
අප රටේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් හරියට පිළිපැද්දේ නැත්නම් අපේ රෙට් සමහර නගරත් වසා දැමීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනතුරු හඟවා ඇත.
මේ ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකාවාසී සියලු දෙනා අවධානය යොමු කළ යුතුව ඇත. ඒ සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නව කොරෝනා හෙවත් කෝවිඩ් - 19 ලොවටම වසංගතයක් බවට අනතුරු අඟවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රෝගයෙන් අපේ රට බේරා ගැනීමට ප්‍රධාන පියවර 4 ක් ගෙන ඇත. ඒ අනුව විෂබීජ රට ඇතුළට ඇතුළුවීම වැළැක්වීම, රට තුළ විෂබීජ පැතිරයාම වැළැක්වීම ප්‍රතිකාර කිරීම මෙන් ම යම් හෙයකින් රෝගය විශාල වශයෙන් පැතිර ගියහොත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම ඒ අතර වේ.
මේ අතර මේ පිළිබඳව කරුණු දක්වන සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ ඇමෙරිකාව, චීනය, ඉතාලිය වැනි රටවලට පවා මෙම රෝගය වළක්වා ගැනීමට අපහසු තත්ත්ව තිබියදී ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක මේ වයිරස පැතිරයාම වැළැක්වීම පහසු කරුණක් නොවනු ඇති බවයි.
මේ අතර කොරෝනා වයිරසය ව්‍යාප්තිය සිදුවී ඇති මැද පෙරදිග රටවල්වලට ශ්‍රී ලාංකිකයින් අලුතින් යැවීම තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමය පොදු එකඟතාවකට එක්ව සිටී.
ඊට අමතරව මැද පෙරදිග රටවල් ද ඇතුළත් දකුණු කොරියාව හා ඉතාලිය වැනි රටවල සේවය කරන කිසිවකු මෙරටට ගෙන ඒමට කාර්යාංශය පියවර නොගන්නා බවත් අවශ්‍ය අයට එරට හාම්පුතුන්ගේ අවසරය මත මෙරටට පැමිණිය හැකි බවත් නමුත් ඔවුන් නිරෝධායන කටයුතුවලට එක්විය යුතු බවත් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.
මේ අතර මෙරටින් හමුවූ ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා ඉතාලියේ වසර 5 සේවය කළ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මොහුගේ පවුලේ අය දැනටම නිරෝධායනයට පත් කර ඇති අතර ඔහුගේ පදිංචිය පිළිබඳව ඔහු ආ ගිය තැන් පිළිබඳව වැඩි විස්තර දැන් සොයා ගෙන ඇති බවත් ඒ අනුව අවශ්‍ය ප්‍රතිකර්ම යොදන බවත් අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරු පවසති.
කොරෝනා හෙවත් කොවිඩ් - 19 වයිරසය වැලඳුණු ප්‍රථම ශ්‍රී ලාංකිකයා මොහු පෙබරවාරි 15 සිට මාර්තු 2 දක්වා ඉතාලි ජාතික සංචාරකයන් පිරිසක් සමඟ දඹුල්ල, මහනුවර, දික්වැල්ල ආදී ප්‍රදේශවල සංචාරය කර ඇත.
මේ අතර දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මඩකලපුව, පූනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුද හමුදාව කටයුතු යොදා ඇත.
පසුගිය දින 3 – 4 ඇතුළත එම මධ්‍යස්ථානවලට 1100ක් පමණ දෙනා ඇතුළත් කර ඇති මේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ රටේ සිටින මිලියන 22 ක් වූ ජනතාව පිළිබඳව හා තම ළඟම ඥාතීන් පිළිබඳව සිතා මේ නිරෝධායන කටයුතු වලට සහය දෙන ලෙස ඉහත රටවලින් මෙරටට එන අයගෙන් ඉල්ලා සිටින බවයි.
එසේ යම් අයෙක් පෞද්ගලිකව මේ කටයුතුවලට අකැමැති නම් කළ හැකි වන්නේ ඇය හෝ ඔහු පැමිණි රටටම හරවා යැවීම බවත් මේ නිරෝධායන කටයුතු සිදු කරන්නේ රටේ පවතින නීති රීති අනුව බවත් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.
