
පසුගිය බදාදා ලොව සෑම රටකම මාධ්‍ය ඔස්සේ හදිසි පුවතක් ප්‍රචාරය විය. එමගින් ප්‍රකාශ වූයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොව්ඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවයි. මීට පෙර මහ රැජිනගේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ බැවින් රැජින පසුගිය සතියේ බකිංහැම් මාලිගයේ සිට වින්ඩ්සර් මාලිගයට ගිය බව සඳහන් විය. පසුගිය මාර්තු 12වැනිදා රැජින සහ චාල්ස් කුමරු අවසන්වරට රාජකීය නිල කටයුතුවල නිරත වී තිබිණි.
පසුගිය සති අන්තයේදී චාල්ස් කුමරු කොවිඩ් රෝග ලක්ෂණ පහළ කළ අතර වහාම ඔහු රෝගය තහවුරු කරන පරීක්ෂාවන්ට ලක් කෙරිණි. එහි ප්‍රතිඵල පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ලැබුණු අතර ඒ අනුව චාල්ස් කුමරුට වයිරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වන විටත් කුමරු රෝගයේ මුල් අවස්ථාවේ පසුවන බවත් ඔහුට උගුරේ වේදනාව පවතින බවත් ප්‍රකාශකයන් පවසා ඇති අතර ඒ හැරුණු විට ඔහු ශක්තිමත් සහ නිරෝගීව සිටින බව වාර්තා වී තිබේ. කැමිලා අාදිපාදවරුය ද කොවිඩ් පරීක්ෂාවට ලක් කර ඇති නමුදු ඇයට රෝගය වැළඳී ඇති බව තහවුරු වී නැත. ඔවුන් මේ වන විට ස්කොට්ලන්තයේ බැල්මොරල් මන්දිරයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටිති. චාල්ස් කුමරු 71වැනි වියේ සිටින අතර කොවිඩ් වයිරසයේ බලපෑම වැඩිම වයස් කාණ්ඩයට ඔහු අයත් වේ.
කෙසේ වුවද රජ පවුලේ සාමාජිකයකුට පවා කොවිඩ් වැළඳීම යනු මේ වන විට රෝගය මහා බ්‍රිතාන්‍ය තුළ කොතෙක් පැතිරී ඇති යන්න තහවුරු කරන ප්‍රබල සාධකයක් ලෙස සැලකේ. චාල්ස් කුමරුට රෝගය ආසාදනය වීම බ්‍රිතාන්‍ය වැසියන්ගෙ මානසිකත්වයට ප්‍රබල බලපෑම් එල්ල කිරීමට සමත් බව විචාරකයන්ගෙ මතය වී තිබේ. රජපවුලේ සාමාජිකයන් බොහෝ විට සාමාන්‍ය මහජනතාව සමග සමීපව කටයුතු කිරීමෙන් වළකිති. එවන් අවස්ථා සඳහා ඔවුන් ඉතා සංවිධානාත්මකව සහභාගී වෙති. එසේනම් රජපවුලේ සාමාජිකයන්ට රෝගය වැළඳීමෙන් පෙනී යන්නේ මහා බ්‍රිතාන්‍ය තුළ රෝගය ඉතා දරුණු ලෙස පැතිරීම යැයි එරට වැසියන්ගේ පිළිගැනීම වී තිබේ.
චාල්ස් කුමරු යනු මහා රැජිනට පසු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු දැරීමට නියමිත පුද්ගලයාය. යම් හෙයකින් රැජින සහ චාල්ස් කුමරු යන දෙදෙනාම මියගියහොත් එම අවස්ථාව 34 හැවිරිදි විලියම් කුමරුට ලැබෙන අතර ඔහු 4වැනි විලියම් ලෙස ඔටුනු පළඳිනු ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ටත් කොරෝනා වැලදී ඇති බව පරීක්ෂණ මඟින් සිකුරාදා පස්වරුවේ තහවුරු වී තිබිණි.