
තම දේශයට අභියෝගයක් මුණගැසුණු විට එය ජය ගැනීමට සහාය වීම හැර රැජිනක් වුව, රූ රැජිනක් වුව පළක් නැත. මේ මොහොතේ මහා බ්‍රිතාන්‍යය මුහුණ පා සිටින අර්බූදයෙන් නැවත නැගී සිටීමට ශක්තිය දීමට ඇය තීරණය කර සිටියේ එබැවිනි. ඇය ඉන්දියානු සම්භවයකින් යුතු එංගලන්ත යුවතියකි. එපමණක්ද නොව භාෂා මුඛර්ජි නම් වන ඇය පසුගිය 2019 වසරේදී එංගලන්ත රූ රැජින ලෙසින්ද කිරුළු පැළඳුවාය.
මේ වන විට දෛනික කොවිඩ් මරණවලින් මහා බ්‍රිතාන්‍ය ඉතාලියද අභිබවා යමින් සිටින්නේ ඉතා කටුක අත්දැකීමක් එරට ජනතාවට උරුම කරමිනි. මේ අභියෝගයට ඉදිරි පෙළ සිටිමින් මුහුණ දෙන්නට සිදුවන්නේ වෛද්‍යවරුන්ට බව නොරහසකි.
භාෂා මුඛර්ජි රූ රැජිනක් වන්නට පෙර පුහුණු වෛද්‍යවරියකි. ඇය පසුගිය වසරේදී තම වෘත්තියෙන් තාවකාලික විරාමයක් ලබා ගන්නේ රූ රැජින තරගාවලිය සඳහා සහභාගී වීමටය. එයින් ජයගත් පසු ඇය ලොව පුරා සංචාරයේ යෙදෙමින් එංගලන්ත රූ රැජින ලෙස නොයෙක් සමාජ සත්කාර්යයන්හි නිරත වෙමින් සිටියාය. එහෙත් කම මව් රට මුහුණ පා සිටින අභියෝගාත්මක අවස්ථාව වටහාගත් ඇය වහාම තම සංචාරයන් අවංලගු කරමින් පෙරළා තම මවු රටට පැමිණියේ පෙර නැවතූ තැන් සිට යළි තම වෛද්‍ය වෘත්තියේ නිරත වීමටය.
“තුර්කිය, ඉන්දියාව, පකිස්ථානය සහ තවත් අප්‍රිකානු රටවල් රැසක තානාපතිවරුන් ඔවුන්ගෙ රටවල සත්කාර්යයන් සඳහා මට ආරාධනා කර තිබෙනවා. ඒත් මම ඒ ආරාධනා සියල්ල ලබන අගෝස්තු වනතෙක් කල් දැමීමට තීරණය කළා. මේ මොහොතේ රූ රැජිනකගේ සේවයට වඩා වෛද්‍යවරියකගේ සේවය මගේ රටට අවශ්‍ය්‍යි. “ යනුවෙන් භාෂා මුඛර්ජි මාධ්‍ය හමුවේ පවසා සිටියාය.
ඇය ලබා දුන් ආදර්ශය සම්බන්ධව මුළු ලොවම සතුටුවනු ඇති අතර බ්‍රිතාන්‍ය වෛද්‍ය බල සේනාවට තවත් එක් සෙබලියකගේ එක්වීම සම්බන්ධව එරට වෛද්‍යවරු වඩාත් සතුටුවනු නොඅනුමානය.