මීට අමතරව දකුණු කොරියාව, ඉරානය හා ඉතාලියේ සිට පැමිණෙන මඟින්ට අමතරව වෙනත් රටවලින් විශේෂයෙන් මැද පෙරදිග රටවලින් මෙරටට එන පුද්ගලයන් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායනය කිරීමට කටයුතු කරමින් පවතී.
මේ අතර මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා පවසන්නේ කන්දකාඩුව හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යාමට වායු සමිකරණය කරන බස් රථ ලබාදී ඇති බවත් ඊට අමතරව එම ස්ථානවලට ආහාර පාන ඇඳන් හා වයි ෆයි පවා ඒ පිටරට සිට ආ අයට සපයාදී ඇති බවයි.
මේ වනවිට යුද හමුදාව සතුව තිබූ ද්විත්ව ඇඳන් 2000ක් මෙට්ට 4000ක් කොට්ට 4000ක් බෙඩ් සීට් 500ක් පමණ මෙම මධ්‍යස්ථානවලට ලබාදී ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය අධ්යක්ෂ හා පොලිස් අධිකාරි ජානක රණසිංහ මහතා පැවසුවේ මේ සියලු නිරෝධායන කටයුතු මේ රටේ නීතියට අනුකූලව සිදුවෙන බවයි.
1897 අංක 3 දරන රෝග නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එහි දෙවන වගන්තිය යටතේ ඇමැතිවරයාට විවිධ රෝග පිළිබඳව රෙගුලාසි පැනවීමට පුළුවන. පනතේ 3 වැනි වගන්තිය යටතේ ඒ රෙගුලාසි ගැන සඳහන් කර ඇත. 1914, 1925, 1954 දී ඊට අදාළ අලුත් රෙගුලාසි පනවා තිබේ. ඒ අනුව මෙවර කොරෝනා රෝග වැළැක්වීමේ කටයුතු සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමා හමුදාපතිට බලය පවරා ඇති බවත් ඒ මහතා පවසයි.
මේ නිරෝධායන වැඩපිළිවෙළට අවනත නොවන අය ඉහත පනතේ විධිවිධාන උල්ලංඝනය කර අධිකරණයකින් වරදකරු වුවහොත් මාස 6 ක සිරදඬුවමක් හෝ රුපියල් 10000 දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ නියම කළ හැකි බවත් පොලිස් අධිකාරිවරයා පවසයි.
මේ අතර ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.
වගකීම් විරහිතව ක්‍රියා කිරීමෙන් රටක් වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවිය හැකි බව එතුමා අවධාරණය කළේ ය. ලෝකයේ ප්‍රධාන රටවල් රැසක් පාලනය කළ නොහැකි අන්දමින් කොරෝනා වයිරසය ව්‍යාප්තියට මුහුණදී සිටී. මේ තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අරඹා ඇති නිරෝධායන ක්‍රියාවලියට සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍යව ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සෙසු පහසුකම් ද හැකි උපරිමයෙන් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එහෙයින් විදේශගත පැමිණෙන සියලු දෙනා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ක්‍රියාවලියට සහය වන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.
නිරෝධායනයෙන් පසු ඒ පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට ද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.
විදේශිකයන් වෙත ලබාදුන් On arrival වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
වෙනත් රටවල සිට පැමිණෙන අය නිවෙස්වල සිට නිරෝධායනය වෙමින් මීට දායක වන්නැයි ද ජනාධිපතිතුමා ඉල්ලීය.
හිඟයකින් තොරව ඖෂධ වර්ග සූදානම් කර තැබීම සහ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විධිමත් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය. ශ්‍රී ලංකාව කොරෝනා වයිරසයෙන් ආරක්ෂක රටක් ලෙස සහතික කරදීමට ශ්‍රී ලාංකිකයකු ලෙස තමන්ගේ ජාතික වගකීම තේරුම් ගෙන කටයුතු කරන ලෙස සෑම පුරවැසියෙක්ගෙන් ජනාධිපති තුමා ඉල්ලා සිටී.
මේ අතර කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වයිරසය ඇතුළු තවත් වයිරස් වර්ග හඳුනා ගැනීමේ පී.ආර්.සී. යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර ඇත. විජේරාමේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙම යන්ත්‍රය බාරදී ඇත.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙම රෝගය එක් රෝගියකු ගෙන් හය දෙනෙකුට වුව ද බෝවීමට ඉඩ ඇති බවයි.
