට සිදුව ඇත්තේ ණයකරුවන් ලෙස බවද වාර්තා වී තිබේ. බොහෝ රෝගීන් තම මරණ මංචකයේදීද තමාට ප්‍රතිකාර වෙනුවෙන් වැය වූ මුදල් ගෙවන්නේ කෙසේදැයි තැවෙමින් සිටිනා බව වෛද්‍යවරුන් තැබූ සටහන්වල සඳහන්ව තිබේ. ඇතැම් වෛද්‍යවරුන් පවසා ඇත්තේ තමන් වඩාත් කණගාටු වන්නේ එපරිද්දෙන් සිතේ දුකෙන් මිය යන රෝගීන් සම්බන්ධව බවයි.
ඕස්‍ට්‍රේලියාවද පසුගියදා ආර්ථික ශක්තියක් නොමැති විදේශිකයන්ට සහ අධ්‍යාපනය ලැබීමට පැමිණි සිසුන්ට රටින් පිටවන ලෙසට දන්වා සිටියේ සිත්පිත් නොමැති පරිද්දෙනි. ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට රෝගීන් හයදහස ඉක්මවා වාර්තා වී තිබේ.
මේ වන විට ලෝකයේ රටවල් එකසිය අනූ හයකට පැතිර ඇති වයිරසය දකුණු අමෙරිකාවේ රටවල් රැසක්ද මේ පසුගියදා තම ග්‍රහණයට ගැනීමට සමත් විය. ඒ අතරින් චිලී රාජ්‍යයෙන් රෝගීන් හයදහස ඉක්මවා වාර්තා වීම කණගාටුදායකය.
කෙසේ වුවද මේ කණගාටුදායක වාතාවරණය අතර බලාපොරොත්තු දල්වන තොරතුරුද නැත්තේ නොවේ. අමෙරිකාවෙන් ගතවූ දිනයේ වාර්තා වූ ආසාධිතයන් සංඛ්‍යාව 853ක් වීම ඉන් එකකි. ආසාදිතයන් අඩුවීම යන්නෙන් අදහස් වන්නේ ඉදිරියේදී මරණ අඩු වීමය. යම් හෙයකින් අමෙරිකාව රෝගය පාලනය කර ගැනීමට සමත් වුවහොත් එය සමස්ත ලෝකයටම මහත් අස්වැසිල්ලක් වනු ඇත. එමගින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව අඩු වනු ඇති අතර සෙසු රටවලටද යම් සහනයක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇත.
කෙසේ වුවද චීනයේ මායිමේ පිහිටා ඇති හොංකොං රාජ්‍ය නිහඬව කොවිඩ් මාරයා පරාජය කර ඇති බව පෙනේ. කිසිවකුගේ වැඩිඅවධානයට ලක් නොවූවද හොංකොං මේ වන විට කොවිඩ් පැතිරීම සාර්ථකව පාලනය කිරීමට සමත්ව තිබේ. එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 974කි. එහෙත් එරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4ක් පමණි. හොංකොං දේශයෙන් ප්‍රථම කොවිඩ් රෝගියා වාර්තා වූයේ ජනවාරි මස ආරම්භයේදීය. ඒ වන විට චීනයද රෝගය පාලනය කර ගැනීමට වැරවෑයම් දරමින් සිටි කාලයයි. කෙසේවුවද හොංකොං දේශය ස්වකීය අධික නාගරික ජනගහනයට වෙත රෝගය පැතිරීම පාලනය කරමින් මරන සංඛ්‍යාවද අතිශයින් අවම කර ගනිමින් ශක්තිමත් සෞඛ්‍ය සේවාවන් සහිත රටවලට දැවැන්ත අභියෝගයක් එල්ල කර තිබේ.
මෙහි අතිශය ධනාත්මක ලක්ෂණය වන්නේ එමගින් තවත් රටවල් රැසක මානසික ශක්තිය වර්ධනය කිරීමට මේ කුඩා රටවලට හැකියාව ලැබීමයි.
එපරිද්දෙන්ම යම් දිනක වයිරසය මිනිසාට නියත වශයෙන්ම පරාජය වනු ඇත. ඒ දිනය හැකි ඉක්මනින් එළඹේවා යනු මේ මොහොතේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පැතුමය.