විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය | සිළුමිණ

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය

කොවිඩ් 19 අවධානම නිසා දෙවැනි ලෝක යුද්ධ සමයෙන් පසු මුල් වරට විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කර දැමීමට එහි සංවිධායකයන් පියවර ගෙන තිබේ. කොවිඩ19 පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතත් තරගාවලිය අවලංගු කිරීමට ගත් තීරණය හමුවේ අපේක්ෂා භංගත්වයට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර රොජර් ෆෙඩරර් සහ සෙරීනා විලියම්ස් දෙදෙනා ඉදිරියෙන්ම සිටිති.

මේ වසරේ ජූලි මස මැද භාගය දක්වා කිසිදු ටෙනිස් තරගාවලියක් නොපැවැත්වෙන බැවින් ලොව පැරණිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් තරගාවලිය අවලංගු කරමින් 2020 ටෙනිස් තරග වාරය මේ ආකාරයට නිමා කිරීමට ලන්ඩන්හි ‘ඕල් ඉන්ග්ලන්ඩ්’ ක්‍රීඩා සමාජයට සිදුවිය.

මෙම තීරණය එළිදැකීමත් සමග අටවතාවක් විම්බල්ඩන් පිරිමි ශූරතාව දිනා සිටින රොජර් ෆෙඩරර් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ‘විනාශයට පත්විය’ යනුවෙනි.

එම තීරණය ඇසූ පමණින් තමා කම්පනයට පත්වූ බව 7 වරක් එහි කාන්තා ශූරතාව දිනා සිටි සෙරීනා විලියම්ස් කියා සිටියාය.

ජූනි මස 29 වැනිදා සිට සති දෙකක කාලයක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙවර විම්බල්ඩන් තරගාවලියේදී නොවැක් ජෙකොවික් සහ සිමෝනා හැල්ප් පිළිවෙලින් පිරිමි සහ කාන්තා කේවල ශූරතා රැකගැනීමේ අභිලාෂයෙන් පසුවූහ. ඉකුත් වසරේ එනම් 2019 පැවැති තරගාවලියේදී රොජර් ෆෙඩරර් සහ සෙරීනා විලියම්ස් පරාජය කරමින් ඔවුහු එම ශූරතා දිනාගත්හ.

“මේ වසරේදී විම්බල්ඩන් තරගවලිය නොපැවැත්වීම ඉතාමත් කණගාටුවට කරුණක්.” යැයි හැල්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

“ඉකුත් වසරේ පැවැති අවසන් මහ තරගය මගේ ජීවිතයේ සතුටුදායකම දවස්වලින් එකක් වේවි. නමුත් දැන් අපි ටෙනිස් ක්‍රීඩාවට වඩා විශාල දෙයක් හරහා ගමන් කරනවා. විම්බල්ඩන් තරගාවලිය නැවතත් ඒවි. එයින් අදහස් කරන්නේ මගේ ශූරතාව ආරක්ෂා කරගැනීමට මට තව බොහෝ කාලයක් බලා සිටිමට සිදුවන බවයි” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විම්බල්ඩන් තරගාවලි ප්‍රධානීන් කියා සිටියේ නොවැළැක්විය හැකි හේතුවක් මත වුවත් තමන් මෙම තීරණය ගනු ලැබුවේ දැඩි කණගාටුවකින් යුතුව බවයි.

කෙසේ වුවත් ඇමරිකානු ටෙනිස් ප්‍රධානින් මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මතභේදාත්මක ලෙස කල්දමා ඇති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වීමට සතියකට පෙර ඔවුන් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පෙර යොදා තිබූ දිනවලදීම පවත්වා නිම කරන බවයි.

‘ඕල් ඉංග්ලන්ඩ්’ ක්‍රීඩා සමාජයේ සභාපති ඉයන් හෙවිට් පවසන්නේ විම්බල්ඩන් තරගාවලිය අවලංගු කිරීමේ තීරණය ඒ සම්බන්ධයෙන් සුළුකොට තැකීමක් නොවන බවයි.

මිට කළින් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියට බාධා එල්ල වී ඇත්තේ ලෝක යුද්ධවලින් පමණක් වීම මෙම තීරණය ගැනීමෙදි අපේ මනසට විශාල බරක් වුණා.” යැයි හෙවිට් පැවසීය.

“නමුත් සියලු තත්ත්වයන් ගැන ගැඹුරින් සහ පුළුල්ව සලකා බැලීමෙන් පසුව මෙය ගෝලීය අර්බුදයේ මිනුමක් බවත්, තරගාවලිය අවලංගු කිරීමට ගත් තීරණය නිවැරදි බවත් අපි විශ්වාස කරනවා.” යැයිද හෙවිට් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙවරක් විම්බල්ඩන් තරගාවලියේ ශූරතාව දිනූ ක්‍රීඩකයකු වන ඇන්ඩි මරේ කියා සිටියේ තරගාවලිය අවලංගු කිරීම කණගාටුවට කරුණක් වුවත්, මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමු‍වේ ලෝ වැසියන්ගේ‍සෞඛ්‍ය තත්ත්වය ඊටත් වඩාත් වැදගත් බවයි.

Comments