“ඉතාලිය වැනි රටවලින් මෙරටට එන අයට අපේ රටට නිදහසේ ඇතුළුවීමට අවසර නොදිය යුතුයි. රෝග ලක්ෂණ නැති නමුත් රෝගීන් සිටින රටවලින් එන අය සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතුයි. තමුන්ගේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් හේතු කොට එයට විරුද්ධ වීම වැරදියි. අපි ඒ මධ්‍යස්ථානවලට දමන්නේ රෝගීන් නෙමෙයි. රෝගීන් සිටි ප්‍රදේශවලින් ආපු අයයි.
ඊට අමතරව එලෙස පිටස්තර ජනතාව වැඩිපුර සිටින ස්ථානවලට ගොස් ආපසු එන විට සබන් හෝ විෂබීජ නාශක දියරයක් දමා අත් පිරිසිදු කරගත යුතු ය. විශේෂයෙන් මේ සඳහා ඇල්කොහොල් සහිත පිරිසුදු කාරක භාවිත කිරීම සුදුසු බව ද විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේන මහතා පවසයි.
ඇස් සහ නාසය නිතර නිතර ස්පර්ශ කිරීම අවම කිරීම මඟින් හා මුඛ ආවරණ පැලඳීම මගින් රෝගය බෝවීම හා පැතිරීම අවම කරගත හැකි වීමත් විශේෂයෙන් සඳහන් කළ යුතු ය. කොරෝනාවලින් ආරක්ෂා වීම පිළිබඳව කරුණු දක්වන ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේන මහතා පැවසුවේ ජනාකීර්ණ ස්ථානවලට යාම අවම කිරීම මේ රෝගය වළක්වා ගැනීමේ ප්‍රධාන ක්‍රමය බවයි.
කොරෝනා වයිරසය ශරීර ගත වූ විට උණකදී ඇතිවන ලක්ෂණ බහුලව ඇතිවෙන බව විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේන මහතා පවසයි. ඒ අනුව උණ, ඇඟපත රිදීම, හිස රිදීම වැනි මූලික ලක්ෂණ මෙන් ම ඇස් දැවිල්ල, උගුර දැවිල්ල, උදරය ආශ්රිත ගැටලු, බඩේ කැක්කුම බඩ බුරුලට යාම වැනි රෝග ලක්ෂණ ඇතිවේ. කොරෝනා වයිරසය, පෙණහලුවලට ආසාදනය වී ඇත්නම් නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීමට ඉඩ කඩ ඇත. මෙහිදී රෝගියාට හුස්ම ගැනීම අපහසු වන අතර ඉන් පසුව වයිරසය පැතිරී පෙනහලු වෙතට ගියවිට පෙණහලු පටක ඉදිමීමෙන් රෝගියා අපහසුතාවට පත්වීමට ඉඩ ඇත.
කොරෝනා වයිරසය ශරීරගත වීම නිසා ඇතිවන පපුවේ මහන්සිය ඇදුම රෝගය නිසා ඇතිවන පපුවේ මහන්සියට වඩා වෙනස් ය. පළපුරුදු වෛද්‍යවරයකුට මේ රෝගයට ප්‍රතිකාර කළ හැකිය. නමුත් වඩාත් වැදගත් වන්නේ රෝගය තවත් අයට බෝවීමෙන් ආරක්ෂා වීමයි. ඒ අනුව උණ, කැස්ස තිබේ නම් කිවිසුම් යන විට ලේන්සුවකින්, ටිෂූ කොළ භාවිතා කර මුඛය ආවරණය කර ගැනීම ඉතාම හොඳ ක්‍රියාවක් ය.
![]() |
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිරෝධායන කටයුතු පිළිබඳ පරීක්ෂාවක |
කැස්ස හෝ කිවිසුම් යනවිට අතේ වැලමිට ප්‍රදේශයෙන් මුඛය සහ නාසය ආවරණය කර ගැනීම නිවැරැදිම ක්‍රමයයි. ටිෂූ කොළයකට කිවිසුම යැව්වේ නම් ටිෂූ කොළයකින් සේම සොටු පිස දැම්මේ නම් ඒවා ඉතා ආරක්ෂාකාරී ලෙස ඉවත් කළ යුතු ය.
