
මේ ලියන මොහොත වන විට ඉතාලියේ කොවිඩ් මරණ සංඛ්‍යාව 8000 ඉක්මවා තිබේ. අගමැති ගියුසෙප් කොන්ට් ගේ ඉල්ලීමට අනුව රුසියාව ගුවන් යානා නවයක් පුරා වෛද්යදාර සහ හමුදා භට පිරිස් සතිය ආරම්භයේදී ඔවුන් වෙත එවූවද, මීට පෙර කියුබානු ස්වේච්ඡා වෛද්‍ය පිරිස් ඉතාලිය වෙනුවෙන් තම උපරිම ශක්තිය කැප කරමින් සිටියද මේ ලියන මොහොත වන විටත් ඉතාලියේ ඉහළ යන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහත වැටීමට හෝ සාමාන්‍ය වීමකට ලක්ව නැත.
සැබවින්ම ඉතාලිය මේ මොහොතේ මානව ඉතිහාසයේ තවත් එක් ඛේදවාචකයක් සනිටුහන් කරමින් සිටින්නේය. කණගාටුව එම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවූයේ කිසිවිටෙක් තවත් රටක් පීඩාවට පත් කිරීමට කටයුතු නොකළ, විනෝදකාමී, නිදහස් අදහස්වලින් යුතු ජනතාව ජීවත් වන රටකට වීමය. ඉතාලිය යනු සැමදා නිදහස අගය කළ ජනතාවකින් සමන්විත වූ රටකි. බලතන්හාවෙන් ඉදිමුණු පාලකයෝ වාසනාවකට මෙන් ඉතාලියේ නොසිටියහත පාලකයන්ද ජනතාව මෙන් නිදහස අගය කළ පිරිසක් විය. යුරෝපා සංගමයට අයත් රටක් ලෙස ඇතැම් ආක්‍රමණ සඳහා භට පිරිස් යෙදවීමට සිදුවුවද එය කණ්ඩායමේ සාමාජිකයකු ලෙස මිස බල තණ්හාවෙන් පිරී ගිය, තම ගොඩ වැඩි කර ගැනීමට කළ උත්සාහයක් ලෙසින් ඉතාලිය සැලකුවේ නැත. කොටින්ම කිවහොත් මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මෙන් අමෙරිකාවේ බල තන්හාවට සහාය දැක්වීමට ඉතාලිය උත්සුක වූයේ නැත.
මෙවර කොවිඩ් හමුවේ ඉතාලියට වරදින්නේද ජනතාවගේ එකී නිදහස් විනෝදකාමී හැසිරීම නිසා බව අපි කිහිපවිටක් සඳහන් කළෙමු. මේ වන විට ඉතාලි අගමැති ගියුසෙප් ජාතිය අමතන්නේ කඳුළු පිරි දෙනෙතිනි. තවදුරටත් රෝගය පාලනය කිරීමට කළ යුත්තේ කුමක්දැයි ඉතාලිය දන්නේ නැත. එරට සෞඛ්‍ය ක්ෂේත්රය බිඳ වැටී අවසන්ය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල තවදුරටත් සේවය කරන්නේ තම අවසන් කායික සහ මානසික ශක්තිය යොදවමිනි. එහෙත් අද හෝ හෙට නොමැති වුවද ඔවුන්ට ඉතාලිය යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇත.
මේ අවස්ථාවේදී ලෝකයේ සෑම රටක්ම පාහේ තම රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටීම ඉතාලියට උපකාර අවම වීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. මේ වන ිවට එරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 5000ක් පමණ වේ. දෛනික මරණ ඉතා කණගාටුදායක ලෙස 650 – 750ත් අතර පවතී. එහෙත් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අනුව කිව හැක්කේ ඉදිරි දිනවලදී මේ මරණ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ඉඩ ඇති බවය.