ආසාදනයක් ඇති බව දැනේනම් ළඟම ඇති රෝහලට යෑමත් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල ගැවසීමක් නොකළ යුතුව ඇත.
මෙවැනි රෝගීන් වැඩිපුර කරන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවධියේ පමණක් ඖෂධ හා ප්‍රතිකාර ගැනීමයි, නමුත් දින 14 ක් පමණ විෂබීජ ශරීරයේ පවතින නිසා වයිරස ශරීරයෙන් ඉවත් වන තෙක් ඇද විවේකය ගත යුතුව ඇත. ඊට අමතරව ඒ අතර රෝගියා විජලනය වුවහොත් හා ශරීරය වෙහෙස වුවහොත් ශරීරය අභ්‍යන්තර ජාලයට එකතුවී රෝගියාට මරණ තර්ජන එල්ලවීමට ද පුළුවන. මෙම විෂබීජය ශරීර ගතවී දින 14 ක් ඇතුළත වුව ද රෝගය වැලඳීමට අවස්ථාව ඇති බවත් ඒ අනුව මේ මොහොතේ වෛද්‍ය උපදෙස් අනුව පක්ෂ පාට නොබලා තීන්දු තීරණ ගත යුතු බවත් විශේෂඥ වෛද්‍යවරු පවසති.
කොරෝනා අවදානමෙන් ශ්‍රී ලාංකික දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව රටේ සියලුම පාසල් අප්‍රේල් 20 දක්වා වසා තැබේ. දහම් පාසල් පෞද්ගලික පාසල් හා ප්‍රදර්ශන ද අවලංගු කෙරේ.
කොරෝනා වයිරසය මර්දනයේ දී ශ්‍රී ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයීමට, ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා පවසයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණු ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඬ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක්වූ බවයි. කොරෝනා වයිරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීම සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බව ද පවසන ලදී. ශ්‍රී ලංකා රජය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුළු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාව සමඟ චීනය සැමදාම අත්වැල් බැඳගෙන සිටින බවට චීන වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
පසුගිය තෙමසක කාලය තුළ චීන රජය කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා ගන්නා ලද ක්රමෝපායන් ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත මෙහිදී පිළිගන්වන ලදී.
මේ අතර I D H රෝහලේ ප්‍රතිකාර ලබා සංචාරක මාර්ගෝපදේශකයකු සමඟ නවාතැන් ගෙන සිටි 44 හැවිරිදි පුද්ගලයකුට එම වයිරස ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. දෙවන පුද්ගලයා ද සංචාරක නියාමකයකු ලෙස සේවය කරන බවත් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මේ රෝගියා ශ්‍රී ලංකාවේදි හමුවූ තෙවැනි කොරෝනා රෝගියා ලෙස වාර්තාගත වේ.
කෙසේ වුවත් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුද හමුදාව අපේ රටේ මේ රෝගය පාලනය කිරීමට සියලු කටයුතු යොදා තිබේ. නමුත් විවිධ කටකතා සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පළකිරීම් නිසා ජනතාව නොසන්සුන් වෙන බැවින් ඒවා පිළිනොගන්නා ලෙසත් අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර දැනට ප්‍රතිකාර ලබන මුලින් හමු වූ සංචාරක මඟ පෙන්වන්නාගේ පවුලේ කිසිවකුට කොරෝනා වයිරසය ආසාධනය වී නොමැති බවද වාර්තා වී ඇත.
පාසල් 20 වැනිදා තෙක් වසා දමන අතර දහම් පාසල් ද 26 තෙක් වසා දැමීමට බලධාරින් තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල වැසීමේ හෝ පවත්වාගෙන යෑමේ වගකීම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට පවරා ඇත.
මේ අතර මෙරට පෞද්ගලික උපකාරක පන්ති දේශකවරු විසින් ඉදිරි සති දෙක ඇතුළත උපකාරක පන්ති නොපැවැත්වීමට සමස්ත ලංකා උපකාරක පන්ති දේශකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. මේ අතර දැනට I D H රෝහලේ ප්‍රතිකාර ලබන ආසාධිතයා ජීවත්ව සිටින මත්තේගොඩ ප්‍රදේශයේ ජනතාව කැඳවා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබාදීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබේ.
දැනට රටපුරා රෝහල් 11ක කොරෝනා ආසාධිත බවට සැක කරන පුද්ගලයන් 64 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. දැනට කොරෝනා ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් 17ක්ද සූදානම් කර ඇත.
ඒ සමඟම ඉතාලියේ සිට ආ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා ආසාධිත බවට සැකකර I D H රෝහල වෙත එවා ඇත. ඉතාලියේ සිට ආ තවත් යුවළක් ද අනුරාධපුර රෝහලට කොරෝනා යැයි සැක පිට ඇතුළත් කර ඇත. දැනට ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව සිට මෙරට ආ පුද්ගලයන් 1050ක් මඩකලපුව, දියතලාව හා කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබේ.
මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මේ නිරෝධායනයට පත් කරන පුද්ගලයන්ට හොඳින් කෑම බීම දෙන බවයි. “මෙම අවස්ථාවේ කටකතාවලට අසුවෙන්න එපා. ගැටලු තිබේ නම් 0113090502 දුරකතන අංකවලට පවසන්න. ඊයේ හැන්දෑවේ සමාජ මාධ්‍යවල අපි දැක්කා වතුර බෝතලයක කියලා ඒ වතුර බෝතලයට කිරි කෝපි දමලා කියනවා යුද්ධ හමුදාව විසින් දෙන කෝපි කියලා. අපි මේ කැලේදීවත් බෝතල කපලා බොන්න දීලා නැහැ. ඒ අයට පිඟන් කෝප්පවල කෑම බීම දෙනවා. තව එකක් දාලා තිබෙනවා එක පැටිස් එකක් දාලා මේක තමයි උදේ කෑම කියලා. ඒක අමූලික බොරුවක්. අපි වෑංජන හතරක් එක්ක බත් හරි වෙන මොනවා හරි දෙනවා.
ඒ සමඟම දැන් ජනතාව බයවෙලා සුපිරි වෙළෙඳ සංකීර්ණ වලට ගිහිල්ල ආහාර ද්‍රව්‍ය විශාල ලෙස මිලදී ගන්නවා. එහෙම වුණාම ඒ සුපිරි වෙළෙඳ සංකීර්ණවල බඩු ඉවර වෙනවා.
රජය, නිවාස හා වෙළෙඳ සල් නිරෝධායනය කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. පුද්ගලයන් අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. බඩු තොග රැස් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි හදිසි තත්ත්වයක් තිබේ නම් පෙර දැනුම් දීමක් කිරීමට රජය කටයුතු කරන බව අතිගරු ජනාධිපති තුමා පැවසුවා යැයිද හමුදාපතිවරයා පැවසීය.
ඒ සමඟම කොරෝනා වයිරසය පිළිබඳව දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීමද රජය අරඹා ඇත. මුල් වැඩසටහන ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි. ඒ පූර්වාදර්ශය අනුව සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවේ. මේ අතර කොරෝනා වයිරසය පිළිබඳව කටකතා පතුරුවන පුද්ගලයන්ට අසත්‍ය කටකතා සමාජ ජාලා ඔස්සේ පතුරුවන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට එන කිසිඳු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කර තිබේ. එම තහනම මාර්තු 28 තෙක් වලංගුය. ඊට අමතරව දින 14ක් ඇතුළත ඉහත රටවල සිට කුමන රටක ගුවන් තොටුපළක් හරහා හෝ ශ්‍රී ලංකාවට එන මගීන්ට ද එම තහනම බලපැවැත්වේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ද තාවකාලිකව අත්සිටුවා ඇත.
ශ්‍රී ලංකාව යුරෝපා ජාතිකයන්ට ඉදිරි සති දෙක තුළදී වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත. ඊට අමතරව ප්‍රංශය, ජර්මනිය, ස්පාඤඤය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා ඩෙන්මාර්ක් යන රටවලින් කිසිම ගුවන් මගියෙකුට මෙරටට පැමිණීම තහනම් කර ඇත.
මේ අතර ඉතාලියේදී කොරෝනා වයිරසය අසාදනයට ලක්වූ ශ්‍රීලාංකික කාන්තාව සුවවී රෝහලෙන් පිටව ගොස් ඇත. නැවත දන්වන තුරු මෙරට සියලු පෙර පාසල් වසා දැමීමට රජය තීරණය කර ඇත.
මේ අනුව මෙම වසංගතය ආරක්ෂාවීමට අපි සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්රිම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.