මෙතෙක් කල් ඉතාලියේ කොවිඩ් රෝගීන් සම්බන්ධ තොරතුරු මාධ්‍ය හමුවට ගෙන ආ රාජ්‍ය නිලධාරියා කොවිඩ් ආසාදනය වී රෝහල් ගත වී තිබේ. ඔහුගෙන් පසුව එම ධූරයේ කටයුතු කළ නිලධාරියාද මේ වන විට උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් නිවසට වී සිටින බව වාර්තා වේ. තවමත් ඔහුට කොව්ඩ් පරික්ෂාව කර ගැනීමට ලැබී නැත.
ලෝකයේ දෙවැනියට වැඩිම වැඩිහිටි ජනගහණය සහිත රට ලෙස ඉතාලියේ නිවෙස්වල වෙසෙන වයෝවෘද්ධ පුද්ලගයන් මේ පැතිර යන රෝගය හමුවේ ඉතා දැඩි මානසික පීඩනයකින්ද සිටින බව වාර්තා වේ. ඇතැම් විට රෝගය වැළඳුනේ නම් මරණය නියත බවට හැඟීමක් ඔවුන් තුළ පවතිනවාද විය හැකිය. ඉතාලි බලධාරීන් කණගාටුවට සහ අධෛර්යයට පත්ව සිටින්නේ නගර වසා දැමීමේ සිට රට වසා දැමීම, ගුවන් තොටුපොළ සියල්ල සහ වරාය වසා දැමීම දක්වා සියල්ල කළද මේ වන තෙක් රෝගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි. චීනයේ රෝගය තදබල ලෙස පැතිර යන අවස්ථාවේ වුවද මරණ අනුපාතය පැවතියේ සියයට 3.8ක් වශයෙනි. එහෙත් මේ වන විට ඉතාලියේ මරණ අනුපාතය සියයට 10කට ඉතා ආසන්නය.
කෙසේ වුවද වයිරසය ව්‍යප්ත වීම ඇරඹූ මුල් දිනවලදී එයට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම යන චෝදනාවෙන් නම් ඉතාලි බලධාරීන්ට සහ ජනතාවට ගැලවීමට නොහැකිය. උදාහරණයක් ලෙස මාර්තු 15වැනි දින වන විට ඉතාලිය සිදු කර තිබූ සම්පූර්ණ කොවිඩ් පරීක්ෂාවන් 1,25,000ක් පමණක් වූ අතර දකුණු කොරියාව මාර්තු 15 වන දින වන විට කොව්ඩි පරීක්ෂාවන් 3,40,000ක් සිදු කර තිබිණි. දකුණු කොරියාව කිසිසේත් රෝගය සුළු කොට නොතැකූ අතර ඒ හේතුවෙන්ම ඔවුන් ආරම්භයේදී ඉතාලිය හා සම තැන සිටියද රෝගය පාලනය කර ගැනීමේ වාසනාව ඔවුන්ට හිමි විය.
රෝගය වැඩියෙන්ම පැතිර ගොස් ඇති ලොම්බාර්ඩි නගරයේ වෛද්‍යවරුන් මේ වන විට ආරක්ෂිත ඇඳුම් හෝ නොමැතිව රෝගීන්ට ප්‍රතිකර කරමින් සිටින බව ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කර තිබේ. එය හද දවන පුවතක් වන්නේ මේ වන විටත් ඉතාලියේ වෛද්‍යවරුන් 14ක් මියගොස් වෛද්‍යවරුන් සහ හෙදියන් 3,400ක් පමණ රෝගයට ගොදුරු වී ඇති බැවිනි.
මේ අතර මෙසීනා නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු කොවිඩ් වැළඳීමෙන් මියගිය බවට ප්‍රවෘත්තියක් පළ වුවද ඉතාලියේ වැඩ බලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා විදේශ අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණේ එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොවිඩ් වැළඳීමෙන් නොවන බවයි. ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැති බවත් මේ දක්වා ඉතාලියේ වෙසෙන කිසිඳු ශ්‍රී ලාංකිකයකු කොවිඩ් වැළඳීමෙන් මියගොස් නොමැති බවත් වැඩබලන තානාපතිවරයාගේ ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් විය.